පතිනියකගේ සටහන් -1

අලුත් දවසක්..

අලුත් ජීවිතයක ඉස් ඉස්සෙල්ලම දවස..

මං ඇස් අරින්නෙ සතුටකින්. බෝනිකි ගෙවල් දාපු දවස් වල ඉඳන් ආස කරපු දේ.

“මටම කියලා ගෙයක්”

අන්තිමට ඒ හීනේ ඇත්ත වෙලා. මම ගෘහණියක විදියට උපන් පළමු දවස දිහා මං ජනේලය විවර කරගෙන බලා ඉන්නවා.

අලුත් හිරුරැස්.
අපේ ජීවිතය වගේම අලුත්.

ජීවිතේ ලස්සනම දවස් කිහිපය ගෙවලා භානුකගේ මනමාලි වුණු මං, අපේ අලුත් ගෙදර අයිතිකාරි වීම තවම මට හීනයක් වගේ.

“ඉරිදා කියන්නේ හොඳට නිදා ගන්න දවස”

එහෙම දවස් ආයේ එන්නෙම නැති වෙන්නත් පුලුවන්.
මං මුළුතැන්ගෙයට යන ගමන් හිතනවා.

“ගෙදර ගෑනිගේ පිළිවෙල මනින්න පුලුවං තැන තමයි කුස්සිය”

අත්තම්මා එහෙම කියන හැටි මට අමතක නෑ. ඒත් අම්මා කියන විදියට ඕනෑම ගෑනු ළමයෙක් කසාදෙන් පස්සෙ හොඳ ගෘහනියක් වෙන්න හැඩ ගැහෙනවා කියන කතාව විශ්වාස කරන්න මම කැමති.

ඔව්. ඕනෑම ගැහැණු ළමයෙකුට හොඳ වයිෆ් කෙනෙක් වීම අමාරු නෑ.

අම්මා ඊයේ හවස මුළුතැන්ගේ ලස්සනට අස්පස් කරලා දුන්නේ අවවාද කෝටියක් දෙන ගමන්. ඒත් මං ආස මගේ ජීවිතේ මගේ විදියට පටන් ගන්න.

“භානු, මට පොල් ටිකක් ගාලා දෙනවද”

භානු නැගිටින්නේ හිනාවකින්.

“තේ එක අතටම දීලා තුන් හතර පාරක් කූද්දන්න ඕන අපේ ඉලන්දාරියා”

භානුකගේ අම්මා එහෙම කියපු බව ඇත්ත. ඒත් භානුක තව දුරටත් අම්මගේ පොඩි පුතා නෙවෙයි. මේ ගෙදර ගෘහ මූලිකයා. මං වගේම භානුකත් වෙනස් වෙන්න ඕනේ නැද්ද.

කවමදාවත් කිරිබත් හදලා නැති මම ඒක බොහොම ලේසි වැඩක් බව තේරුම් ගනිද්දී. භානුත් තේ හදන එක හරිම ලේසි වැඩක් බව තේරුම් අරන් තිබුණා.

“උදේට තේ හදන එක මගේ ඩියුටි එක මින් පස්සෙ”

මං ගාව තියෙන්නේ ඊට වෙනස් කතාවක්.

“පවුලක් ඇතුළට ඩියුටි ඕනේ නෑ භානු. අපි දෙන්නා අපි දෙන්නට උදව් කරගමු. ඒ හොඳටම ඇති. “

මං හිතන්නේ ඒ හොඳටම ඇති.

බිරිඳක්, ගෘහණියක් වීම පහසු නැති වග ඇත්ත වුණත් භානු එක්ක සහයෝගයෙන් පවුලක් ගොඩ නඟන්න මං ආසයි .

උදා වෙන හැම දවසක්ම සුන්දර බව මම දන්නවා. දුක සතුට හැම දේම මුසු වුණු ජීවිතයක් බාර ගන්න මං සූදානම්

– නිබන්ධිකා වන්නිනායක –

Related Articles

Don't Miss


Latest Articles