දෙන්නම එක්කෙනෙක් කියල හිතුවොත් කසාදෙ අවුල්වෙන්නෙ මෙහෙමයි

291

“දැන් ඉතින් දෙන්නාම එක්කෙනෙක් හැටියට හිතල වැඩකරන්න ඕනෙ..” මේ කතාව යුවළකට මුලින් ම ඇහෙන්න පටන් ගන්නෙ මඟුල් දවසෙ සුබපතන්න එන නෑදෑ හිතවතුන්ගෙන්. “ඇයි රත්තරන් එහෙම හිතන්නෙ.. මම හිතුවෙ අපි දෙන්නම දැන් එක්කෙනෙක් කියලයි.”. කොයි මොහොතක දී හරි ඔබේ සැමියා ඔබට මෙහෙම කියලා තියෙනවද?. එහෙම නැත්නම් ඔබ ඔබේ සැමියාට මෙහෙම කියලා තියෙනවද?. ඇත්තටම මේ කතාව හරිද?.. අතින් අත බැඳුනම, හිතින් හිත බැඳුනම, සිරුරට සිරුරක් එකතු වුණාම දෙන්නම එක්කෙනෙක් වෙනව ද, දෙන්නම එක්කෙනෙක් වෙන්න ඕනෙද? තවත් සමහරු මේ සම්බන්ධව කතාකරද්දි අපි දෙන්නගෙ අදහස් සමානයි, හිතන පතන විදිය එකවගෙයි, ඒ නිසා අපි දෙන්නා ගැළපෙනවා කියලා අපි හිතුවා..කියලත් කියනවා.

ඒත් හුඟක් සාර්ථක විවාහ ජීවිත ගතකරන පිරිස් ගැන හොයල බලන්න. තොරතුරු පරීක්ෂා කළොත්, සාර්ථක විවාහ ජීවිත ගතකරන හුඟක් අඹුසැමියන් දෙන්නම එක්කෙනෙක් විදියට හිතන අය නොවෙයි. ස්ත්‍රීන් සහ පුරුෂයින් ශාරීරිකව සකස් වෙලා තියෙන්නෙත් විරුද්ධ ලිංගිකයන් හැටියටයි. මේ නිසා විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙක් එක ම විදියට හිතනවා හෝ කටයුතු කරනවා කියන එක ප්‍රායෝගික නැති කතාවක්. එකිනෙකාගේ වෙනස අවබෝධ කරගෙන ජීවත් වෙන අය තමයි විවාහ ජීවිතයේ දී සාර්ථකව සහ අව්‍යාජව ජීවත් වෙන්නේ. දෙන්නම එක්කෙනෙක් කියල හිතුවොත් කසාද ජීවිතේ අවුල් වෙනවද කියල මම දවසක් මගේ මිතුරියකගෙන් ඇහුවා. ඈ ඒ ගැන අදහස් පළ කළේ මෙහෙමයි.

මම කැමති දේටම එයත් කැමති වෙන්න ඕනේ

නිවාඩු දවසෙ මගේ හස්බන්ඩ් කැමති කොහෙවත් යන්නෙ නැතිව ගෙදර ඉන්න. ඒත් මම කැමති බීච් එකට හරි ‍පාර්ක් එකට හරි ගිහින් දවසෙම රෙස්ට් එකේ ඉන්න. දෙන්නම එක්කෙනෙක් කියල හිතාගෙන එක කැමැත්තකට ආවොත් දෙන්නගෙන් කාට හරි ඒ දවස අකමැත්තෙන් ගත කරන්නයි වෙන්නේ. ඉතින් එතකොට එයාව මට රුස්සන්නෙත් නැහැ. මට එයාව රුස්සන්නෙත් නැහැ. ඒ නිසා එයාට ගෙදර ඉන්න කියලා මම බබාලත් එක්ක බීච් යනවා. අපි අත‍රෙ කිසිම අසමගියක් නෑ. මං දන්නවා එයා බීච් ආවානම් එයාගෙ මුලු දවසම බෝරින් වෙන්න තිබුණු බව. ඒ වගේම එයා දන්නවා මම ගෙදර හිටියනම් මගේ මුළු දවසම බෝරින් වෙන්න තිබුණු බව. හැබැයි විවාහ ජීවිතයේ දී දෙන්නා අතර බැඳීම ශක්තිමත් වෙන්නෙ එකිනෙකා වෙනුවෙන් කැපවන තරමට බව අපි දෙන්නම දන්නවා. ඒ නිසා ඕනම වෙලාවක හොඳ අවබෝධයකින් අපි අපි වෙනුවෙන් කැපවීම් කරනවා.

මගේ අරමුණු එයාගෙ අරමුණුයි එකක් වෙන්න ඕනේ

මට ඕනෙ අනාගතයේ දි අපේම කියල බිස්නස් එකක් පටන් ගන්න. ඒත් එයා බිස්නස් වලට කැමති නැහැ. එයාට ඕනෙ කවුන්සලර් කෙනෙක් විදියට එයාගෙ රැකියා ජීවිතේ තවත් ස්ථාවර කරගන්න. අරමුණු සමාන වුණාම දෙන්නට දෙන්න අතරෙ වුණත් අනවශ්‍ය තරගයක් හැදෙනවා. ඉරිසියාවක් මතුවෙනවා. ඒක හොඳකරන්න බැරි අසනීපයක්. එයාගෙ රැකියා අරමුණ ඉටු කරගන්න මම හැකි හැම වෙලාවකම සහාය වෙනවා. ඒ වගේම තමයි, එයා මගේ අරමුණ වෙනුවෙන් හැකි හැම මොහොතේම උදව් කරනවා. අනෙක අපට එක්කෙනෙක්ගෙ අරමුණින් දියුණු වෙන්න බැරිවුණොත් තව හොඳ විකල්පයකුත් තියෙනවා. දෙන්නම එක අරමුණක හිටියනම් ඒ අවස්ථාව අපට නැහැ. අපි එක වහලක් යට එකට ජීවත් වුණාට අපේ හැකියාවන් සමාන නැහැ. අපේ ශක්තීන් සමාන නැහැ. ගැහැනියක් හැටියට මා කරන දේවල්, මට හැකි සීමාව සහ පිරිමියෙක් හැටියට එයාගෙ සීමාකම්, හැකියාවන් සහ ශක්තීන් දෙයාකාරයි. ඒ නිසා අරමුණුවලට අපි ඉලක්ක හදාගන්න විදියත් වෙනස්. ඉතින් අපි දෙන්නම එක්කෙනෙක් විදියට කටයුතු කරන්නෙ කොහොම ද? අපි අපි දෙන්නා වෙනුවෙන් ම තනි තනිව කැප වෙනවා. එයා දන්නවා වැදගත් වෙන්නෙ අරමුණු සමාන වීම නොවන බව. අරමුණුවලින් අපේ ළගාකරගැනීම් වැඩිකරගැනීමයි දියුණුවීමට වැදගත් වෙන්නේ.

මම හිතන විදියට ම එයත් හිතන්න ඕනේ

නෑදෑ අසල්වැසි හිතවත්කම්පැවැත්වීම, ගෘහ කටයුතු, දරුවන්ගේ කටයුතු, මුදල් පාලනය, මිතුරන් ඇසුරු කිරීම, දේශපාලන ආකල්ප, රැකියා කටයුතු, උත්සව පැවැත්වීම, උත්සවවලට සහභාගී වීම, ගැටළුවක්, හිත් රිදීමක් හෝ දොස් පවරාගැනීමක් සිදුකරන විදිය අප හැම කෙනකුට ම අනන්‍යයයි. ඒ ඒ අවස්ථාවල දී හිතන විදිය කටයුතු කරන විදිය,  එක වගේ සමාන නැහැ.කොටින්ම කේන්තිය, නින්ද, ලිංගිකත්වය, වගේ කරුණු ගැන අපි දෙන්න හිතන්නෙ දෙවිදියකට. ඒක අපි අතරෙ ගැටුමක් බවට පත්වෙන්නෙ අපි දෙදෙනා විරුද්ධ ලිංගිකයින් බව, එහෙමත් නැත්නම් එකිනෙකාට අසමාන පුද්ගලයින් දෙදෙනෙක් බව තේරුම් නොගත්තොත් විතරයි.

– නිරංජලා –

Comments

comments

SHARE