ගැබිනියක්ද? පරිස්සමින්…

0
2131

ඔබේ ගැබිනිබව වඩාත් සුරක්ෂිත කරගන්න

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වාර්තා කරන පරිදි සෑම වසරකම ලොව පුරා ලක්ෂ පහකට අධික මව්වරුන් සංඛ්‍යාවක් ගැබ්ගැනීමෙන් අනතුරුව මිය යනවා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සඳහන් කරන්නේ සෑම වසරකම මිලියන 60ක් පමණ කාන්තාවන් ගැබිනි සමයේදී ඉතා දරුණු රෝගවලට භාජන වන අතර ඉන් තුනෙන් එකක්ම ජීවිතාන්තය දක්වාම පවතින රෝග හෝ ආසාදනවලට ලක් වෙන බවයි.

ඔව්, ඇත්තෙන්ම ගැබිනිභාවය අනතුරුදායක මෙන්ම භයානක විය හැකියි. ඒ නිසාම ඔබේ ගැබිනිබව වඩාත් සුරක්ෂිත කරගැනීම ඔබේ වගකීමක් හැටියට හිතන්න. ඇත්තටම මව්වරුන්ට තමන්ගේ ගැබිනිභාවය වඩාත් සුරක්ෂිත එකක් කරගන්න පුළුවන්ද? මේ තොරතුරු ඒ වෙනුවෙන් ඔබට වැදගත් වෙනවා නිසැකයි.

පූර්ව ගැබිනි අවස්ථාවේ සිටම පටන් ගන්න

  • සැලසුම් කිරීම

පුරුෂයාට හා භාර්යාවට තමන් දරුවන් කීදෙනෙක් හදනවාද කියා සාකච්ඡා කළ හැකියි. පරිස්සමින් සැලසුම් කිරීමෙන් හා සැලකිලිමත් වීමෙන් ලැබෙන වාසි නම් දරුවන් දෙදෙනෙක් අතර කාල පරතරයක් ඇති කරගැනීමට හැකිවීම. මෙයින් මවට සහනයක් මෙන්ම පෙර දරු උපතක් සිදුව ඇත්නම් ඇගේ වැය වූ ශක්තිය යළි ගොඩනඟා
ගැනීමට කාලයක් ලැබෙනවා.

  • පෝෂණය

සාර්ථක ගැබ්ගැනීමක් සඳහා ගැබ්ගැනීමට පළමුව අඩුම තරමින් මාස හතරකට කලින් සිටවත් ඒ සඳහා සූදානම් වීමක් වශයෙන් බෙහෙත් හේත් හෝ වෙනත් අහිතකර බලපෑම්වලින් සම්පූර්ණයෙන්ම මිදී හොඳ පෝෂ්‍යදායි ආහාර ගැනීම අවශ්‍ය වෙනවා. ගැබිනි මව යහමින් ෆෝලික් අම්ලය අඩංගු ආහාර ලබාගෙන තිබෙනවා නම් ස්නායු නළය
වැසී යෑම නිසා කලල අවධියේ ඇති වන ආබාධයක් වන ස්පයිනා බයිෆීඩා (spina bifida) බොහෝදුරට මඟ හරවාගත හැකියි. පිළිසිඳ ගැනීමෙන් පසු, දින 24ත් 28ත් අතර කාලය තුළ කලලයේ ස්නායු නළය වැසෙනවා. මේ කාලයේදී සාමාන්‍යයෙන් බොහෝ මව්වරු තමන් ගැබ්ගෙන සිටින බවවත් දන්නේ නැති තරම්. ඒ හේතුවෙන් ගැබ්ගැනීම
සැලසුම් කරන සමහර කාන්තාවන් ෆෝලික් අම්ලය කල් තියාම ලබාගන්නවා.

කියවන්න :  2017 වසර තුල ලොව ජනප්‍රියම විලාසිතා

තවත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් වන්නේ යකඩයි. කාන්තාවකගේ යකඩවල අවශ්‍යතාවය ගැබිනි සමයේදී දෙගුණ වෙනවා. ඇයගේ ශරීරයේ තැන්පත් වී ඇති යකඩ ප්‍රමාණය අඩු නම් යකඩ ඌනතාවය නිසා නීරක්තිය ඇති විය හැකියි.

  • වයස.

වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන්ගේ ගැබ්ගැනීම්වලදී, වයස අවුරුදු 20දී ගැබ්ගන්නා කාන්තාවන්ට වඩා සියයට 60ක අවදානම් තත්වයක් තිබෙනවා. අනිත් අතට අවුරුදු 35කට වැඩි කාන්තාවන් ගැබ් ගත් විට, දරුවන්ට උපතින්ම යම් යම් ආබාධ ඇති වීමේ අවදානමක් පවතිනවා.
ගර්භණී සමයේදී සෞඛ්‍යය

  • දරු ප්‍රසූතියට පෙර සැලකිලිමත් වීම

ගර්භණී සමයේදී නිතිපතා වෛද්‍යවරයා මුණගැසීමට යෑම, මවගේ ජීවිතයට හානියක් සිදුවීමේ අවදානම බොහෝදුරට අඩු කරවන්නක්.

දරු ප්‍රසූතියට පෙර සූදානම් වීමෙන්, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව හා වකුගඩු රෝග මෙන්ම බහු කලල ගැබ්ගැනීම් වැනි සංකුලතාවන් ගැන විශේෂ අවධානයක් දීමට පුහුණු වූ ඔබේ වෛද්‍යනිලධාරීන්ට අවස්ථාව සැලසෙනවා.

මවක් වෙන්න සිටින කාන්තාවක් ඇයගේ සියලුම තොරතුරු, එනම් ඇගේ සෞඛ්‍ය ඉතිහාසය නොවළහා වෛද්‍ය නිලධාරීන්ට පැවසීමට සූදානම් වී සිටිය යුතුයි. යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් සිදු වනවා නම්, හදිස්සියේම මුහුණ ඉදිමෙනවා නම්, තද හෝ දිගටම හිසේ කැක්කුමක් හෝ ඇඟිලිවල කැක්කුමක් ඇති වෙනවා නම්, හිටි හැටියේම ඇස් නිලංකාර වෙනවා නම් හෝ පෙනීම අපැහැදිලි නම්, බඩේ තද කැක්කුමක් ඇති වෙනවා නම්, දිගටම වමනය පවතී නම්, ඇඟ සීතල වීම හෝ උණ තියෙනවා නම්, කලලය චලනය වන වාර ගණනේ වෙනසක් වේ නම් හෝ එහි තියුණු බවක් දැනේ නම්, වතුර බෑගයෙන් වතුර ටික ටික යනවා දැනෙනවා නම්, මුත්‍රා කරන විට කැක්කුමක් ඇති වනවා නම් හෝ අසාමාන්‍ය ලෙස මුත්‍රා පිටවීම අඩු වේ නම් ඉක්මනින්ම වෛද්‍ය උපකාරය ලබාගත යුතුයි.

  • බෙහෙත්.

කිසිම බෙහෙතක් වෛද්‍ය උපදෙස් නැතුව ගන්න එපා. සමහර විටමින් වර්ගත් හානිකර විය හැකියි. උදාහරණයකට, විටමින් A බහුලව ගැනීම නිසා කලලයේ යම් විකෘතිතා ඇති විය හැකියි.

  • බර.
කියවන්න :  බෙඩ් ටයිම් ස්ටෝරි - අන්දරේගේ කතා

ගර්භණී මවක් අසාමාන්‍ය ලෙස බර වැඩි කරගැනීමෙන් මෙන්ම අඩු කරගැනීමෙන්ද වැළකිය යුතුයි. දෙදෙනෙකුට කෑම කෑමෙන් සිදු වන්නේ අනවශ්‍ය ස්ථුලතාවයක් ඇතිවීම පමණයි. ගර්භණී මවක් අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයෙන් ආහාර ගන්නවාද නැද්ද කියා දැනගත හැකි වන්නේ ඇගේ බර වැඩි වන ප්‍රමාණය අනුවයි. මාස හතරේ සිට මෙය වඩාත් පැහැදිලිව දැකගත හැකි වෙනවා.

සෞඛ්‍යය හා වෙනත් සැලකිය යුතු දේ

නෑම සාමාන්‍ය විදියටම කළ හැකියි. නමුත් යෝනි මාර්ග සෝදනය කිරීම සඳහා නොයෙක් ද්‍රව්‍ය භාවිත කිරීම නුසුදුසුයි. ගැබිනි මවක් ජර්මන් සරම්ප නොහොත් රුබෙල්ලා වැනි වයිරස් ආසාදන ඇති අයගෙන් ඈත් විය යුතුයි. ප්‍රමාණවත් ලෙස තැම්බී නැති මස් කෑමෙන් සහ පූසන්ගේ අසූචිවලින් ආරක්ෂා විය යුතුයි.

ඊට අමතරව සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී අදාළ කරගන්නාවූ සෞඛ්‍ය පුරුදු එනම් අත් සේදීම, අමුවෙන් කෑමට ගන්නා ආහාර හොඳින් සේදීම වැනි දෑ කළ යුතුයි. ලිංගික ඇසුර පැවැත්වීම එතරම් අන්තරායක් වන්නේ නැහැ. නමුත් ගැබිනි සමයේ අවසාන කාලයේදී, ලේ ගැලීමක්, කෙණ්ඩා පෙරළීමක් සිදු වන විටදී හෝ කලින් ගබ්සා වීමක් සිදු වී තිබෙනවා නම් පරිස්සම් විය යුතුයි.

සාර්ථක දරු ප්‍රසූතියක්

ගැබිනි සමයේදී නිසි ලෙස ආරක්ෂා වන මවක් ප්‍රසූතියේදී අනවශ්‍ය සංකුලතාවලට මුහුණ පානවා අඩුයි. ඇය ප්‍රසූති අවස්ථාවේදී බලාපොරොත්තු විය යුතු දේවල් දැනගෙන සිටින අතර, සෞඛ්‍ය නිලධාරිනියට හෝ වෛද්‍යවරයාට සහයෝගය දක්වන ආකාරයත් දන්නවා. අධික ලෙස රුධිරය වහනය වෙනවා නම් මොන වගේ පියවරද ගන්නේ?
හදිසි අවස්ථාවක් යටතේදී සීසේරියානු සැත්කමක් කරන්න අවශ්‍ය වූවහොත් ගත යුතු පියවර සම්බන්ධව ද කලින්ම සැලසුම් කිරීම යෝග්‍යයි.මවක් ඇගේ ගැබිනි තත්වය ගැන දැනගන්න තරමට ඇගේ ගැබිනි සමය හා ප්‍රසූතිය වඩා සාර්ථක එකක් වන බව නිසැකයි.

ගැබිනි සමයේ ඔබේ ආහාර රටාව සකස් කරගත යුතු අන්දම ඉදිරි ලිපියෙන් ඔබට දැනගන්න පුළුවනි.

– නිරංජලා-
(අන්තර්ජාලය ඇසුරෙනි )