ඔබේ දරුවා කතා කරන්න පරක්කු ද?

129

සාමාන්‍යයෙන් දරුවෙකු කතාබහ අරඹන්නේ වයස මාස හතේ දී පමණ. සමහර දරුවන් ඊට පෙර කතා කරන්නට උත්සාහ කරත් දරුවා අර්ථවත් ලෙස කතාබහ අරඹන්නේ අවුරුද්දෙන් පසුවයි. නමුත් දරුවා අවුරුදු 2ක් පසු වනතුරු ද හරිහැටි කතා බහේ නොයෙදෙනවා නම් ඒ කථන ප්‍රමාදයක් විය හැකියි. ඔබට දරුවාගේ දරුවාගේ කථන ප්‍රමාදයක් හැඟෙනවා නම් ළමා වෛද්‍යවරයකුගේ හෝ කථන සහ භාෂා චිකිත්සකවරයෙකුගේ සහය ලබාගත යුතු වෙනවා.

කථන ප්‍රමාදයට හේතු මොනවා ද?

  • ඩවුන්ස් සහලක්ෂණය (Down’s Syndrome)
  • ඔටිසම් (Autism)
  • මස්තිෂ්ක ආඝාතය (Cerebral Palsy),
  • බිහිරි බව හෝ කන ඇසීමේ දුර්වලතාවයන්
  • නිවසේදී දරුවාට කථනය ඉගෙන ගැනීමට නිසි පරිසරයක් නොමැති වීම.

ඔබේ දරුවා ඉගෙනීම අරඹන්නේ අනුකරණය මඟින් සහ අසා සිටීමෙන්. දෙමාපියන් සමඟ රැඳෙන්නට වෙලාව මදි වීම, තනිව සෙල්ලම් කිරීමට සිදු වීම, දවස පුරා රූපවාහිනියට යොමු කිරීම නිසා දරුවාගේ සන්නිවේදන කුසලතා අඩු වෙන්න පුලුවන්. එවිට දරුවාට කථන ආබාධ හා ප්‍රමාදය ඇති වෙනවා.

දරුවා ඇඬීමෙන් දේවල් ඉල්ලා ගන්නට පුරුදු වී ඇත්නම් කථනය ප්‍රමාද විය හැකියි.

දරුවාගේ කථන ආබාධ සඳහා ඔබට කළ හැකි දේ.

රෝගී තත්වයක් නොමැතිව නිසි පරිසරය නැතිකමින් දරුවා කථන ප්‍රමාදයක් දක්වනවා නම් ඒ තත්වය මඟ හරින්නට ප්‍රධාන වගකීම ඇත්තේ මවක් ලෙස ඔබටයි.

දරුවා සමඟ නිතර කතා බහ කිරීම, කතන්දර කියා දෙමින් ප්‍රශ්න ඇසීම, ළමා ගීත ගායනය, දරුවාව පොළට ගෙන ගොස් විස්තර කියා දීම වැනි දේ ඔබට කරන්නට පුලුවන්.

ඒ වගේම හඬමින් යම් දෙයක් ඉල්ලනවා වෙනුවට එහි නම කියා ඉල්ලන්නට දරුවා පොළඹවන්න.

වෛද්‍ය උපදෙස් හා කථන චිකිත්සකවරයකුගේ උපකාර ද අත්‍යවශ්‍ය බව අමතක කරන්න එපා.

-නිබන්ධිකා-

Comments

comments

SHARE