ගර්භනී සමයේ  දී ඔබට ඇති අපහසුතා වළක්වන ආහාර.

ගැබිණි සමයේ ඔබව වඩා අපහසුතාවට පත් කරන්නට හේතු වන්නේ Morning Sickness. මේ තත්වය වළක්වා ගැනීමට ඔබට ඉඟුරු තේ බීමට හුරු වෙන්න පුලුවන්. ඉඟුරු තේ ඔබේ අපහසුතා වළක්වමින් ඔබට ප්‍රබෝධමත් ගතියක් ලබා දෙන්නට සමත් වෙනවා.

වමනය නිසා කෑම අරුචියෙන් බඩ දැවිල්ලෙන් සිටින විට සරල අතුරුපසක් ලෙස සාදා ගත හැකි ජෙලි මඟින් ද ඔබට පහසුවක් දැනේවි.

ගැබිණි සමයේ මව්වරුන් පීඩා විඳින තවත් රෝගයක් වන්නේ මල බද්ධයයි. පළතුරු වර්ග (පැපොල්, කෙසෙල්, පේර, දොඩම්) තන්තුමය එළවළු වර්ග, නිවුඩ්ඩ සහිත බාර්ලි, ඕට්ස් ආදිය මේ තත්වයට සුදුසු ආහාර යි. එසේම ඔබ මල බද්ධයෙන් පීඩා විඳිනවා නම් හොඳින් වතුර බොන්නත් අමතක කරන්න එපා.

ගෑස්ට්‍රයිටිස් තත්වයන් ද ගර්භනී මව්වරුන්ට ඇතිවිය හැකි රෝගී තත්වයක්.කෙසෙල් ගෙඩි, කොමඩු වැනි ආම්ලික භාවය අඩු පළතුරු ආහාරයට එකතු කරගැනීමෙන් ඔබට මේ තත්වයෙන් මිදෙන්න පුලුවන්.

දැඩි වෙහෙසකාරී බවක් දැනීම ද ගර්භනී කාලයේ සුලබ තත්වයක්. ඔබ එවිට යකඩ බහුල ආහාර ලබා ගැනීම සුදුසුයි. නිවිති, පලා වර්ග , මස් වර්ග ආහාර වේලට එකතු කරගන්නට අමතක කරන්න එපා.

සාමාන්‍යයෙන් ගැබිණි කාන්තාවක් දිනකට පැය අටක නින්දක්වත් ලැබිය යුතුයි. ඒ තරම් වෙලාවක් නින්දක් ලබා ගැනීමෙන් පසුත් ඔබ නිදිමතෙන් පීඩා විඳිනවා නම් කිරි තේ, පලතුරු යුෂ වැනි බීමක් පානය කරන්න. නමුත් කැෆේන් අධික පාන වර්ග භාවිතය නම් එතරම් සුදුසු නැහැ.

ගර්භනී කාලයේ අධික විටමින් වර්ග වලට හුරු වෙනවා වෙනුවට ඔබට ස්වභාවික ආහාර රටාවකට හුරු වීමට හැකි නම් එය ඉතා වැදගත්.

මේ කාලයේ සිදුවන සුලු අපහසුතා ඒ තරම් පීඩාකාරී බව නොසිතා සරලව සැහැල්ලුවෙන් සිටීමට හැකිතරම් උත්සාහ ගන්න.

Related Articles

Don't Miss


Latest Articles