දරුවන් වෙනුවෙන් හඬනගන සුන්දර අරාබි රැජිණ

දුටුවන් මන බඳ රුවත්, ඊටම නොදෙවැනි බුද්ධිමත්භාවයත්, ප්‍රියමනාප බැල්මත්, ආකර්ශනීය කතාවත් නිසා මෙම මුස්ලිම් රැජන ජෝර්දානයේ පමණක් නොව සමස්ත අරාබි කතරේම නොසිඳෙන දිය බිඳක් මෙන් කාගෙත් නෙත් සිත් පිනවන චරිතයක් බවට පත්වී සිටින්නීය. ඒ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා බින් අල් හුසේන් රජුගේ (Abdullah II bin Al-Hussein: King of Jordan) 46 හැවිරිදි සුන්දර අගමෙහෙසිය වන රානියා රැජනයි (Queen Rania of Jordan) . ඈ එරට ජනතාවගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වී ඇත්තේ ඔවුන්ගේ සිතුම් පැතුම් දැන හැඳින එරට අධ්‍යාපනය ඉහළ නැංවීමට දිවා රෑ නොබලා මහන්සි වන, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම තරුණ ගැටලු සොයා බැලීමටත්, ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමටත් වැඩි උනන්දුවකින් යුතුව කටයුතු කිරීම නිසාය. බටහිර මෝස්තරයට අඳින්නට පුරුදු වී සිටියත්, සිය කලාපයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඇය තරම් හඬක් නගන තවත් මුස්ලිම් ගැහැනියක් නම් මැදපෙරදිග කලාපයේම නැත.

1970 අගෝස්තු මාසයේ 31දා Kuwait හීදී Rania Al-Yassin නමින් උපන් ඈ මුලින්ම කුවේට් හී ප්‍රාථමික අධ්‍යාපනය හදාරා පසුව ඊජිප්තුවේ කයිරෝ නුවර අමෙරිකානු විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිය ලබාගත්තාය. එවකට තරුණ වියේ පසුවූ ජොර්දානයේ හුසේන් කුමරු ඇයට මුණගැසුණේ 1992 අගෝස්තුවේ එක්තරා රාත්‍රී සාදයකදීය. ඊට වසරකට පසුව ඔවුන්ගේ විවාහය සිදුවූ අතර පසුව ජෝර්දානයේ පදිංචියට ගියාය.

ප්‍රජා සත්කාරයේ මුල්තැන ගෙන කටයුතු කරන්න ජොර්දානයේ මානව සම්පත් සංවර්ධනය සඳහා වන ජාතික කමිටුවේ සාමාජිකයන් සහ එරට ඉහළ තලයේ ආචාර්ය මණ්ඩලයකින් සමන්විත රානියා රැජනගේ අධ්‍යාපන ඇකඩමිය, “Madrasati” (“My School”) ව්‍යාපෘතිය හරහා එරට අධ්‍යාපන නැංවීමට වෙහෙසවන්නීය. ළමා අයිතිවාසිකම් නැවත ස්ථාපිත කිරීමට එක් මිනිත්තුවක් හෝ ප්‍රමාද නොවන ලෙස තම කාර්ය මණ්ඩලයට නිතර නිතර කියන ඇය අධ්‍යාපනය තරම් වටිනා සම්පතක් තවත් නොමැති බව සිහිපත් කොට දෙන්නීය.

ප්‍රජා සත්කාරක සේවයේ නිරතවෙමින් ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කළත් දරුවන් සිවුදෙනකුගේ මවක වශයෙන් සිය යුතුකම් කොටස නොපිරිහෙලා ඉටු කිරීමට ඇය කාලය වෙන් කරගනී. තම දරුවන්ගේ වැඩ රාජකීය කාර්ය මණ්ඩලයට පමණක් පැවැරීමට ඇය සූදානම් නැත. ස්නේහවන්ත බිරිඳක සහ මවක ලෙස ඈ ලෝ පතලය. 21 හැවිරිදි හුසේන් කුමරුත්, 19 හැවිරිදි ඉමාන් කුමරියත් අධ්‍යාපනය ලබන්නේ අමෙරිකාවේ වොෂින්ටන් නුවර Georgetown විශ්වවිද්‍යාලයේය. රජු, Salma කුමරිය සහ Hashemකුමරු සමඟ Amman නුවර Al-Maquar මාළිගාවේ වාසය කරන රානියා වසර පුරා එරට අස්සක් මුල්ලක් නෑර සියලුම පාසල්වල දරු දැරියන්ගේ අවශ්‍යතා සොයා බැලීමට කාලය වෙන්කරගන්නීය. එපමණක් නොව අනාථ නිවාස, වැඩිහිටියන් සඳහා වන මහළු නිවාස මෙන්ම වෙනත් සුබසාධන වැඩසටහන් බැලූ විට ඒවා ප්‍රමාණයෙන් 200කට ආසන්නය.

The Daily Telegraph පුවත්පත ලොව රජ පවුල්වල සුන්දර ගැහැනු තේරූ මොහොතේ මොනාකෝ හී ග්‍රේස් කුමරිය එහි මුල්තැනට පත්වූ අතර කවුරුත් අපේක්ෂා නොකළ පරිදි දෙවැනි තැන අයිති කරගත්තේ රානියා රැජනය. මුල්තැනට හා දෙවැනි තැනට පත්වනු ඇතැයි බ්‍රිතාන්‍ය ජනතාව බලාපොරොත්තු වූ කේට් කුමරියට හා ඩයනා කුමරියට හිමිවූයේ පිළිවෙළින් තුන්වැනි සහ සිවුවැනි තැන්ය. ඉන් නොනැවතී මේ සුන්දර අරාබි රැජිණ මැදපෙරදිග කලාපයේ බලවත්ම ගැහැනිය බව අනාවරණය වූයේ දේශපාලන ලෝකයේ රාජ්‍ය නායකයන්ගේ සුරූපී බිරින්ඳෑවරු ගැන කළ සමීක්ෂණයක දී ඇය පස්වැනි තැනට පත්වීම නිසාය.

අපි ඊළඟ පරම්පරාවේ ගැහැනු ළමයි තව තවත් දිරි ගැන්විය යුතුයි. සෑම සාර්ථක ගැහැනියක්ම තවත් ගැහැනු දහසක් ඒ සඳහා පොළඹවනවා. සීමා මායිම් බිඳ දමා ඉදිරියට යන්න..’ මේ දිරිය රැජන සමස්ත කාන්තා පාර්ශවයෙන් ඉල්ලා සිටින්නීය. මෙම සුන්දර රැජිණයට ජෝර්දානයට පමණක් නොව ලොවටම සම්පතකි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles