සාම්ප්‍රදායික විවාහ උත්සවයක් ගැන ඔබ දැන ගත යුතු දේවල්

0
4174

විවාහය කියන්නේ යුවතියකගේ ජීවිතයේ සුන්දරම දවස. විවාහ උත්සවය විවිධ සම්ප්‍රදායන් වලට පවත්වන්නට යුවතියන් ප්‍රිය කරනවා. ඔබ සාම්ප්‍රදායික උඩරට විවාහ උත්සවයකට කැමැත්තෙන් සිටිනවා නම් ඒ වෙනුවෙන් ඔබ පිළිපැදිය යුතු චාරිත්‍ර සමහරක් තිබෙනවා.

  1. පොරොන්දම් බැලීම – ආදරය හා අවබෝධයත් විශ්වාසයත් විවාහයකට හොඳටම සෑහෙනවා. නමුත් පුරාණ චාරිත්‍ර අනුව විවාහ වෙන විට පොරොන්දම් බැලීමක් සිදු වෙනවා. කේන්දර අතර ගැලපීම සියයට පනහකට වඩා වැඩි වීම පොරොන්දම් ගැලපීමේ මූලිකම කාරණාවයි. නමුත් මේවා අත්‍යාවශ්‍ය කරුණු නොවේ. මෙවැනි සාම්ප්‍රදායික මත නිසා ඔබේ සහකාරයා අත් හැර ගැනීම නම් එතරම් නුවණැති දෙයක් නොවන බව සිහි තබා ගන්න.
  2. නැකැත් බැලීම – සම්ප්‍රදායානුකූලව පොරොන්දම් ගැළපීමෙන් පසු මංගල උත්සවය වෙනුවෙන් නැකැත් බැලීම මනාලයාගේ පාර්ශවයෙන් සිදු කරනවා. නැකැත් පත්‍රය මනමාලියගේ නිවසට ගෙන යෑම සිදු කෙරෙන්නෙ මනාලයාගේ මව සහ පියා විසින්.
  3. මංගල උත්සවයට ආරාධනා කිරීම. – පළමු නැකැතට පවුලේ වැඩිහිටියෙක්ට බුලත් දී මංගල උත්සවයට ආරාධනා කිරීම පැරණි චාරිත්‍ර වලට අයත්. සුදු රෙදි කඩකින් ආවරණය කළ බුලත් හෙප්පුවක් මේ සඳහා ගෙන යනවා. අදාළ නිවසින් මංගල්‍යයට සහභාගි වෙන ප්‍රමාණයට බුලත් ආරාධිතයා විසින් වෙන් කර ගන්නවා.
  4. කැවිලි සෑදීම – මංගල උත්සවයට කැවිලි සෑදීමට පවා නැකතක් පැරණි විවාහ සිරිත්වල තිබෙනවා. තෙල් තාච්චියක් මේ නැකැත් වෙලාවට ලිප තැබීම සිරිතක්…
  5. පිරිත් කීම – සිංහල බෞද්ධයන් මේ සිරිත ඉටු කරනවා. මංගල්‍යයට දින දෙකකට පෙර වරු තුනක් ස්වාමීන් වහන්සේලා දෙනමක් විසින් මනාලයාට හා මනාලියට වෙන් වෙන්ව වශයෙන් වරු පිරිත් සජ්ජායනා කර ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා දෙනවා.
  6. මනාලයාට නිවසින් පිට වීමට නැකත- වර්තමානයේ නම් මනාලියටද මේ සඳහා නැකැතක් සාදා දෙනවා. ඇයට සූදානම් වීම සඳහා වේලාව පහසු වෙන සේ මේ නැකැත සකස් කෙරෙනවා.
  7. මනාලයාගේ දෙපා සේදීම – මේ සිරිත අතීතයේදි සිදු කළේ මනමාලයා පෝරුවට ගොඩ වීමට පෙර දෙපා වල දූවිලි සේදීමට වුවත් එහි යටි අරුත තම සොයුරියගේ අත ගන්නා මස්සිනාට මනාලියගේ බාල සහෝදරයාගෙ ගෞරවය පිරිනැමීමයි. මේ චාරිත්‍රය මනාලියගේ බාල ඥාති සහෝදරයෙකුට වුවත් සිදු කළ හැකියි . මෙහිදී දෙපා සෝදන වතුර භාජනයට මනාලයා විසින් රන් මුදුවක් තෑගි ලෙස දැමීම සිරිතක්.
  8. පෝරු චාරිත්‍ර- වර්තමානයේ උත්සව ශාලාවෙන් පෝරුව සැපයුවත් අතීතයේ පෝරුවට මනාලිය හා මනාලයා සපයා දිය යුතු දේවල් ද වූවා.

මනාලිය විසින් සපයා දිය යුතු දේවල්:

සුදු රෙදි යාර දෙකක්, සුදු කැකුළු හාල් කිලෝවක්, ලදපස් මල් පැකට් එකක්, පඬුරු විසි එකක්, බුලත් අත් හතක්, මැ‍ටි පහන් හතරක්, පහන් තිර හා පොල් තෙල්, පිරිත් නූලක්, කෙණ්ඩියක්, පැන් වැඩීමට භාජනයක්, පොල් මල් හතරක්, පොල් ගෙඩියක් හා කැත්තක්, මංගල මුදුව

මනාලයා විසින් සපයා දිය යුතු දේවල්:

බුලත්, මනාලියගේ මවට දීමට කිරි කඩ හේලය. (පෙර සිරිත අනුව සුදු රෙදි යාර හතක් මේ සඳහා යොදාගත්තා. වර්තමානයේ බොහෝ විට දෙන්නේ සාරියක්.)මංගල මුදු, මංගල මාලය, දෙවැනි ගමන සඳහා අඳින සාරිය

පෝරුවේ චාරිත්‍ර පළාතෙන් පළාතට වෙනස් වෙන අවස්ථා ද තිබෙනවා. සමහර චාරිත්‍ර සෑම පළාතකටම පොදුයි.

අෂ්ඨක කියන්නා විසින් ත්‍රිවිධ රත්නයට පහනක් සහ සතර වරම් දෙවියන් උදෙසා පහන් සතරක් පෝරුවේ සතර අතින් තබා ඇති පුන්කලස් මත දැල්වීම සිදු කරනවා. ඒ සමඟම අශ්ඨක කියන්නා සභාවෙන් අවසර ගැනීම, තෙරුවන් වැඳීම සහ සතර වරම් දේවාරාධනාව කීම සිදු කරනවා අනතුරුව මඟුල් බෙර හා සක් හඬ මැද මනාල යුවල පෝරු මස්තකාරූඪ කිරීම සිදු කරනවා.

දෙපාර්ශවයේම පියා හෝ මාමා විසින් විසින් අතින් අල්ලා පෝරුවට දෙපසින් මනාලයා දකුණු පසිනුත් මනාලිය වම් පසිනුත් ගොඩ කිරීම සිදු කරනවා.

පෝරුවට නැගීමෙන් පසු මනාල යුවල බුලත් අත් හතක් හුවමාරු කරගැනීමත් පඬුරු සහිත එම බුලත් අත් පෝරුව මත පතිත කිරීමත් සිදු කරනවා. බුලත් අත් හත මගින් සංකේතවත් කරන්නේ අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරි කිත්තා හා මී මුත්තා යන හත්මුතු පරම්පරාවයි.

මනාලයාගේ දකුණතේ වෙදැඟිල්ලෙත් මනාලියගේ වම් අතේ වෙදැඟිල්ලෙත් මුදු පලන්දා මනාලයා විසින් දෙවෙනි ගමනට මනාලිය අඳින සාරිය ඇන්දවීමත් මංගල මාලය පැලඳ වීමත් අනතුරුව සිදු කරනවා

ඉන්පසු සුලැඟිලි පිරිත් නූලකින් බැඳ මනාලියගේ පියා විසින් අතපැන් වත්කොට තම දියණිය බෑණාට පවරාදීම චාරිත්‍රානුකූලව සිදු කරනවා.

යොවුන් දැරියන් කීප දෙනෙකු විසින් නව යුවලට ආසිරි පතා ජය මංගල ගාථා ගායනා කරනවා. ඉන්පසු මනාලියගේ මවට කිරිකඩ සේලය පූජා කරනවා. මවක විසින් දියණියකට පොවන ලද කිරි වල ණය කිසිදා ගෙවා නිම කළ නොහැකි බවයි මේ කිරිකඩ සේලය පිදීම චාරිත්‍රයෙන් සංකේතවත් කරන්නේ. ඉන්පසු දෙමාපියන්ට හා දෙපාර්ශවයේ ඥාතීන්ට බුලත් දී වැඳ ආශිර්වාද ලබා ගැනීම සිරිතක්.

පෝරුවෙන් බැසීමට පෙර අෂ්ටක කියන්නා විසින් ආශිර්වාද කවි ගයනවා. පෝරුවෙන් බසින්නෙත් නැකතකට සහ සුභ දිශාවකට අනුවයි. යුවතිපතීන් එකිනෙකාගේ අත් අල්ලා පෝරුවෙන් බසින මොහොතේදී මනාලියගේ මාමා කෙනෙකු විසින් පොල් ගෙඩියක් කැත්තෙන් බිඳ වස් දොස් යැවීන සිදු කරනවා.පෝරුවෙන් බැස අවසාන චාරිත්‍රය ලෙස නව යුවල එක්ව පහන් දල්වනවා.

සාම්ප්‍රදායික විවාහයක් අවසානයේ මනාල යුවල පිටත්ව යන්නේත් නැකතකට අනුවයි.

මේ සාම්ප්‍රදායික විවාහයක මූලික කාරණා. අද වෙන විට අපේ පහසුව තකා මේවා බොහෝ ලෙස වෙනස් වී තිබෙනවා. මේවා මේ ආකාරයෙන්ම සිදු නොකළත් මේ සිරිත් ගැන දැන සිටීම වැදගත්.

-නිබන්ධිකා-