අම්මාගෙන් දෝණිට -8

බබාගේ කේන්දරේ කොහොමද? අපල එහෙම තියෙනවා ද?”

අම්මාගේ මිතුරියක් අද අම්මාගෙන් එහෙම ඇහුවේ ඔයා නින්දට වැටිලා සුරංගනා හීන බලනකොට අම්මා ටිකකට ෆේස්බුක් පැත්තේ ගියාම.

“අපි එයාගේ වෙලාව බැලුවේ නෑ. ”

මගේ උත්තරේට ඒ ආන්ටි චුට්ටක් කේන්ති අරන්.

“අපෝ මොනවද තාරු.ඕනෑවට වඩා රැඩිකල් වෙන්න එපා”

එයා එහෙම කියන්නේ ඔයා එන බව දැන ගත්තු දවසේ ඉඳලා පන්සල් ගිහින් බෝධි පූජා තිබ්බ අම්මා කෙනෙකුට. බෝ මළුවේ ඉඳගෙන මගේ දූ නීරෝගී දරුවෙක් වෙලා ඉපදෙන්න කියලා අධිෂ්ඨාන කරපු අම්මා කෙනෙකුට. ඔයා ලැබෙන්න ළං වෙලා අපහසුතා එනකොට අංගුලිමාල පිරිත අහපු අම්මා කෙනෙකුට.

මිනිස්සුන්ට ආගමක් ධර්මයක් තිබිය යුතු බව අම්මා විශ්වාස කරනවා. සමහරවිට ජෝතිශ්‍ය බොරු නොවෙන්න පුලුවන්. ඒත් බහුලවම වෙන්නේ ඒ ශාස්ත්‍රය විකුණාගෙන කෑම බව මගේ දූ ඉස්සරහට දැන ගනීවි.

ඔයා ඉස්සරහට හැමදේටම වඩා වටින්නේ හිතේ ශක්තිය කියලා තේරුම් ගන්නවට අම්මා කැමතියි. හොඳම වෙලාව ඔයා ශක්තිමත්ම වෙලාව කියලා තේරුම් ගන්නවට අම්මා කැමතියි. ඔයා කැමති ආගමක් අදහන්න ඔයාට පුලුවන් . හැබැයි ඒ කිසිම ආගමකට ඉර හඳ තරු මත ජීවිතේ තියන්න උගන්වලා නැති බව දැන ගන්නවට අම්මා කැමතියි.

ඔයාලාගේ පරම්පරාව ඈත ග්‍රහලෝක වල තියෙන රහස් හොයාගෙන යන, ඒ සක්වල ජය ගන්න පරම්පරාවක්. ඉතින් අපිට ඒවගේ අපල ගැන කියලා ඔයාලව නවත්වන්න නොලැබෙන බව අම්මා දන්නවා.

මගේ දූ ඇත්ත ලෝකේ ජීවත් වෙලා ඔයාගේ හීන හඹා යන්න.

මම ඔයාගේ අම්මා

Related Articles

Don't Miss


Latest Articles