ඔබේ ගෙවත්තේ තණ පිටිය අලංකාරව පවත්වාගෙන යන්නේ කොහොමද?

ගෙවත්ත ලස්සනට පිළිවෙලට තියාගන්න එකත් එක්තරා කලාවක්.ගෙවතු අලංකරණ ශිල්ප ක්‍රම දිනෙන් දින දියුණු වෙනවා.ඉතින්   තමන්ගේ සොඳුරු නිවසේ ගෙවත්ත පිළිවෙලට ලස්සනට තියාගෙන ඉන්න කැමති ඔබ වෙනුවෙන්මයි අද මේ විශේෂාංගය සැකසෙන්නේ. ඉතින් අප අවධානය යොමු කරන්නේ ඔබේ නිවසේ තණ පිටිය මැනවින් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා.
ඉතින් ඔබ සකස් කරන තණ පිටිය මැනවින් පවත්වාගෙන යෑමට අවශ්‍ය අවස්ථා කිහිපයක් අපි සොයා බලමු.

  • තණ පිටිය වියළි ඇති අවස්ථා
  • තණා පත්‍රවල කොළ පැහැයේ දීප්තිමත් බව නැති අව පැහැවන අවස්ථාව
  • තණ පිටියේ තැන් තැන්වල තණ කොළ මියගොස් ඇතිවිටෙක
  • තණ පිටියේ උස්වී වැඩි එහි ඒකාකාරී බව නැතිවීම.
  • තණ පිටියේ ඇති ශාක අභිබවා වෙනත් තෘණ වර්ග හා වල් පැළෑටි මතුවී ඇතිවිට

බොහෝ දෙනා රාජකාරි කටයුතු සඳහා උදෑසනින්ම නික්මෙනවා.මේ නිසා බොහෝ දෙනෙක්ට තමන්ගේ ගෙමිදුල කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි වනවා.  ඒ නිසා බොහෝ අය ගෙමිදුල ගැන අවධානය යොමු කරන්නේ සතියකට හෝ මාසයකට වරක්.මෙය ගෙවත්තකට
එතරම් හොඳ තත්වයක් නෙවෙයි.ඒ නිසා එය නොකළ යුත්තක්. ඒ නිසා තණ පිටියක් පවත්වාගෙන යාමේදී මුලින්ම සැළකිලිමත් විය යුත්තේ තමන්ට එය නිසි පරිදි නඩත්තු කරන්නට විවේකය තිබෙනවාද යන්න පිළිබඳව වනවා .

තණ පිටියක් අවලස්සන වීමට බලපාන ප්‍රධාන කාරණාව වන්නේ එයට ජලය නොමැති වීම වනවා. සාමාන්‍ය තණ පිටියකට දින දෙකකට වරක්වත් ජලය ලබා දිය යුතු වනවා. ජලය හොඳින් පොළවට උරා ගන්නා ලෙසට දැමිය යුතුයි.
කාර්ය බහුලත්වය නිසා සමහර විට එසේ ජලය දැමීමට කාල වේලාව සොයා ගත නොහැකි විය හැකියි.එසේ වුණත් පසුතැවිය යුතු නැහැ.ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රමයක් අනුගමනය කළ හැකියි.
වටේ රවුමක් ආකාරයට ජලය විහිදෙන කරාම සහිත ජල සැපයුම් උපකරණයක් තෘණ පිටියේ සාදා ගැනීමට පුළුවන්.එවිට එම කරාමය වීවෘත පැය කාලක් හෝ බාගයක් ජලය දැමීමට ඉඩ සලස්වා ඔබේ කාලය ඉතිරිකරගත හැකියි.
එමෙන්ම තණ පිටියේ ඇති පොළොවට යටින් සිදුරු සහිත pvc බට යොදා එය කරාමයක් සහිතව නිවසේ ප්‍රධාන ජල සැපයුමට සවිකර තැබීමෙන් තණ පිටිය ඇති පෙදෙසේ පොළොව තෙත්ව පවතින පරිදි සකස් කර ගැනීමට ඔබේ කාල වෙලාව හෝ ශ්‍රමය අවශ්‍ය වන්නේ නැහැ.

තණ පිට්ටනිය තිබූ පමණින් සුන්දරත්වයක් දිස් වන්නේ නැහැ. එය වඩාත් දීප්තිමත්ව පවත්වාගෙන යා යුතු වනවා .එහි වර්ණය ස්වාභාවික කොළ පැහැයෙන් දිස් විය යුතුයි.පත්‍ර කහ පැහැ ගැන්වී ඇත්නම් පවසන්නේ ප්‍රමාණවත් තරම් ආහාර එයට නොමැති බව වනවා.

මේ නිසා යුරියා ඉතා ස්වල්පයක් පමණක් [ගිනි පෙට්ටි පියනක් ] මල් බාල්දියක ජලයට එකතු කර තණ පිටියට වක් කරන්න.නොඑසේනම් නිල් කැට පොහොර ඉතා ස්වල්පයක් විසිරී යන පරිදි තෘණ පිටියට ඉසින්න.එසේ කිරීමෙන් අනතුරුව ජලය දැමීමටද අමතක කරන්න එපා. ඒ වගේම පොහොර වැඩි වීමෙන් තණ කොළ වලට හානි වී මිය යාමටත් පුළුවන්.ඒ නිසාවෙන් සියල්ල අරපරිස්සමින් සැලසුමක් ප්‍රමාණයක් ඇතිව සිදු කිරීමට වග බලා ගත යුතු වනවා.

ඉතින් ඔබේ සුන්දර ගෙවත්ත තවත් සොඳුරු කරන තෘණ පලස අලංකාරව  වඩාත් දීප්තිමත්ව පවත්වාගෙන යාමට ඉහත මඟ පෙන්වීම ඔබට බෙහෙවින් ඉවහල් වේවි කියා අප සිතනවා.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles