ඇඳුම් අඳින එකත් කලාවක්!

කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඇයි ඔබ ඇඳුම් අඳින්නේ කියල මොකක්ද ඔබ දෙන උත්තරේ? පුංචි කාලෙ ඉඳළ ම අඳින නිසා ද? ඇඳුම් නැතිව ඉන්න ලැජ්ජා හිතෙන නිසා ද? අනිත් අයත් අඳින නිසා ද? ලස්සනට ඉන්න ඕන නිසා ද? එහෙමත් ‍නැත්නම් මේ හේතු හැම එකක් ම නිසා ද?

ඇත්තටම මානව ශිෂ්ටාචාරයේ ආරම්භක අවධියේ දී කවුරුවත් අද වගේ ඇඳුම් ඇන්දේ නැහැ. ජන සමාජයේ හැමකෙනෙක් ම එකම විදියට හිටි නිසා ඒක එදා සමාජයට ගැටළුවක් වුණෙත් නැහැ. ඒත් අද වෙනකොට ලෝකයේ රෙදිපිළි කර්මාන්තය ඉතාමත් දියුණු මට්ටමක පවතිනවා. ඒ විතරක් නෙමෙයි ඇඟලුම් කර්මාන්තයත් ඉතා වේගවත්ව දියුණු වෙනවා. නවීන පන්නයේ විලාසිතාවලින් යුත් ඇඳුම් දවසින් දවස අලුතින් වෙළඳපොළට එක් වෙනවා. ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පීන් වෙනමම අද ලෝකෙ වෘත්තීය මට්ටමින් බිහි වෙලා ඉන්නවා. මේ නිසා ලෝකයේ ජීවත්වෙන හැම කෙනෙක් ම ඇඳුම් ගැන අද වෙනකොට කතාබහ කරනවා. අද හැමකෙනෙකුට ම ඇඳුම් කියන්නේ අත්‍යවශ්‍ය ම භාණ්ඩයක්.

කාන්තාවක් හැටියට ඇඳුම් ගැන ඔබට තියෙන උනන්දුව පිරිමි පාර්ශවයටත් වඩා ඉතා ඉහළ මට්ටමක තිබෙනවායැයි කිව්වොත් එය වැරදි නැහැ.

ඇත්තටම කාන්තා‍වන් ඇඳුම් ගැන උනන්දු වෙන්නේ ඔවුන්ගේ ශරීරයේ සුන්දරත්වය ගැනත් සැලකිලිමත් වෙමිනුයි. ඇඳුම් තෝරාගැනීමේ දී, තමන්ගේ ශරීරයේ හැඩය තමන්ගේ සමේ වර්ණය උස මහත වගේ ශාරීරික ලක්ෂණ ගැන සමහර කාන්තාවන් හොඳින් උනන්දු වුණත්, සමහර කාන්තාවන් නම් ඔවුන්ගේ කාර්යබහුලත්වය හෝ නොසැලකිල්ල නිසා මේ ගැන හිතනවා ටිකක් අඩුයි. ඇඳුම කියන්නේ ඉතා හොඳ අවාචික සන්නිවේදන මාධ්‍යයක්. එයින් ඔබේ හිතිවිලි, ඔබේ ආකල්ප, සමහර විට ඔබේ මුලු ජීවිතය ගැන වුණත් යම් අදහසක් අනිත් අයට සන්නිවේදනය වෙනවා. ඒ නිසා ඇඳුම් අඳිනකොට මේ කරුණු ගැන ඔබ වැඩි වැඩියෙන් හිතන්න ම ඕනේ.

ඔබේ සිරුරේ හැඩය, උස මහත ගැන හොඳින් අව‍බෝධ කරගන්න.

ඔබ තරමක් උසින් වැඩි කාන්තාවක් නම් හරස් අතට ඉරි පිහිටි ඇඳුම්වලින් ඔබේ උස අඩු කර පෙන්වාවි. ඔබට ඇත්තේ තරමක් මහත සිරුරක් නම් දිග් අතට ඉරි ඇති ඇඳුම් ඔබේ මහත අඩු කර පෙන්වාවි. ඉතා සිහින් සිරුරක් හිමි කාන්තාවකට හිර ඇඳුම්වලට වඩා තරමක් ලිහිල් ඇඳුම්වලට යොමුවීම වඩාත් අලංකාරයි.

ඔබ ඇඳුම අඳින අවස්ථාව ගැන හිතන්න.

උදා – උත්සව අවස්ථාවක් ද? ආගමික අවස්ථාවක් ද? රාජකාරී කටයුත්තකට සහභාගී වන අවස්ථාවක්ද? ආදී වශයෙන්

ඔබ ඇඳුම අදින කාලය ගැන හිතන්න. උදා – දවල් කාලය ද, සන්ධ්‍යා කාලය ද? රාත්‍රී කාලය ද, වැහිබර දිනයක් ද, උණුසුම අධික දවසක් ද? ආදී වශයෙන්. අතිශයින් උණුසුම් කාලගුණයක් ඇති දවසක දහඩිය උරා නොගන්නා ඇඳුම් ඇඳීම ඔබේ සිරුරට වගේම මනසටත් අපහසුවක් වේවි.

ඔබ සමඟ සම්බන්ධ වන අනික් පාර්ශවකරුවන් ගැන හිතන්න.

උදා  – ඔබ ඔබේ දරුවන් සමඟ ගමනක් යනවිට ඔවුන් වඩාගන්නට සිදුවනවානම් ඔබේ ඇඳුම්වල පබලු වැනි ඇමුණුම් තිබුණොත් එය දරුවන්ට බාධාවක් වේවි.

ඔබේ ගමන යන ප්‍රවාහන මාධ්‍යය ගැන හිතන්න

උදා ඔබ ඔබේ පුද්ගලික වාහනයක ගමන්කරනවිට සැහැල්ලු, පහසු ඇඳුම් අඳින්නට ඔබට ඇති නිදහස පොදු වාහනවල ගමන් යනවිට ඇත්තේ නැහැ. සමහර විට ඔබට ඉතා දිග සායක් ඇඳගත් විට බස් රථයකට නැඟීම අපහසු වෙන්න පුළුවනි. එය අනතුරුදායක වෙන්නත් පුළුවනි.

ඇඳුම් සමඟ ගැළපෙන පරිදි ආභරණ, පාවහන් සහ අත්බෑග් ආදිය යොදාගන්න.

උදා – සමහර කාන්තාවන් ඉතා ලස්සන ඇඳුම් ඇඳ ඊට කිසිසේත් නොගැළපෙන මාල හෝ වලලු පළඳිනවා. එයින් සිදුවන්නේ ඇඳුමෙන් ඇයට ලැබෙන අලංකාරයත් නැතිවීමයි. ඒවගේම උස අඩි පාවහන් සමහර ඇඳුම්වලට ගැළපෙන්නේ නැහැ. ඔබ ගෙනියන අත්බෑගය පවා ඇඳුමට ගැළපෙනවානම් එයින් ඔබ සෙස්සන් අතර කැපී පෙනෙනවා නොඅනුමානයි.

ඔබේ සිරුර‍ට නිවැරදිව ගැළපෙන රෙදි වර්ග, රෙදි වර්ණ සහ ඇඳුම් විලාසිතා තෝරාගන්න.

සමහර කාන්තාවන්ට සිල්ක් රෙදි මිශ්‍ර ඇඳුම්වලින් එක්කරන්නේ අපූරු චමත්කාරයක්. ඒත් සමහර අයට කපු මිශ්‍ර ඇඳුම්වලින් වඩාත් උසස් පෙනුමක් එක්කරනවා. සමහර කාන්තාවන්ට තද පැහැය ගැළපුණත් සමහර අයට වැඩිපුර ගැළපෙන්නේ ඉතා සියුම් ලා පැහැති ඇඳුම්.

ඇඳුම් මිළදී ගන්නාවිට එහි ගුණාත්මකභාවය, කල්පැවැත්ම ගැන වැඩිපුර සැලකිලිමත්වෙන්න.

වෙළඳ පොළ වට්ටම් සහිතව අඩු මිළට ලබාදෙන සමහර ඇඳුම්වලට හසුවීමෙන් ඔබේ මුදල් ඉතිරි වෙන්නේ නැහැ. එය අනවශ්‍ය නාස්තියක් විතරයි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles