අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින

ඉස්සර කාලෙ අම්මලා රස්සාවල්වලට ගියේ නැහැ. තාත්තලා රස්සාවට ගිහින් සල්ලි හම්බර කරගෙන එනකොට ගෙදර දොරේ ඉවුම් පිහුම් වැඩ, පිරිසිදු කිරීම්, දරුවන් රැකබලාගැනීම, දරුවන් පෝෂණය කිරීම ඇතුළු භාරදූර කටයුතු සියල්ල ඉතා හොඳින් ඉටු කළේ අම්මලා. ඇය මුලු දවස පුරාම වෙහෙසුණේ තමන්ගේ පවුලේ උදවියගෙ යහපත වෙනුවෙන්. ගෙදර සියලු වගකීම්, ඉතා සතුටින් ඉටු කරන්නට ඇයට තියෙන්නේ අපූරු ශක්තියක්.  අද අම්මලා එදා අම්මලාටත් වඩා ඒ ශක්තියෙන් පොහොසත්. තමන්ගේ සැමියා වගේ ම හරිහරියට ජීවන බර බෙදාගන්න දැන් ඇයත් එකතු වෙලා. ලෝකෙ සමස්ත කාන්තාවන්ගෙන් රැකියා කරන කාන්තාවන්ගේ ප්‍රතිශතය 2015 වසර අවසන් වෙනකොට සියයට 50 ත් ඉක්මවලා.

රැකියා කරන අම්මලාට ගෙදර දොරේ වැඩකටයුතුවලට වෙන් කරන්න තියෙන්නෙ ඉතා ම සීමිත වෙලාවක්. ඒත් එක වැඩක්වත් පැහැර හරින්න ඇයට පුළුවන්කමක් නැහැ. දරුවන්ගෙ පෝෂණය, ස්වාමිපුරුෂයාගේ කටයුතු, ගෙදර දොර පිරිසිදුකිරීම්, ඉවුම් පිහුම්, ඇතුළු සියලු වැඩකටයුතු සිදුකරන්න ඇයට තියෙන්නේ ඉතා සීමිත කාලයක්. මේ නිසා තමන්ගෙ ශාරීරික වෙහෙස, සෞඛ්‍ය තත්ත්වය, රූපලාවන්‍යය කටයුතු පවා ඇයට අමතක  කර දමන්න සිදු වෙලා. නතර නොවන මැෂින් එකක් වගේ එක දිගට දුවන ඇගේ මේ දින චරියාව හරියට ම අවබෝධ කරගන්න කාට ද පුළුවන්. වෙන කාටත් වඩා ඇය අවබෝධ කරගන්න ඕනේ ඇගේ සැමියා විසින්මයි. සැමියෙකුගේ ආදරණීය වචන, ආදරණීය සහයෝගය, කාරුණික අව‍ධානය ඇයට මේ හැමදේම වඩාත් ශක්තිමත් කරන්න අත්‍යවශ්‍යයි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ, ආචාර්ය රෝහණ වීරසීහයන් තනු නිමැවූ ආචාර්ය පණ්ඩිත් අම‍රදේවයින් ගැයූ තාත්තා වුණත් මා බත සරිකරන ගීතය දයාබර ස්වාමිපුරුෂයෙක් තමන්ගේ ආදරණීය බිරිඳට ලබාදෙන අතිශයින් ම සොඳුරු ප්‍රශංසාවක්. හැම ස්වාමිපුරුෂයෙකුට ම තමන්ගෙ ආදරණීය බිරිඳ ගැන මෙහෙම හි‍තෙනව නම් මේ ලෝකයේ ඉන්න හැම බිරිඳක් ම කොයිතරම් වාසනාවන්ත වේවිද?

තමන් බත සරිකරන බව ඇත්තයි. ඒත් දරුදැරියන් රකින්නී ඇයයි. ඇය රකින්නේ ඔහුගේ ලෙයින් උපන් දරුවනුයි. දරුවන් නොමැති කල ඇය ඔහුට සපුරා ලබාදුන් ආදරය අද දරුවන් වෙනුවෙන් පුද කරමින් රෑ දවල් දෙක්හි අප්‍රමාණව වෙහෙසෙන්නී ඇයයි. ඔහුට ඇය දුටු පළමු දිනයේදීවත් හදවතට නොදැනුණු තරම් බර ආදරයක්, දයාවක් ඇය වෙනුවෙන් අද මතුවන්නේ ඒ නිසයි.

ඈ ළඟින් හමන සුවඳින් ඔහුට දැනෙන්නේ බැතිබර හැඟීමකි. ඒ සුවඳ ඇගේ අතෙහි වූ දරුවාගේ මුවෙහි ද නිබදව ම පවතියි. සියලු වැඩකටයුතු අවසන ඔහු සමීපයේ සිට ආදරයෙන් ඇය ඔහුගේ හිස සිඹින විට ඇයට ඔහු බිරිඳ ලෙස නොහැ‍ඟෙයි. උත්තරීතර මාතෘත්වයේ සුවඳ ඇගෙන් ඔහු අත්විඳියි.

https://www.youtube.com/watch?v=ckpW8nWkBNA

-නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles