දර්ශණීය කත්මණ්‌ඩු නගරයට සවාරියක්

රිදීමය උස්‌ කඳු මුදුන් හා දර්ශනීය තැනිතලා බිම් සහිත නේපාලය සුන්දර රටක්‌. හිමාල පර්වතය හා චීනය උතුරින්ද, බටහිරින් ඉන්දියාව වට කොට ඇති නේපාලයේ අගනුවර වන කත්මණ්‌ඩු නගරය විශාල ප්‍රදේශයක විහිදී පැතිරී ඇති නගරයක්‌.

කත්මණ්‌ඩු නගරය පිහිටා ඇත්තේ හිමාලය මිටියාවතේ. මිලියනයක පමණ ජනතාවක්‌ එහි වාසය කරනවා. වසර 2000 කට වඩා පැරණි ඉතිහාසයක්‌ මේ පුරවරය සතුයි. හිමාලය මිටියාවතේත් මේ නගරයේ ඉතිහාසයත් එකිනෙක වෙන් කළ නොහැකි තරමට එකිනෙක හා බැඳී පවතිනවා. මෙය කි. පූ. (167) දක්‌වා ඈතට දිවයනවා. මෙම නගරයේ වසර සිය ගණනක්‌ ඈත අතීතයේ සිට හින්දුන් හා බෞද්ධයන් සමගිව ජීවත් වී ඇති බවට සාධක තියෙනවා. මෙය Newari (ශාක්‍ය) සංස්‌කෘතිය නමින් හඳුන්වනවා. නගරය පුරාම පැරැණි ගෘහ නිර්මාණ ශිල්පය අනුව තැනූ සුවිසල් මහල් නිවාසවලින් පිරී පවතිනවාග ප්‍රධාන භාෂාව නේපාල වුවත් මෙහි බොහෝ‌ දෙනාට හින්දි සහ ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකියි.

කත්මණ්‌ඩු නගරයට ඒ නම ලැබී ඇත්තේ 1956 දී ලක්‌ෂ්මී නරසිංහ මාල්aලා රජු විසින් ගොඩනඟන ලද අද්විතීය (Mavu Sthal)) නම් විහාර මන්දිරය සෑදීමෙන් පසුවයි. එය එක ලෝහ ඇණයක්‌ හෝ භාවිත නොකොට තනි ගසක දැවයෙන් සාදනු ලැබූ තුන් මහල් ගොඩනැඟිල්ලකි. (Dubar) ඩර්බ චතුරස්‍රයේ ඉදිකරනු ලැබූ මේ ගොඩනැඟිල්ල නම් කරනු ලැබූයේ (Kasthamandap) යනුවෙන් Kasth යනු “දැව”ය. Mandap යනු ආරක්‍ෂක ස්‌ථානය යන අරුතයි. පසුව එය කත්මණ්‌ඩු වූ බව ජන විශ්වාසයයි.

සංචාරකයන් නොවරදවා යන විවිධ ආගමික හා සංස්‌කෘතික වටිනාකම් සහිත ස්‌ථාන රැසක්‌ කත්මණ්‌ඩු නුවර ආශ්‍රිතව තියෙනවා. ඒවා වැඩි හරියක්‌ හින්දු හා බෞද්ධ සිද්ධස්‌ථාන. ඒවා ඉතා පෞරාණිකයි. ඒ වගේම ගාම්භීරයි. අභිමානවත්. ගෘහ නිර්මාණ හා කැටයම් ශිල්ප කලා අතින් ඉතා ඉහළයි. කත්මණ්‌ඩු නගරයේදී ජීවමාන ළමා දෙවඟනක්‌ (Livini Goddes) ගැන කවුරුත් කතා බහ කරනව.

මේ සිද්ධස්‌ථාන අතර පසුපතිනත් (PashuPatinath) දේවාලය (6 වැනි ශතවර්ෂය) කත්මණ්‌ඩු ඩර්බා චතුරස්‍රය (15 – 18 ශත වර්ෂ) වන්ගුනාරායන් (3 වැනි ශත වර්ෂය) ස්‌වයං බුනාත් ස්‌ථූපය හා විහාරය (ඉතා අලංකාර ලෙස ඉදිකරනු ලැබූ ධවල ස්‌තූපයක්‌) මෙයට (Monkey Temple) යනුවෙන් ද නම් කරනවා. බොහෝ වඳුරන් විහාරය අසල සැරිසරමින් සිටිනු දකින්නට ලැබුණා.

සරාන්කොට්‌ යනු කඳු මුදුනක්‌. හිරු බැස යැමේ සුන්දර දර්ශනය දැකීමට සංචාරකයන් මෙහි ඇදී යනවා. පහළින් (Pokhara) නගරය දිස්‌වෙනවා. නමෝ බුද්ධා (Namo Buddha) මෙම ස්‌ථානයෙහි සුදෝ සුදු ලස්‌සන ස්‌ථූපයක්‌ දක්‌නට ලැබෙනවා. එමෙන්ම මෙය බුදුන් වහන්සේගේ පරිත්‍යාගශීලී බව ගැන අපුරු ජන කතාවකුත් තියෙනවා. කුසගින්නෙන් පෙළුන කොටියෙකුට ශාක්‍ය මුනිද්‍රයන් වහන්සේ බෝසත් කල ඇඟමස්‌ දන් දුන් බවක්‌ ඉන් ප්‍රකාශ වෙනවා. Nasarkot කඳු මුදුනට සංචාරකයන් ඇදී යන්නේ එහි රැයක්‌ ගත කොට පසුදා අලුයම හිමාලය කඳු වැටියෙන් හිරු උදාවන මනස්‌කාන්ත දර්ශනය දැක ගන්නයි. බක්‌තපූර් (BHAKTAPUR) නේපාලයේ පැරැණි ප්‍රධාන නගරය ලෙසයි හඳුන්වා තිබුණේ. එහි අසිරිය බලා ගැනීමට සංචාරකයන් අමතක කරන්නේ නැහැ.

සිත් වශී කරන සංස්‌කෘතික අංගයන්ගෙන් යුක්‌ත කත්මණ්‌ඩු නගරය ආක්‍රමණවලින් විනාශ වී ගිය ද ඉතිරි වී ඇති අංග පැරැණි ශ්‍රී විභූතිය මනාව විද්‍යමාන කරනවා. චිත්‍ර, ප්‍රතිමා, මූර්ති, පෙදරේරු වැඩ, වඩු කාර්මික නිපුණත්වය, තඹ ප්‍රතිමා, පැරැණි මැටි බඳුන්, මාල, අලංකාර කිනිසි, ශිව, පාර්වති ප්‍රතිමා මෙහිදී දැක ගන්නටත්, මිලදී ගන්නට හැක.

පානීය ජලය තරමක් අපිරිසිදු බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්විය යුතු අතර සීතලට ගැලපෙන ඇඳුම් රැගෙනයන්නත් අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles