අම්මාගෙන් දෝණිට -3

ජීවිතේ කියන්නේ හරි පරිස්සමින් දරා ගත යුතු දෙයක් කියලා අම්මාට මතක් කරන්න වගේ ඔයා දැන් නිතරම අඬන්න අරගෙන. රෑට ඔයාගේ ඩයපර්ස් මාරු කිරීමත් අම්මා දොවලා තියන කිරි පෙවීමත් අප්පච්චි බාර ගත්තට ඔයා වෙලාවක් අවේලාවක් නැතුව හරිම සද්දෙන් අඬන්න පටන් අරන්..

“ඩයපර්ස් සැර ඇති…”

“දරුවා දාලා නිදියන පුදුම අම්මා කෙනෙක්”

ඔයා දන්නවාද මල් පෙත්ත, මාස නවයක් ඔයාව දරා ගැනීම වගේම වේදනා විඳලා ඔයාව මේ ලෝකෙට ගෙනත් තාම සතියක් දෙකක් නිසා අම්මාට හරිම මහන්සියි. එහෙම මහන්සියෙන් ඉන්න අම්මලාට හරිම ඉක්මනින් පසු ප්‍රසව විශාදය එන්න පුලුවන් නිසා අම්මාට හොඳ නින්දක් ඕනෑ බව අප්පච්චිට නිතරම මතක් කළේ ඔයාව මේ ලෝකෙට ගෙනාපු දොස්තර මාමා. ඉතින් රෑට දොවපු කිරි ඔයාට පොවන එකත්, චූ දාගෙන අපහසුවට ඔයාව නොතියා ඩයපර්ස් අන්දන එකත් තනිකරම අප්පච්චිගේ තීරණයක්.

හැබැයි බැනුම් අයිති අම්මාට..

අඬන ඔයාට බාලගිරි දෝසේ කියලා අප්පච්චිගේ අම්මා හෙවත් ඔයාගේ තාත්තම්මා ඒ අතරේ කියන්න අරන්..

ඒත් ඔයාගේ දොස්තර නැන්දා හොයා ගත්තා ඔයාට කොලික් බව.

මගේ දූ තාම සති දෙකක බබෙක්. ඉතින් ඔයාගේ ආහාර මාර්ගය පරිණත නෑ. ගුඩුස් තනියම යවන්නත් අමාරුයි. අන්න ඒ නිසා කුක්කු බොනකොටත් අඬනකොටත් මගේ පුතාගේ බන්ඩියට හුළං පිරිලා ටිකක් රිදෙන්න අරගෙන..

ඒත් ඉතින් මේ ලෙඩේට බේතුත් නෑ.එහෙම වුණත් මගේ දූට අපහසුවෙන් ඉන්න අම්මා ඉඩ තියන්නෙත් නෑ.

අපි ඔයාව වඩාගෙන හෙමින් හෙමින් ඇවිදින්නෙ, අප්පච්චි , අත්තම්මලා, අම්මා ඔයාට ගුඩුස් යවන්න උදව් කරන්න, ලා උණු වතුරෙන් පුතාව හෝදන්නේ, බණ්ඩිය මසාජ් කරන්නේ, ඔයාව සන්සුන් වෙන මියුසික් ප්ලේ කරන්නේ ඉක්මනින් සනීප වෙන්නයි..

මේක ගොඩක් කල් තියෙන්නේ නෑ. ඔයාගේ පුංචි බඩවැල් වර්ධනය වෙනකොට සති කීපෙකින් මේ ගතිය ඇරිලා යාවි.

එතකන් අපි දරා ගමු.

කොහොමත් ජීවිතේ කියන්නේ දරා ගැනීමට තමයි කියලා මගේ මල් පෙත්ත දැන්මම තේරුම් ගන්න.

ආදරෙන්
ඔයාගේ අම්මා

-නිබන්ධිකා වන්නිනායක-

Related Articles

Don't Miss


Latest Articles