බෙඩ් ටයිම් ස්ටෝරි – 10

234

බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි….. කතන්දර අහන්න ආසා පොඩ්ඩෝ ඉන්න, ඒත් පොඩ්ඩන්ගේ ඉල්ලීමේ තරමටම තමන්ගෙ කතා ගබඩාවෙ කතාන්දර නොමැති අම්මලාගෙ සහායටයි අප ඉන්නේ. විනාඩි කිහිපයකින් අපේ වෙබ් අඩවියට ගිහින් ඉක්මනින්ම රසවත් කතාවක් බලාගන්න. ඔයාගේ රසයෙන් කියන්න. පොඩ්ඩාගෙ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරනීය කතාන්දර මතින් ගොඩ නැංවෙනු ඇති.

මේ කියන්න යන්නේ පාං පැංචෙක් ගැන ලස්සනම ලස්සන කතාවක්. ඔන්න කඩේක පාන්, කේක් දෙවර්ගයම විකුණන්න තිබුණා. කේක්, ලස්සනට පාට පාටින් අයිසිං කරලා ලස්සන ලස්සන නිර්මාණ ගොඩයි. ඉතින් පාන් අල්මාරියේ හිටපු පාන් වලින් එක පාන් ගෙඩියකට මෙන්න මෙහෙම හිතුණා.

“අනේ ! මටත් කේක් ගෙඩියක් වෙන්න පුලුවන් නම්…?”  අන්න එහෙම තමා එයාට හිතුණේ. ඉතින් එයා කලේ, මුදලාලි අමතක වෙලා අල්මාරියේ දොර ඇරලා කොහේද ගිය වෙලාවක හොරෙන්ම පාන් අල්මාරියෙන් බැහැලා කේක් අල්මාරියට නැගපු එක. ඉතින් දැන් පාන් පැන්චාට සතුටුයි. එයා දැන් ඉන්නෙ ලස්සනම ලස්සන කේක් එක්ක. හදිසියේම මුදලාලි එයාව දැක්කා. කවුද මේ කේක් අල්මාරියට පාන් දැම්මෙ කියලා මුදලාලි කෑ ගැහුවා. ඊට පස්සෙ ආයෙමත් පාන් ගෙඩිය අරන් නියමිත තැනින් තිබ්බා. පාන් පැන්චට ඉතින් හරිම දුකයි. කොහොමද කේක් ගෙඩියක් වෙන්නෙ කියලා එයා කල්පනා කළා. එයා හොරෙන්ම කේක් පෙට්ටියක් අස්සට රින්ග ගත්තා. කේක් ගන්න එක්කෙනෙක් ආවම මුදලාලි දුන්නෙ ඒ කේක් පෙට්ටිය. ගෙදර ගිහින් කේක් පෙට්ටියෙ කේක් වෙනුවට තියෙන්නෙ පාන් ගෙඩියක් කියලා දැක්කම එයාලා ආපහු පාන් ගෙඩිය අරන් ආවා. කේක් ගෙඩියක් අරන් ගෙදර ගියා.

“පාන් වලට වඩා කේක් වලටයි හැමෝම සලකන්නෙ” පාන් පැන්චා දුකෙන් හිතුවා. එ නිසාමයි එයාට කේක් වෙන්න ඕනා. පාට පාටින් ලස්සන වුණොත් මාව කේක් ගෙඩියක් වගේ පෙනෙයි. එයා හිතුවා. එයා පාට පාට අයිසින් වලින් ලස්සනට හැඩ වුණා. දැන්නම් හරි. එයා හිතුවා. කවුද මේ පාන් ගෙඩියේ අයිසින් ගෑවේ. මුදලාලි කෑ ගැහුවා. අයිසින් ටික පිහලා ආයෙමත් පාන් පැන්චව පාන් අල්මාරියට දැම්මා. මේ සැරේ නම් අමතක නොකරම දොර වැහුවා. හවස් වුණා. කඩේ පාන් ඉවර වෙමින් තිබුණා. මිනිස්සු ලොකු පෝලිමක් එලියේ. අන්තිමේදී ඔක්කොම පාන් ඉවරවුණා. ඒත් කවුරුවත්ම කේක් ඉල්ලුවෙ නැහැ. “පාන් ඉවරයි”. මුදලාලි කිව්වා. “අර අයිසින් ගෑවුණ පාන් ගෙඩිය හරි දෙන්න” මිනිස්සු කෑ ගැහුවා. පොරකකා පාන් පැන්චව වඩා ගන්න උත්සාහ කළා.

“හැමෝටම ඕනා පාන්. මන් මොකටද කේක් ගෙඩියක් වෙන්නෙ?” පාන් පැන්චා සතුටින් හිතුවා.

මේ කතාව නිමාලි තක්ශිලා විතානගේ ලිව්ව එකක්.

– චම්මි –

Comments

comments

SHARE