ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානයට සවාරියක්

ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවිධ පර්යේෂණ කරන්නන් හට මෙම වන උද්‍යානය නුපුරුදු ස්ථානයක් නොවෙයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින මෙම ජාතික උද්‍යානයට ප්‍රවේශ වීමට කොළඹ – නුවර මාර්ගයේ නිට්ටඹුව නගරයෙන් කිලෝමීටරයක් වේයන්ගොඩ දෙසට ගමන් කළ විට හමුවන පින්නගොල්ල හන්දියෙන් වමට හැරී මීටර 600ක් ගිය විට හොරගොල්ල ජාතික උද්‍යානයේ කාර්යාලයට පැමිණිය හැක. උද්‍යානයට පැමිණෙන්නන්ට ඇති එකම දුෂ්කරතාව නම් පිවිසුම් මග පටු වීමයි. එහි පළල අඩි තුන හමාරකන් පමණය. එමෙන්ම වාහන නවතා තැබීමේ පහසුකම්ද අඩු නිසා ලමනාගමන පහසුව පිළබඳව සැලකිලිමත්වන්න.

මෙම ජාතික උද්‍යානය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ නැගෙනහිර ප්‍රාදේශීය ආදායම් පාලක කොට්ඨාශයට අයත් උඩහපත්තුවේ පිහිටි හම්බදළුව ග්‍රාමයෙහි හෙක්ටයාර් 13,362 ක ( අක්කර 33 ) භුමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත. සාමාන්‍ය ව්‍යවහාරයේ ‘හොර කැලය’ යනුවෙන් හැදින්වූ මෙම අකකර තිස් ගණනක භූමිය හොරගොල්ල වලව්වට අයිතිව තිබූවකි. හැත්තෑව දශකයේ එය වනජීවී සංකර්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 1973 ඔක්තෝම්බර් මස 5 දින හොරගොල්ල රක්ෂිතය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම ප්‍රදේශයේ වෙසෙන සත්ව හා ශාක විශේෂ දිගු කාලීනව ආරක්ෂා කර ගැනීම පිණිසත් අධ්‍යාපන, පර්යේෂණ සහ පරිසරය පිලිබදව ජනතාවට ආශ්වාදයක් ලබාදීම සදහාත් වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පණත යටතේ 2004 ජුලි 28 වන දින මෙම අභය භුමිය ජාතික වන උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කරතිබේ.

මිනිස් හා වෙනත් උපද්‍රවයයන්ගෙන් අවතැන් වුණු සතුන් මෙහි ගෙන විත් සුවවන තුරු ප්‍රතිකාර කොට සුදුසු පරිසරයකට නිදහස් කිරීමද මෙහිදී සිදු කැරෙයි. හදුන් දිවියන්, කොළ දිවියන් වැනි දිවි පවුලට අයත් සතුන් මෙන්ම උකුස්සන් වැනි පක්ෂින්ද මෙහි ගෙනවිත් ප්‍රතිකාර කොට නිදහස් කරනු ලැබෙයි. එමෙන්ම වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති විල්මුවා ආරක්ෂා කර ගැනීම සදහාත්, එම සතුන් බෝකිරීම සදහාත් විශේෂ ව්‍යාපෘතියක් වසර දෙකකට පමණ පෙර සිටම මෙහි ක්‍රියාත්මක වෙයි.

වැලි මිශ්‍ර මැටි පසක් පවතින මෙම උද්‍යානය පුරාම තෙත් සහිත ස්වභාවයක් පවතියි. පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන මෙය නිට්ටඹුව නගරයට ආසන්නව පැවතුනද විශාල උෂ්ණත්ව පරාසයක් වසර පුරා දැකගත හැක. ප්‍රධාන වශයෙන් නිරිත දිග මෝසම් වැසි ලබනඋද්‍යානයට වර්ෂය පුරාම විටින් විට වැසි ලැබේ. උද්‍යානය තුළ ඇති තෘණ භුමි ප්‍රමාණය හෙක්ටයාර් 1.5 ක් වන අතර එය උද්‍යානය තුළ පිහිටි එකම තෘණ භූමියද වේ. මෙම උද්‍යානය ආශ්‍රිතව තෙත් සදාහරිත වනාන්තර වලට අයත් ශාක ප්‍රජාවන් දැකිය හැකිය. එසේම උද්‍යානය ආශ්‍රිතව බහුලව වන සත්තු, පක්ෂි විශේෂ, සර්ප විශේෂ සහ මත්ස්‍ය විශේෂද සිටිති. හොරගොල්ල ජාතික උද්‍යානය වනසතුන් හා වෘක්ෂලතාවන් පිළිබදව පර්යේෂණ කරන්නන්ට පමණක්ම සිමා වුවක් නොවෙයි. නිස්කලංක පරිසරයක සුවය මෙහි පැමිණෙන්නෙකුට වීඳිය හැක.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles