දරුවන්ට අතිරේක විටමින් ලබා දිය යුතුම ද?

විවිධ රූපවාහිනි දැන්වීම්, විවිධ සඟරාවල හා වෙබ් අඩවිවල පළ වෙන ලිපිවලින් දරුවන්ට නොයෙක් ආහාර හරහා අතිරේක විටමින් වර්ග ලබා දීම වැදගත් බවට කරන ප්‍රකාශ ඔබත් දැක ඇති.

එම නිසා දරුවන්ට විටමින් අතිරේක ලබා දීම ගැන ඔබටත් ගැටළු පැවතිය හැකියි. නමුත් දරුවන්ට විටමින් වර්ග අතිරේක ලෙස ලබා දීම අත්‍යවශ්‍ය නැහැ. සමබල ආහාර වේලක් දරුවෙකුට ලබා දෙන්නේ නම් අතිරේක විටමින් ලබා දීම කිසිසේත්ම අවශ්‍ය නැහැ.

අතිරේක විටමින් වර්ග අවශ්‍ය දරුවන්

1. තෝරා බේරා ආහාර ගන්නා සහ ඇතැම් ආහාර ප්‍රතික්ෂේප කරන නිසා සමබල ආහාර වේලක් නොගන්නා දරුවන්.
2. ආහාර අසාත්මිකතාවෙන් පෙළෙන දරුවන්
3. දිගුකාලීනව රෝගවලට ලක්වී සිටින දරුවන්.
4. නිර්මාංශ ආහාර රටාවක් ඇති දරුවන්
5. අධික ලෙස ක්ෂනික ආහාර හා බීම වර්ග වලට හුරු වූ දරුවන්.

දරුවන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ග

විටමින් A

විටමින් A නිරෝගී ඇස් හා නිරෝගී සමක් ලබා දෙනවා. ප්‍රතිශක්තීකරණ හැකියාව ද වර්ධනය කරනවා. කහ හෝ තැඹිලි පැහැති එළවළු වර්ග හා පළතුරු , කිරි, චීස් සහ බිත්තර වල විටමින් A බහුල ලෙස අඩංගු වනවා.

විටමින් B වර්ග

විටමින් B නම් B2, B3, B6, සහ B12 වැනි ප්‍රභේද කිහිපයකින් සමන්විතයි. B විටමින් මගින් පරිවෘත්තීය ශක්තිය, සිරුරට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය වීම, නීරෝගි සංසරණ පද්ධතියක් සහ ස්නායු පද්ධතියක් ඇති කිරීමට ආදිය උපකාර වනවා. මාළු, කුකුල් මස්, බිත්තර, කිරි, චීස්, බෝංචි සහ සෝයා බෝංචි වැනි අහාර වල B විටමින් අඩංගුයි

විටමින් C

විටමින් C ආසාදන වලින් ආරක්ෂාව ලබා දෙනවා. මාංශ පේෂි වර්ධනයටද වැදගත්. දොඩම් කුලයේ පළතුරු, කිවි, තක්කාලි සහ කොළ පැහැති එළවළු වල විටමින් C අඩංගු වනවා.

විටමින් D

විටමින් D දරුවන්ගේ දත් හා ඇටකටු ශක්තිමත් කරනවා. ශරීරයේ කැල්සියම් අවශෝෂණයටද උදව් වෙනවා. කිරි, මාළු, සැමන් සහ මැකරල් වැනි මේද සහිත මාළු වල විටමින් D අඩංගුයි. උදෑසන හිරු එළියේද මේ විටමින් වර්ගය අඩංගුයි. දරුවාව උදෑසන හිරු එළියට යොමු කිරීම වැදගත් එනිසායි.

දරුවාගේ ආහාර රටාවට ඉහත සඳහන් ආහාර අඩංගු කිරීමෙන් ඔබට දරුවාගේ විටමින් අවශ්‍යතා සලස්වන්නට පුලුවන්. ඖෂධ ලෙස විටමින් වර්ග ලබා දෙන්නේ නම් වෛද්‍යවරයකුගේ නිර්දේශයක් අත්‍යවශ්‍ය වෙනවා. එසේම වෙළඳ දැන්වීම් මඟින් පෙන්වන කිරි වර්ග හෝ ආහාරවල පෝෂණ ගුණය ඉතා අඩුයි. එනිසා ඒවා ගැන ඕනෑවට වඩා සිතීම අනවශ්‍ය දෙයක්.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles