ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මේ දේවල් ගැන දැනුවත්වන්න

වර්තමානයේ බොහෝ යුවතියන් පීඩාවිඳින රෝගාබාධයක්‌ ලෙස ඔසප් චක්‍රය අක්‍රමවත්වීම හැඳින්විය හැකිය. ඊට ආසන්නතම හේතුව ලෙස වර්තමාන කාන්තාවන්ගේ සංකීර්ණ ජීවන රටාව බවට මතයක්වේ

ක්‍රමවත් ඔසප් චක්‍රයක්‌ යනු දින 28 කට වරක්‌ කාන්තාවගේ ඩිම්භ කෝෂයෙන් ඩිම්භයක්‌ පිටවීමය. ශුක්‍රාණුවක්‌ සමග එකතු නොවූ මෙම ඩිම්භය යෝනි මාර්ගය ඔස්‌සේ සිරුරින් පිටතට පැමිණ විනාශවී යයි. මෙසේ ඩිම්භයක්‌ පිටවීමේදී පිටවන රුධිරය දින 3 ත් 5 ත් අතර කාලයක්‌ පවතී. පිටවන රුධිරයේ පැහැය තද රතුය. ඔසප් වීමේදී කිසිදු වේදනාවක්‌ ඇති නොවේ. මෙම ලක්‍ෂණ නොමැතිව සිදුවන ඔසප්වීම අක්‍රමවත් ඔසප්වීමකි. එනම් නියමිත පරිදි දින 28 කට වරක්‌ ඔසප්වීම සිදු නොවීම, ඔසප්වීමේදී අධික වේදනාවක්‌ ඇතිවීම, ඔසප්වීම දින 35 ත් 45 ත් අතර දීර්ඝ කාලයකදී ඇතිවීම හෝ දින 15 ක්‌ 20 ක්‌ වැනි කෙටිකාලයකදී ඇතිවීම, ඔසප්වීමේදී අධික ලෙස රුධිරය පිටවීම, එසේ පිටවන රුධිරය අපිරිසිදු පැහැයක්‌ ගැනීම ආදිය අක්‍රමවත් ඔසප් චක්‍රයක ලක්‌ෂණ වේ. ඔසප් චක්‍රය අක්‍රමවත්වීමට හේතු රැසක්‌ පවතී. ප්‍රධාන වශයෙන්ම ශාරීරික සහ මානසික හේතු ඒ සඳහා බලපායි.

ඔසප් චක්‍රය අක්‍රමවත්වීමට බලපාන ශාරීරික හේතු ලෙස මන්ද පෝෂණය, අධික ස්‌ථූලතාව, උසට සරිලන බරක්‌ නොමැතිකම, ගර්භාෂ ගෙඩි, ඩිම්භ කෝෂ ආශ්‍රිත රුදිර ගැටිති හට ගැනීම, සුද යැම කාලයක්‌ පැවතීම ඔසප්වීම සම්බන්ධ හෝමෝනවල අසමතුලිතතාව ප්‍රධාන තැනක්‌ ගනී.

කාන්තාවක්‌ උපතින් සැහැල්ලු මනසකින් යුක්තය. ජීවිතයේ විවිධ අවස්‌ථවලදී මතුවන ගැටලු හමුවේ මානසික පීඩාවට පත්වේ. විශේෂයෙන්ම පවුලේ අඹු සැමියන් අතර ගැටුම් මතුවන විට දූ දරුවන් සම්බන්ධ ප්‍රශ්න මතුවන විට, රැකියාවේ සහ සමාජයේ දී මතුවන ප්‍රශ්න හමුවේ මානසික පීඩාවාට පත්වේ. කිසියම් කරුණක්‌ නිසා වේදනාවෙන් පසුවන විට, එසේත් නැත්නම් ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් සිටින විට සිරුරේ හෝමෝන අසමතුලිතතාවයට පත්වන අතර එහි ප්‍රතිඵලය වන්නේ ප්‍රජනන හෝමෝන වලද අසමතුලිතතාවක්‌ මතුවීමය. එසේ වූ විට ඔසප් චක්‍රය අක්‍රමවත් වේ.

එසේම තමාට හුරුපුරුදු ජීවන රටාවෙන් ඈත් වූ විට වෙනත් පරිසරයකට ගියවිට ද මානසික පීඩනය ඇතිවේ. එවැනි අවස්‌ථාවලදී ද හෝමෝන අසමතුලිතතාවය ඇතිවේ.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles