කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2016

0
1932

සාහිත්‍ය මාසය ලෙස නම්කර ඇති සැප්තැම්බර් මාසයේ පොත පත කියවීමට කැමති සියළු දෙනා වෙනුවෙන් මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 18 වන වරට සංවිධානය කරනු ලබන මෙවර ප්‍රදර්ශනයට, වෙනදා මෙන්ම දස ලක්ෂයකට අධික දෙස් විදෙස් පාඨක සහභාගීත්වයක් අපේක්ෂා කෙරෙනවා. විවිධ විෂයන් සහ විවිධ භාෂාවලින් යුත් දෙස්-විදෙස් වටිනා ග්‍රන්ථ රැසක් එහිදී පාඨක ඔබට මිලදීගැනීමේ අවස්ථාව සැලසෙනවා.

සැප්තැම්බර් මස 16 වන දින සිට 25 වන දින දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ප්‍රදර්ශණය පවත්වන්නට සියළු කටයුතු සූදානම්කර ඇති අතර ප්‍රදර්ශනය ආරම්භක දිනයේ (සැප්. 16) පමණක් පෙරවරු 10.00 සිට රාත්‍රී 09.00 වන තෙක් මහජනතාව වෙනුවෙන් විවෘතව පවතින අතර සෙසු දින වලදී උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 වන තෙක් ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. සැප්. 17 දින දී පමණක් රාත්‍රී 12.00 වනතෙක් ප්‍රදර්ශනය පැවැත්වීවට සැලසුම් කර තිබෙනවා.

මෙවරද ප්‍රදර්ශන කුටි 410 ක් පාඨක ඔබ වෙනුවෙන් සූදානම් කර ඇති අතර එයින් ප්‍රදර්ශන කුටි 60 ක් විදේශීය ප්‍රකාශකයින් වෙනුවෙන් වෙන්කර තිබෙනවා.

සැප්. 20, 21 සහ 22 යන දිනයන් හීදී “භාෂා සංගායනාව” නමින් විශේෂ සංවාදාත්මක වැඩසටහනක් පැවැත්වීමට නියමිතයි. එම විද්වත් සංවාදයට විද්වතුන්, ලේඛකයින් සහ පාඨකයින් 350 – 400 ක ගේ පමණ සහභාගීත්වයක් අපේක්ෂා කෙරෙන අතර නිවැරදි ලෙස භාෂාව භාවිතා කිරීම පිළිබඳ එහිදී සාක්ච්ඡා කෙරෙනු ඇත.

ප්‍රදර්ශනයේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රු. 20 කි.

– චතුර –