අම්මාගෙන් දෝණිට – 1

ආදරණීය පුංචි මල් පෙත්ත,

ඔයා මම ළඟට ඇවිත් තවම පැය කිහිපයයි.මහා විශාල වේදනාවක් එක්ක පුදුමාකාර සතුටක් දෙමින් ඔයා පිපෙන වෙලාවේ මාව හයියෙන් අල්ලගෙන හිටිය අප්පච්චිගේ අත ගැහෙන හැටි මට දැනුණා.. අප්පච්චි සමහරවිට අඬන්න ඇති.
අම්මට නම් ඇඬුණා..

ඒත් මං ආස ඔයා හයිය හිතක් තියන කෙල්ලක් වෙනවට. අම්මට ලෝකේ නපුරුකම් දරා ගන්න අවුරුදු විසි පහකටත් වඩා ගියා.ඒත් මං ඔයාට උගන්නන්නම් හැම නපුරුකමක්ම ඉක්මනින් දරා ගන්න හැටි.

ඒ වගේම මට ඕන ඔයා ඒ වගේ නපුරුකම් වලට විරුද්ධ වෙන කෙනෙක් කරන්න. ඔයාට විතරක් නෙවෙයි, ඕනෑම කෙනෙකුට වෙන.ඔයා දන්නවද මගේ දූ,අනිත් අය වෙනුවෙන් වැඩ කරන අනිත් අය ගැන හිතන පරම්පරාවක් ඔයාලා අතින් නිර්මාණය කරන්නම වෙනවා.නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන්නම බැරි තැනක් වේවි.

ඔයාට පුලුවන් හෙමින් සැරේ ලොකු වෙන්න.. පුංචි කුරුල්ලන්ට ආදරේ කරන්න, සමනළයන්ට, මාලුවන්ට ආදරේ කරන්න ඉගෙන ගන්න පුලුවන්. ටෙඩීලට බෝනික්කන්ට වඩා එයාලට ආදරේ කරන එක ලස්සනයි කියලා ඔයා ඉගෙන ගනීවි. පාට පෙට්ටියේ පාට වලට වඩා අහසට, දේදුන්නට, ගහකොළට තියෙන පාට හරිම ලස්සනයි ..ඒ පාටට ආදරේ කරන්න.ජීවිතේ ලස්සනටම පාට වැටේවි.

ජීවිතේ කොහොම සුළි කුණාටු ආවත් ඔයාව රකින යෝධ අත් දෙකක් තියනවා. හරි නිස්කලංක අප්පච්චි කෙනෙක් ලැබීම දුවෙකුට කොයිතරම් වටින දෙයක්ද කියලා කියලා හෙමින් සැරේ තේරුම් ගන්න..

ජීවිතේ ගැන ඉගෙන ගන්න මගේ දෝණිට තව බොහොම කාලයක් තියෙනවා. පුංචි ඇස් ඇරලා අම්මා , අප්පච්චි අඳුනා ගන්න මගේ දූට ලෝකේ අඳුනා ගන්න තව ගොඩාක් කල් යාවි..

කමක් නෑ..

අපි හෙමින් ඉගෙන ගමු.

අම්මායි අප්පච්චියි ඔයා පිටිපස්සේ හැම වෙලාවෙම ඉන්නවා..

අපිට වඩා දුරක් ඔයා යන හැටි බලන්න වගේම වැටෙන හැම මොහොතක ම ඔයාව හයියෙන් අල්ලා ගන්න.

මේ තරම් සන්තෝසයක් අරන් අපි ළඟට ආවට අපි ඔයාට ගොඩාක් ආදරෙයි.

ඔයා ගැන, ඔයාගේ හැම දවසක්ම ගැන අද ඉඳන් අම්මාගේ ඩයරියේ ලියැවේවි.

මං
ඔයාගේ අම්මා..

-නිබන්ධිකා වන්නිනායක-

Related Articles

Don't Miss


Latest Articles