බඳින්න කලින් හිතන්න කරුණු

විවාහය කියන්නෙ කෙනෙකුගේ ජීවිතය තුළ ගන්නා බරපතල තීරණයක්. වගකීම්සහගතව මුහුණ දිය යුතු අවස්ථාවක්. තනිකඩ ජීවිතයට තිත තියන්න කල්පනා කරගෙන ඉන්න හැම කාන්තාවකට ම මේ වගකීම් සහගත අවස්ථාවට නිවැරදිව මුහුණදෙන්න  හොඳ අවබෝධයක්, ආත්ම විශ්වාසයක් වගේ ම හොඳ හැකියාවක් තියෙන්න ඕනේ.

ඔබේ විවාහය සිද්ධවෙන්නේ ප්‍රේම සම්බන්ධයකින් අනතුරුව නම් එහි දී ඔබ දෙ‍දෙනා එකිනෙකා ගැන දැනටමත් අවබෝධ කරගත් බොහෝ දේ ඇති. ඔහු කැමති අකැමති දේවල්, ඔහු වැඩියෙන්ම සතුටු වන දේවල් ගැන, ඔහුගේ හැසිරීම්, හැඟීම් ගැන ඔබට බොහෝ දේ දැනටමත් හෙළිදරව් වී ඇති. හැබැයි මතක තියාගන්න ඕනේ, ඔබ දැනට හඳුනාගෙන සිටිනවාට වඩා ස්වාමිපුරුෂයෙක් හැටියට ඔබ ඉදිරියේ දී හඳුනාගන්නට ඉන්න කෙනා ‍වෙනස් වෙන්න පුළුවනි. ඔහුටත් ඔබ පෙම්වතියකට වඩා වෙනස් ලෙස තමයි හෙට දවසේ දී හමුවෙන්නේ. මේ වෙනස ඔබ අවබෝධ කරගන්න ඕනේ.

ඔබ සූදානම් වෙන්නේ යෝජිත විවාහයකට නම්, ඔබේ සැමියා වෙන්නේ ඔබ පෙම් කළ අයෙක් නොවෙයි. ඔබට, ඔහුට ප්‍රේම කරන්නට පටන් ගන්නට වෙන්නේ ඔහු විවාහ කරගත් පසුවයි. මෙහි දී ඔහු ඔබට ආධුනික කෙනෙක්. ඔහුගේ හැසිරීම්, හැඟීම්, විවිධ අවස්ථාවල දී ඔහු කටයුතු කරන ආකාරය, ඔහු ආදරය බලාපොරොත්තු වෙන ආකාරය, ඔහු සහ ඔහුගේ මිතුරන් අතර සම්බන්ධතා, ඔහු සහ ඔහුගේ දෙමාපියන්, නෑ හිතවතුන් අතර සම්බන්ධතා, ඔහුගේ ඇබ්බැහිකම්, පුරුදු, ආදී කිසිවක් ගැන ඔබ ගැඹුරින් දන්නේ නැහැ. මේ නිසා බොහෝ කාන්තාවන් ඇත්තටම යෝජිත විවාහයකට කැමති වෙන්නට අනියත බියක් පවා ඇති කරගන්නා අවස්ථා තියෙනවා. එහෙත් එය එසේ විය යුතු නැහැ. හැබැයි යෝජිත විවාහයකට යොමුවන ඔබ අවධානයට ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා.

හිතන හැටි හොඳ ද?

හැකිතාක් ඔහු සමග අදහස් හුවමාරු කරගන්න. ඔහුට වැඩිපුර කතාකරන්න ඉඩ දෙන්න. අවධානයෙන් ඔහුට සවන් දෙන්න. ඔහු නෑදෑයින්, මිතුරන්, හා ‍අසල්වැසි සම්බන්ධතා ගැන දරන අදහස් විමසා බලන්න. ඔහු විවේකය ගතකරන්නට කැමති ආකාරය සොයා බලන්න.

හිතේ මැවුණු කෙනාම ද ඉන්නේ?

හුඟක් තරුණියන් හිතින් මවාගත්ත පිරිමි හැබෑ ලෝකෙ ඉන්නෙ චිත්‍රපටිවල විතරයි. ඒ කොහොමවුණත් හොඳ පෞර්ෂයක් තියෙන පිරිමියෙක් තමන්ගෙ ස්වාමි පුරුෂයා කරගන්න කවුරුත් කැමතියි. ප්‍රියමනාපබව, සුහදශීලීබව, සරලබව අවංකබව, ‍ආදරණීය බව ඔහුගේ මුහුණේ වගේම හදවතෙත් තියෙනවද කියල හොඳට නිරීක්ෂණය කරන්න. හැබැයි කැමති ගතිගුණයක් දැක්ක ගමන් එකවරම ලකුණු 100ක් දෙන්න එපා. පියවරෙන් පියවර ලකුණු දෙන්න.

කියන්නෙ ඇත්ත ද?

ඔහුගේ රැකියාව, මිතුරන්, ඔහුගේ සමාජ තත්වය, ඔහුගේ පවුල් පසුබිම, ඔහුගේ විනෝදාංශ, අධ්‍යාපන මට්ටම, වගේ දේවල් ගැන ඔහු ඔබට කියා ඇති තොරතුරු ඇත්තටම ඇත්ත ද කියා හොඳින් හොයා බලන්න. අද කාලේ සමහර තරුණියන් ‍තමන් කැමති බාහිර රූපය මුණ ගැහුණ ගමන් ම පිරිමියෙකුට ආදරය කරන්න පටන් ගන්නවා. ඒ අතරතුරේ දි තමයි ඔහුගේ වටපිටාව, පසුබිම හොයා බලන්නේ. හොයල බලන්නෙ නැතිව තීරණ අරන්, පටන් ගත්ත සම්බන්ධතාව අතරමග නතර කරන්න බැරිකමට පස්සෙ පසුතැවෙන්න එපා.

කියවනවද , අහන් ඉන්නවද?

ඔහු ඔබට සවන් දෙන්නට ප්‍රිය කරනවාද, වැඩියෙන් ඔබ අසන්නෙකු බවට පත්කරනවාද? ‍සමහර පිරිමින් වැඩිපුර කතාකරන්නට ප්‍රිය කරන අතර සමහරු අඩුවෙන් කතාකර වැඩියෙන් අසා සිටින්නට හුරුව සිටියි. මේ කවරාකාර වුවත් එය ඔබ දෙදෙනාගේ අතර සම්බන්ධතාවක් ගොඩනගාගැනීම අසීරුතාවට පත් නොකරන මට්ටමේ පැවතිය යුතුයි. ඔබ යම් යම් කරුණු ගැන වැඩිපුර විමසීම් කිරීම ගැන ඔහුගේ ප්‍රතිචාර හොඳින් නිරීක්ෂණය කරන්න. ඔහු ඉක්මන් කේන්තිකාරයෙක් ද, නැත්නම් හොඳ ඉවසීමක් ඇති කෙනෙක් ද කියා ඔබට යම් අවබෝධයක් එයින් ඇතිකරගන්නට හැකිවේවි.

නාස්තිකාරයෙක් ද? ලෝබයි ද?

මුදල් සම්බන්ධව ඔහු දරන ආකල්පය ‍දැනගන්න. එය සෘජුව විමසන්නට එපා. ඔබට නිවැරදි උත්තරයක් එයින් ලැබෙන්නේ නැහැ. හිතුමතයේ නිකරුණේ මුදල් නාස්ති කරන කෙනෙක් ඔබේ ජීවිතයට එකතු කර‍ගන්න හදන්න එපා. සමහරවිට මුල් කාලයේ දී ඔබට එය දුර්වලතාවක් වෙනුවට ඔහු ලෝබ නැති කෙනෙක්ය යන සාධාරණීකරණයක‍් ලබාදෙන කරුණක් වේවි. නමුත් එය පසුකාලීනව ඔබට ම ගැටළුවක් වේවි. හැබැයි ඒ වගේම අවශ්‍යම දේවල්වලට පවා මුදල් වියදම් කරන්නට අකමැති අයත් ජීවිතේට සම්බන්ධ කරගන්නේ ‍පරිස්සමින්.

ඔහුගේත් ඔබගේත් පැරණි ප්‍රේම සබඳතා එක්වරම කතාකරන්නට යන්න එපා. ඔහු හොඳින් අවබෝධ කරගන්නට පෙර ඔහුට ඒ තොරතුරු ලබාදීම අනවශ්‍යයි. ඔබේ අවංකභාවය සමහරවිට ඔබේ අවාසියට හේතුවෙන්නත් පුළුවනි.

හැබැයි මොනම හේතුවක් නිසාවත් ඔහු සමඟ වංචනිකව කටයුතු කරන්න එපා. අනවශ්‍ය සාදු චරිතයක් හැටියට ඔහු ඉදිරියේ පෙනී සිටින්නත් එපා. ඔබ ඔබ හැටියට ම පෙනී සිටියොත් ඒ සරලබව ම ඔහු ඔබට දැඩිව ආදරය කරන්නට හේතුවක් කරගනීවි.

හිතේ තියෙන ඔක්කොම එකපාර කියනවද?

ඔබ ඔබේ සැමියා වන කෙනාගෙන් බලාපොරොත්තු වන දේවල්, ඔබේ සිහින, ඔබේ ආශාවන් ගැන ඔහුට එක්වර ම හෙලිදරව් කරන්න එපා. පියවරෙන් පියවර ඒවා ඔහු සමග ඔබ ඇතිකරගන්නා අවබෝධයත් සමග ප්‍රකාශ කිරීමයි වඩා වැදගත්.

හඳහන් ගැන, ආගම ගැන, සමාජය, සංස්කෘතිය ගැන ඔහු දරන ආකල්ප ගැන විමසිලිමත් වෙන්න. සමහරවිට ඔහු අන්තවාදී අදහස් දරන කෙ‍නෙක් වුණොත් ඔබට එය මුලින්ම අවබෝධ කරගන්න එක වඩා හොඳයි.

හඳුනගන්නත් කලින් උදව් ගන්නෙ කොහොම ද

ඔහුගෙන් උදව් ලබාගන්නට හෝ ඔහුගේ රැකවරණය ලබාගන්නට හෝ ඉක්මන් වෙන්න එපා. ඔහු සහ ඔබ තවමත් දැනහඳුනාගන්නා සහ අධීක්ෂණය කරන අදියරේ සිටින නිසා එය මේ අදියරේ දී සමහරවිට ගැටළුවක් විය හැකියි. මේ අදියර අවසන් වෙනකල් විවාහය ගැන සැලසුම් කරන්නට තීරණය කරන්න එපා.

ආවට ගියාට තීරණ ගන්න එපා!

ලෝකයේ හැම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වෙන සුළුයි. මිනිස්සුන්ගෙ හිතිවිලිත් එහෙම තමයි. අද හොඳයි කියල හිතෙන කෙනා හෙට වෙනකොට හුඟක් නරකයි කියල හිතෙන්න පුළුවනි. හැබැයි විවාහය කියන්නෙ වැනි වැනි, ආවට ගියාට ගන්න තීරණයක් නෙමෙයි. විවාහය ජීවිතයට එකතු කරන්නෙ ශක්තියක්. ඒ හරහා ජීවිතයට අලුතින් එකතු වෙන බැඳීම සාර්ථක වුණේ නැත්නම් ඔබ ඇතුළු බොහෝ දෙනෙකුට ඒ නිසා පීඩා විඳින්න වෙනවා. එකට ජීවත් වෙන කොට දුරින් හිටිය කාලෙ හඳුනගන්න බැරි හුඟක් දේවල්  දෙදෙනාට ම දෙදෙනා ගැන අවබෝධ වෙන්න පටන් ගන්නවා.

ගැහැනුයි පිරිමියි එක සමාන නැහැ

කවුරුවත් මේ ලෝකෙ එකම විදියට කටයුතු කරන්නෙ නැහැ. ඒ නිසා සමාන අදහස් සමාන ගති පැවතුම් සමාන හිතිවිලි හොයන්න වෙහෙස වෙන්න එපා. නොගැළපෙන තැන්වලදි අනුගත වෙන්න හුරු වෙන්න. ඉවසීම, කැපකිරීම එකිනෙකා වෙනුවෙන් කරන එක තමයි සාර්ථකව බැඳීමක් පවත්වගන්න කොට හැම කෙනෙකුටම අවශ්‍ය වෙන්නේ. ගැහැනියක් සහ පිරිමියෙක් කවදාවත් එකම විදියට හිතන්නේ නැහැ. එකම විදියට වැඩ කරන්නෙත් නැහැ. ඒ නිසා ඔබ දෙදෙනාගේ ඒ වෙනස අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඕනේ. දෙන්නම එක්කෙනෙක් විදියට හිතනවට වඩා දෙදෙනාගේ අනන්‍යතාව තේරුම් ගන්න දෙදෙනෙක් වෙන්න පුළුවන් නම් ඔබ දෙදෙනා අතරේ සාර්ථක බැඳීමක් ඇතිවේවි. යෝජනාවකින් වුණත්, ආදර සම්බන්ධයකින් වුණත් ඔබ එහෙම කෙනෙක් ජීවිතේට එකතු කරගන්නවනම් ඔබේ අනාගතය හුඟක් ලස්සන වේවි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles