පතිනියකගේ සටහන් – 8

මාධවී උදේ ඉඳන්ම ඉන්නේ හෝන්දු මාන්දු ගතියකින්. ඇස්වලට එන කඳුළු හෙමින් පිහදාන මාධවී හොරැහින් හැම කෙනාම දිහා බලන බව මම කීප සැරයක්ම දැක්කා. හැමෝම එක්ක හිනාවෙලා කතා කරන කටකාර දඟකාර චරිතයක් විදියට ඔෆිස් එකේ ජනප්‍රිය මාධවී අද හරිම සන්සුන්. සමහරු උවමනාවෙන්ම මාධවී ප්‍රතික්ෂේප කරන බවත් පැහැදිලියි.

“තාරු දැක්කද?”

රෝෂනී මං ළඟට ආවේ එහෙම කියාගෙන.

“මොනාද රෝෂි” මම ඕපාදූපය අහන්න උනන්දු වුණා.

“අද ඔයා ෆේස්බුක් ගියේ නැද්ද?” රෝෂනි අහන්නේ උපහාසයට බර හිනාවකින්.

“මම උදේ ඔෆිස් එනකොට ෆේස්බුක් යන්නෙම නෑ රෝෂි. භානුත් එක්ක කතාවක් දාගෙන එන්න තියෙන වෙලාවනෙ. ඒ වෙලාවට ෆේස්බුක් යන එක භානුට කරන අසාධාරණයක්”

රෝෂනි කතාවක් නැතුව එයාගේ ෆෝන් එක මගේ අතින් තිබ්බේ ෆේස්බුක් පේජ් එකක් ඕපන් කරලා.

මාධවීට මඩක්!!

මාධවී ෆේස්බුක් ගෲප් එකක දැමූ කමෙන්ට් එකක් අල්ලාගෙන පේජ් කිහිපයක් ඇයට ප්‍රබල මඩ ප්‍රහාරයක් අරගෙන යනවා. මාධවී කියන්නේ කටට බ්‍රේක් නැති කෙල්ලක්.ඉතින් ඇය විහිළුවට කී දෙයක් තටු අරන් පැතිරිලා. මාධවී සාද වලට සහභාගී වෙනකොට ඇඳපු කොට ඇඳුම් සහිත ඡායාරූප කිහිපයක් එක්කම ඇය ඉතා පහත් වර්ගයේ තරුණියක් බවට පේජ් ඇඩ්මින්ලා තීරණය කර හමාරයි.

මාධවී ඉන්නේ ගැටලුවක. මිතුරියන් හැටියට අපි මේ වෙලාවේ කළ යුත්තේ ඇය නොදන්නා සේ සිටීම නෙවෙයි . ඇයට සවියක් වීම. අපි කිහිප දෙනෙකුගේ ක්‍රියාත්මක වීම මත අදාළ පේජ් වලින් ඒ මඩ පෝස්ට් ඉවත් කර තිබුණා.මේ අසුන්දර මතකය අමතක වෙන තෙක් ෆේස්බුක් ගිණුම අක්‍රීය කර තබන්නට මාධවී එකඟ වුණා.

“පබ්ලික් ගෲප්, පේජ් වල අදහස් දක්වනකොට හරි පරිස්සම් වෙන්න මාධවී. මිනිස්සු අපිව වටහා ගන්නම කැමති වැරදියට. ඒ වගේම තමයි පරිස්සමක් නැති, ඉගෙන ගන්න දෙයක් නැති ගෲප් වල ඉන්නත් එපා. ගෑනු ළමයෙක්ට ඉගෙන ගන්න දේවල් තියන, තමන්ගේ අදහස් නිදහසේ කියන්න පුලුවන්, ගෙදර පාලනය, රෙසිපි, මැහුම් ගෙතුම් ගැන ඉගෙන ගන්න පුලුවන් ගෲප් ඕන තරම් තියනවා. අන්න ඒ වගේ විශ්වාසදායක තැනක මිසක් වෙන තැන්වල ඔහේ කියවන්න යන්න එපා. අපේ ගරුත්වය රැක ගන්න ඕන අපිමයි.”

මාධවී මගේ උපදෙස පිළිගත් බව මට හිතුණා. සමාජ මාධ්‍ය ජාලා කිසිසේත්ම නරක නැහැ . අපි සීමාවන් සහිතව එහි හැසිරෙන්න ඕනෑ. මම හැම වෙලේම හිතන්නේ එහෙමයි.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles