ඇඟ ලස්සනට තියාගන්න කැමති අයට ගැලපෙනම කෑමක්

ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණත් ‘ඕට්ස්’ ලොව තිබෙන ධාන්‍යමය ආහාර අතරින් පෝෂණ ගුණයෙන් වැඩිම ආහාරයක්. ඕට්ස්වල අඩංගු පෝෂණ සංඝටක වශයෙන්, විටමින් B5- 10%, විටමින් B1- 39% ෆොලේට්-11% සින්ක්- 20% යකඩ – 20%කොපර් – 24% මැග්නීසියම්- 34% පොස්පරස්- 41% මැංගනීස්- 91% වගේම, කැල්සියම්, පොටෑසියම්,විටමින් B6, විටමින් B3 යනාදිය ද යඅඩංගුවේ. මෙහි මුළු කැලරි ප්‍රමාණය 303කි.

ඕට්ස් මඟින් රුධිරයේ සිනී මට්ටම පාලනය කරන අතර එහි අඩංගු අධික තන්තුමය ස්වභාවය දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.  එනිසා, සිරුරේ නිපදවෙන ග්ලුකෝස් ප්‍රමාණය යම් පාලනයකට යටත් වීමක් සිදුවේ. ඉන්සියුලීන් ප්‍රතිකාර කරන රෝගීන් සඳහා ද ඕට්ස් යෝග්‍ය ය.

අධික ස්ථුලතාවෙන් පෙළෙන්නන්ට බොහෝ විට වෛද්‍යවරුන් ඕට්ස් ආහාරයට ගන්නා ලෙස නිර්දේශ කරති. විශේෂයෙන් ම උදෑසන ආහාරය සඳහා මෙය කදිම ගුණදායක ආහාරයකි. ඕට්ස් කෝප්ප භාගයක් සමඟ කිරි කොප්පයක් හෝ මිලි ලීටර් 250ක කිරි ප්‍රමාණයක් මිශ්‍ර කර රත් කර සකසා ගන්නා ආහාරය, උදෑසන ආහාරයට ගත හැක. එයට ඔබ කැමැති පලතුරු වර්ගයක් හා කුරුඳු කුඩු ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගත හැකිය. නැතිනම් උදෑසන ආහාරය සඳහා ඕට්ස් සමඟ යෝගට් ආහාරයට ගැනීමට ද පුළුවන්. මෙයින් ශරීරයට අවශ්‍ය නිසි ආහාර ප්‍රමාණය ලබා ගැනීමට හැකි වන අතර, ශරීරයේ බර ප්‍රමාණය ද ඉක්මවා නොයයි.

සමෙහි තෙතමනය පාලනය කර ගැනීමට සහ සමෙහි පැහැපත් බව වැඩි දියුණු කරලීම ද ඕට්ස් මඟින් සිදුවේ. 2003 වර්ෂයේදී අමෙරිකානු චර්ම වෛද්‍යවරුන් පිරිසක් තම පරීක්ෂණ මඟින් ඕට්ස් සමට සත්කාරයක් වන ධාන්‍යක් බව ප්‍රකට කළහ. අනතුරුව වරූපලාවන්‍ය නිෂ්පාදන බෝහොමයකටම ඕට්ස් අන්තර්ගත කෙරිණි.

කුඩා කල දී දරුවනට වැළඳෙන හතිය සඳහා ද ඕට්ස් වඩාත් ගුණදායක ය. ඕට්ස්වල පවතින ඇන්ටි ඔක්සයිඩ සංඝටකය මඟින් ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කෙරේ. වැඩිහිටියන්ගේ මොළයෙහි ලේ ගමනාගමනය මැනවින් සිදු කර මනසෙහි ව්‍යාකූල ස්වභාවය නැති කිරීම සඳහා උචිත ආහාරයක් ද වේ. එක දිගටම මාස තුනක පමණ කාලයක් ඕට්ස් ආහාරයට ගැනීමෙන්, වැඩිහිටියන්ගේ මොළය ආශ්‍රිත රෝගාබාධ  රැසක් අවම කර ගත හැක. මේ තරම් පෝෂණ ගුණයක් තිබෙන ඕට්ස් අනිවාර්යයෙන්ම ඔබේ ආහාරවේලටත් එක් කරගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles