මාසේ පඩිය පිරිමහගන්න බැරිද?

මාසෙට තමන්ට ලැබෙන මුදලට අනුව පවුලේ වියහියදම් කළමනාකරණය කර ගැනීම බොහෝ කාන්තාවන්ට අභියෝගයක්. මේ උපදෙස් ක‍්‍රියාත්මක කරොත් මුදල් කළමනාකරණය කර ගැනීම තවදුරටත් ඔබට අභියෝගයක් නොවේවි.

මාසයකට ලැබෙන ආදායම සහ මාසය සදහා අනිවාර්යෙන්ම වියදම් කළයුතු ප‍්‍රමාණය ලැයිස්තුගත කරන්න.
ව්දුලි බිල්, දුරකථන බිල්, ටෙලිෆෝන් බිල්, වතුර බිල්, ගෑස් ආදියට අනිවාර්යෙන්ම ගෙවිය යුතු මුදල වෙන් කර ගන්න.
අදාල මාසයට අවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ලැයිස්තුවකට ගන්න. ඉදිරි මාසයේදී ගෙන ආ පාරිභෝජන ද්‍රව්‍යවලින් ඉතිරි වී ඇති ප‍්‍රමාණය පිළිබදව අවබෝධය ලබා ගන්න. ඉන්පසුව අඩුපාඩු හා අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනම ලැයිස්තුවකට ගන්න.
එළවළු, මාළු, වැනි දැ හැරුනු විට අල, ලූණූ, පරිප්පු, සීනි, කිරිපිටි වැනි වියළි දාව්‍ය එකවර මිලදී ගන්න.
අත්‍යවශ්‍ය වියදම් හැරුණු කොට සෞඛ්‍ය, දානගෙවල්, පිංකම් ආදි හදිසි අවශ්‍යතා සදහා අනුමාන මුදලක් වෙන්කර තබන්න.

නිවසේ ස්වාමියා සහ බිරිඳ යන දෙදෙනාම රැකියා කරනවා නම් දෛනික කටයුතු සහ බාහිර වියදම් දෙදෙනා අතර බෙදාගන්න. නැතිනම් දෙදෙනා කතා වි එක් වැටුපක් ඉතිරි කර එක් වැටුපකින් මාසය සැලසුම් කරන්න.
නිතරම මිලදී ගැනීම් කරන විට ස්වාමියා බිරිඳ කතාකර මිලදී ගන්නා දේ තීරණය කරගත යුතුය. නැතිනම් නිවසට අනවශ්‍ය බොහෝ දේ මෙන්ම දෙදෙනාම එකම භාණ්ඩය මිලදී ගැනිම සිදු විය හැකිය.
හදිසියේ වැඩිපුර වියදම් කිරීමට සිදුවන සමාජමය අවස්ථා උදාවෙන බැවින් හැම මසකට ඒ වෙනුවෙන් මුදලක් ඉතිරි කර තබන්න.

ක්‍රෙඩිට් කාඞ් වැනි දේ අවශ්‍ය උවමනා වෙනුවෙන් පමණක් භාවිත කරන්න. ඊට ගෙවිය යුතු මුදල මාසයේ අවසන් දිනට පෙර ගෙවා දමන්න. එසේ නොකළහොත් ඊට පොළි මුදලක් එකතු වී නියමිත මාසික වියදමට වඩා අතිරේක මුදලක් දැරීමට සිදුවෙයි.

අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමේදී වටපිටාවේ පරිභෝජනයන් උදාහණයට නොගන්න. තමන්ගේ පසුම්බියෙන් ණයක් නොවී ජීවත් විය හැකි ආකාරයට එය සැලසුම් කර ගන්න.උදා- ලක්‍ෂයක මාසික ආදායමක් ඇති අල්ලපු ගෙදර කමලා රු:85,000 ක සෝපාවක් මිලදී ගන්නවා කියා මාසික ආදායම රු:30,000 ක් වන ගීතාත් එය මිලදී ගැනීමට කටයුතු කළොත් ඇයට සිදු වන්නේ මාස ගණනක් ණය ගෙවීමටයි. ඒත් ඇය ඒ වෙනුවෙන් මාසිකව මුදලක් ඉතිරි කර එය මිලදී ගැනීමට කටයුතු කළොත් ණය නොවී මිලදී ගැනීමට හැකියාව ලැබේ.

පොළියට ණය මුදල් ගෙන තිබෙනවා නම් මාසයේ නියමිත දිනට ඒවා ගෙවා දමන්න.

තමන්ගේ වැටුපට සරිලන වියදමක් සැළසුම් කර ගත හොත්, මාසය ණය බරකින් තොරව ගෙවා දැමිය හැකියි.

සිරිකත පුවත්පත ආශ‍්‍රයෙන් සකස් කරන ලදී.

Related Articles

Don't Miss


Latest Articles