ශ්‍රී කාන්ත නම් වන ඔහු අරමුණකින් තොරව සැරි සරමින් සොයන්නේ කුමක්ද?

0
467

“නිශ්චිත අරමුණක් නැතිව ඉබාගාතේ යන ජීවිතයක සන්ධ්‍යා භාගයේ පසුවන මා මේ සැරසෙන්නේ මගේ අතීතය ගැන ඔබට පවසන්නටයි . අතීතය ගැන මතකය අවුස්සද්දි විවිධාකාර දේ මගේ සිහියට නැගේ .”

මේ වංග බසින් සිංහලයට චින්තා ලක්ෂ්මී සිංහාරච්චි විසින් පරිවර්තනය කල ශ්‍රී කාන්ත නවකතාව ආරම්භක පරිච්ඡේදයයි . වංග පාඨකයන් අතර ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නැගීමට සමත් වූ ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍ය මෙහි මුල් කෘතියේ කතුවරයායි .ඉතාමත් අලංකාර සරල ආකෘතියක් ඔස්සේ කතාව ගොඩ නංවා ඇති බැවින් රසවිඳීම ඉතාමත් පහසු වන අතර සරල ආකෘතියක් ඔස්සේ කතුවරයා මිනිස් සම්බන්ධතා පිලිබඳ ගැඹුරු කතිකාවක් වෙතට පාඨකයා රැගෙන යාමට සමත්වන පොතක් ලෙස මේ නවකතාව හඳුන්වා දෙන්න පුළුවන් .ඒ වගේම මේ පොත එක හුස්මට කියවිය හැකි වර්ගයේ එකක් .

ශ්‍රී කාන්ත මෙහි ප්‍රධාන චරිතය වනවා . අසාධාරණ සමාජ නීති ,කුල බන්ධන ,කාන්තාවන්ට හිමි වී ඇති පහත් තැන යනාදිය නිතරම සිය නවකතා ඔස්සේ කතාකළ කතුවරයා තම සැබෑ චරිතයද ශ්‍රී කාන්ත සඳහා එකතු කර ඇතැයි සිතෙන්නක් ,එසේම මෙම නවකතාව කොටස් දෙකක් ලෙස රචනා වී ඇති අතර මෙහි දෙවන කොටසද චින්තා ලක්ෂ්මී විසින් ශ්‍රී කාන්ත සහ රාජ ලක්ෂ්මී යනුවෙන් පරිවර්තනය කර තිබෙනවා.

රැන්ගුන් වල ප්‍රසිද්ධ නන්ද බාස් උන්නැහේ තමා බව ඔහු මට කීවාය.යොවුන් විය පසු කල මහත කාන්තාවක් ඒ අසල හිඳගෙන මා දෙස එක දිගටම බලා සිටියාය. නන්ද බාස් උන්නැහේ මට ඇය හඳුන්වා දෙන්නට සැරසුණේය

“මේ තමයි මගේ පවු …… “”

වචනය සම්පුර්ණ කිරීමටත් කලින් ස්ත්‍රිය බණින්නට වූවාය.

“මං තමුසෙගෙ පවුල කියල කියන්නද යන්නේ ?මේ බලනවා බාස් ,එක එක්කෙනා ඉස්සරහා බොරු කියලා මට අපහාස කරන්න එපා .”

මම පුදුමයට පත්ව කර කියා ගත හැකි දෙයක් නොමැතිව බලා සිටියෙමි .නන්ද බාස් ලැජ්ජාවට පත් විය. “අය්යෝ තරහා ගන්නේ ඇයි කැකුලි, මන් පවුල කියලා කියන්නේ වෙන කාටද ?අවුරුදු විස්සක් ……….

කැකුලි තදින්ම කෝප යට පත් වුවාය. “අවුරුදු විස්සක් වුණා තමයි මගේ කාලකන්නි කමට ,මම වෛෂවණ කුලේ ගෑනියක්. කේවට්ටයකුගේ පවුල වෙන්නේ කොහොමද ?අවුරුදු විස්සක් පවුල් කෑවට මම මේ මිනිහට එක දවසක්වත් කුස්සියට ඇතුල් වෙන්න දුන්නේ නෑ.

විශේෂයෙන්ම චින්තා ලක්ෂ්මිගේ විශිෂ්ට පරිවර්තනය නිසාවෙන් ශ්‍රී කාන්ත සිංහල පාඨකයාවෙතද ආකර්ෂණය වෙනවා ,එසේම ඇය ඒ සඳහා මහත් වෙහෙසක් දරා තිබෙන අතර මුල් බසින්ම සිංහලට පරිවර්තනය කිරීම නිසා වන සාර්ථකත්වයද අත් පත් කර ගැනීමට සමත් වී තිබෙනවා ,

විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය විසින් ප්‍රකාශයට පත් කර ඇති මේ පොත ඔබේ විවේක කාලය අර්ථවත් කරන පොතක් බව කියන්න පුලුවන්. එසේම සම්භාවනීය ගද්‍ය කාව්‍යක් ලෙසද බුහුමන් ලබා ඇති මේ නවකතාව මිනිස් දිවියේ ඛේදාන්තයන් අප හමුවේ රඳවා අපගේ ජිවන දැක්මන් ඉහලට ඔසවා තබනට දෙන අත්වැලක් ලෙසද හඳුන්වා දෙන්නට හැකියි .ඉතින් ලබන සතියෙත් ඔබේ දිවිය ස්මාර්ට් කරවමින් ඔබේ විවේකය ස්මාර්ට් ලෙස ගත කරන්නට සමත් පොතක් ගැන කතා කරන්න අපි හමු වෙමු .

චම්මි