ඇත්තට ම ඔබ හරියට ම දත් මදිනව ද?

ත් මදින එක අමාරු දෙයක් නෙමෙයි. පුංචි බබාලගෙ දත් මද්දන එක නම් සමහර වෙලාවට අමාරුයි. ඒත් වැඩිහිටි ඔබට මේ ගැන අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් නැතුව ඇති. දවසට දෙවරක්වත් හරියට දත් මැදලා, නිවැරදි දන්ත සෞඛ්‍යයක් පවත්වාගන්න එක ඕන ම කෙනෙකුට අපහසු කටයුත්තක් නොවෙයි. ඒත් දත්වල විවිධාකාර  ගැටළු නිසා දිනපතා අපේ රටේ දන්ත රෝග සායනවල පිරී සිටින පිරිස ගැන හොයා බලන කොට ඇත්තට ම හරියට දත් මදින්න දන්නෙ නැති, එහෙමත් නැත්නම් නිවැරදි දන්ත සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නෙ නැති පිරිස වැඩි බව තමයි අනාවරණය වෙන්නෙ.

ඒ නිසා දත් මැදීමේදී ඔබ විසින් නොදැනුවත්වම හෝ මේ වැරදි සිදු කරනවානම් වහා ම ඒ ගැන දැනුවත් වෙන්න. ඔබ විසින් සිදුකරන වැරදි හඳුනාගෙන එම වැරදි ඔබ විසින්ම නිවැරදි කරගන්න.

ඉතාමත් ඉක්මනින් දත් මැදීම

ඔබ දත් මැදිමේදී කාලය ගෙන සෑම දතක්ම ඉතාමත් හොදින් මැදගන්න. දත් මදිනා සෑම අවස්ථාවකදීම විනාඩි 2 – 3 අතර කාලයක් දත් මැදීමට දන්ත වෛද්‍යවරුන් විසින් උපදෙස් දී තිබෙනවා.

ඉතාමත් තදින් දත් මැදීම

දත් බුරුසුවට ඉතාමත් විශාල ජවයක් දී දත් මැදීම මගින් විදුරු මස් සහ එනමලයට හානි සිදු වෙනවා. එවැනි ආකාරයට දත් මැදිමේදී මුඛය තුල තුවාල ඇති වීම මගින් ඒ තුළින් බැක්ටීරියා ඇතුළු වී මුඛයේ ආසාදනයන් ඇති විය හැකියි.

දත් මැදීම ප්‍රමාණවත් තරමට සිදු නොකිරීම

උදෑසන අවදි වූ පසුව පමණක් දත් මැදීම ප්‍රමාණවත් කියා සමහරවිට ඔබ සිතුවත් එය ප්‍රමාණවත් නොවේ. දිවා කාලය තුල මුඛයේ බැක්ටීරියාවන් ඇති වන අතර සෑම දන්ත වෛද්‍යවරයෙක් විසින්ම උපදෙස් දෙනු ලබන්නේ අවම වශයෙන් දිනකට දෙවරක්වත් දත් මැදීම සිදු කළ යුතු බවයි. එමගින් මුඛයේ බැක්ටීරියා සහ හානිකර ක්ෂුද්‍ර ජීවින් පලවා හැර මුඛය නැවුම්ව තබා ගත හැකියි.

පැරණි දත් බුරුසුවක් භාවිතා කිරීම

ඔබගේ මුඛ සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට නම් ඔබගේ දත් බුරුසුව මාස තුනකට හෝ හතරකට වරක් මාරු කරන්න. කෙඳි ගැලවෙන සුළු, එසේත් නැත්නම් කෙඳි ඇදී ගිය බුරුසුවක් ඔබේ දත් නිවැරදිව පිරිසිදු කරන්නට සමත් වන්නේ නැහැ. සියලු දත් අතරට පහසුවෙන් ළඟාවිය හැකි අන්දමේ බුරුසුවක් තෝරාගැනීමත් මෙහි දී ඉතා වැදගත්.

වැරදි පැත්තෙන් දත් මැදීම

සමහර අය තමන්ගේ දත් බුරුසුව කෙලින් අතට හරවා දත් මැදීම සිදුකරනවා. නමුත් මෙය ඉතාමත් නරක පුරුද්දක්. ඒ මගින් විදුරු මස්වලට සහ එනමලයට හානි සිදු වේ. ඒ නිසා එයින් වහාම වළකින්න. ඔබ දත් මදින අවස්ථාවේදී ඔබගේ අත අංශක 45 ක ප්‍රමාණයක් නමා දත් බුරුසුව හරස් අතට හරවා දත් මදින්න.

පැත්තෙන් පැත්තට දත් මැදීම

ඔබ දත් මැදීමේදී උඩට යටට සහ පැත්තෙන් පැත්තට දත් මැදීමෙනුත් වළකින්න. එමගින් ඔබගේ එනමලයට හානි සිදුවෙනවා. ඔබගේ දන්ත එනමල ආරක්ෂා කර ගැනීම සඳහා වක්‍රාකාර ලෙස මෘදුව දත් මදින්න.

රළු දන්තාලේපයන් භාවිතා කිරීම

විවිධ නම්වලින්  හඳුන්වන විවිධ රසවලින් සහ පැහැයෙන් යුත් දන්තාලේප රාශියක් වෙළඳ පොළේ ඔබට හමුවේවි. කෙසේ වෙතත් රළු දන්තාලේප භාවිතය එතරම් සුදුසු නැහැ. එමඟින් ‍ඉතා වේගයෙන් ඔබේ දත් සුදු කර දෙනු ලැබුවත් එය ඉතා තාවකාලිකයි. ඒ වගේම එමගින් ඔබගේ එනමලයට ද හානි සිදුවෙනවා. සිනිඳු දන්තා ලේප පමණක් භාවිත කරන්නට වගබලාගන්න.

 දිව මැදීමට අමතක කිරීම

දිව මත බැක්ටීරියාවන් වර්ධනය වන බැවින් ඔබ දත් මදිනා සෑම අවස්ථාවකදීම ඔබගේ දිවත් මැදීමට අමතක කරන්න එපා. එමගින් ඔබගේ මුඛයේ රැඳී සිටින බැක්ටීරියාවන් විනාශ කරදමා මුඛ සෞඛ්‍යය වර්ධනය කර ගැනීමට හැකිවෙනවා.

දත් අතර පිරිසිදු නොකිරීම

දත් අතර පිරිසිදු නොකිරීම අප විසින් සිදු කරනු ලබන ඉතාමත් බරපතල වරදක්. දත් බුරුසුව මගින් අපගේ දත් අතර පිරිසිදු නොවන අතර දත් අතර සිරවී ඇති කෑම කැබලි ආදිය ඉවත් වී නොයයි. මේ සදහා නූල් කැබැල්ලක් ගෙන ඔබගේ දත් අතර පිරිසිදු කරගන්න. එමගින් ඔබගේ විදුරුමස් ආසාදනයන් වළක්වා ගැනීමට හැකියි.

කෙදි සුමට දත් බුරුසුවක් භාවිතා නොකිරීම

දත් බුරුසුවේ කෙදි ගොරෝසු වීම මගින් විදුරුමස් හානි වනු ලබයි. එම නිසා කෙදි සුමට දත් බුරුසුවක් භාවිතා කර දත් බුරුසුවට යොදන පීඩනය අඩු කර දත් මදින්න.

ඒ වගේ ම ඔබ ආම්ලික ආහාරපාන පරිභෝජනය කරනවා නම් එවිටත් ඔබගේ එනමලයට හානි සිදු වෙනවා. මේ නිසා ආම්ලිකතාවය වැඩි ආහාර පරිභෝජනය කිරීමෙන් හැකිතාක් වළකින්න.

දත් සුදු පැහැ ගැන්වීමට රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම 

රසායනික ද්‍රව්‍ය අඩංගු වන දත් සුදු පැහැ ගන්වන නොයෙක් නිෂ්පාදිතයන් දැන් වෙළඳ පොළේ දකින්නට ලැබෙනවා. නමුත් ඒවා ඔබගේ සෞඛ්‍යයට අහිතකර වීමට ඇති ඉඩ වැඩියි. ඒ වගේ ම ඇතැම් රසායනික මගින් ඔබගේ එනමලයට ද හානි වීමට ඉඩ තිබෙනවා. දත් සුදු පැහැ ගැන්වීම සඳහා හැකිතාක් ස්වාභාවික පිළියම් භාවිතා කරන්න.

දත් ගැන ඔබ හිතුවාට වඩා ටිකක් ගැඹුරින් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව දැන් තේරෙනවා නේද? සරලව ම හිතල අමතක කරල දාන, එහෙමත් නැත්නම් නොතකා හරින සමහර දේවල් අපේ ජීවිතේට කොයිතරම් ලොකු බලපෑමක් ඇතිකරනව ද කියල දත් කැක්කුමක් නිසා ජීවිතයේ කොයි වෙලාවක දි හරි වේදනා විඳින්න වුණ ඕනම කෙනෙකුට හොඳින් අවබෝධ වේවි. ඒ නිසා මේ පණිවුඩය SMART විදියට හිතන සියලුම කාන්තාවන්ටයි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles