දිළිඳුකම පරදා තරුවක වූ Moon lovers හි හෙසූ..

ඔබට තිරය හරහා සමීප වූ ප්‍රසිද්ධ චරිතවල ඔබ නොදත් කටුක කතාන්දර ලියන්න අපි හිතුවේ දුෂ්කර, කටුක ජීවිත කතා ඒ අයටත් අයිති නිසා. නමුත් ඒ හැම කටු පඳුරක්ම මල් පොකුරක් කර ගන්න ඔවුන් සමත් වූ නිසා.

කොරියන් ටෙලි නාට්‍ය නරඹන්න ඔබ බොහෝ දෙනෙක් ඉතා ප්‍රිය කරනවා ඇති. කොරියන් නාට්‍ය රුචි කරනවා නම් Moon lover අනිවාර්යයෙන් නරඹා ඇති. මේ එහි හෙසූගේ කතාව.

ඇය අපි හඳුනන්නේ IU යන නමින්. Lee ji eun උපදින්නේ 1993 මැයි දහතුන් වැනිදා. ඇය ඉතා දිලිඳු පවුලක දැරියක්.

ඇය රංගනයට සහ ගායනයට යොමු වූ මුල්ම කාලයේ ඇගේ පවුල ණය බරින් පීඩිත ව පසු වූ කාලයක්. නිවස පවා අහිමි වූ බව පැවසෙනවා. IUගේ දෙමව්පියන් දිළිඳුකම සමඟ සටන් කරන්නට පටන් ගන්නේ IU සහ ඇගේ සහෝදරයා ඔවුන්ගේ ආච්චි වෙත යැවීමෙන් අනතුරුවයි.

ඒ ජීවිතයත් පහසු නැහැ. කැරපොත්තන්ගෙන් පිරුණු කුඩා කාමරයක ආච්චිත් ඇයත් සහෝදරයාත් ජීවත් වී තිබෙනවා.නමුත් එහි අසීරුව දරා ගන්නටම බැරි වූ තැන ඔවුන් ඥාති නිවසකට ගියත් කරදර කාලය අවසන් වන්නේ නැහැ. IU නිවසේ සිටි ඥාතියෙකුගේ වාචික හිංසනයට නිතරම ලක් වී තිබෙනවා.

බීමතින් නිවසට පැමිණෙන ඥාතියා IUට පුහුණුවීම් කරන්නට ඉඩ දෙන්නේ නැහැ.ඇය පුහුණුවීම් කරනවා වෙනුවට ඉගෙනගත යුතු බවත් මේ කෙල්ලගෙන් ගායිකාවක සතු කුසලතා නොපෙනන බවත් පවසා නිතරම කෑගසන විට ඇය බොරු නින්දක් පෙන්වමින් මෙම වාචික හිංසනය විඳ ගත් බවයි පැවසෙන්නේ.

ඇය ඒ හිංසනය විඳිමින් දිවි නසා ගන්නට හෝ සිහිනය අත් හරින්නට සිතුවේ නෑ. ඇගේ සිහිනය ඇරඹෙන්නේ එතැනින්. කෙසේ හෝ ගායිකාවක වන බව ඇය සිතන්නට ගන්නේ එදා සිට බව ඇය පසුව හෙළි කර තිබෙනවා.

පුහුණු වන්නියක වූ පසුත් ඉන්පසු රූපවාහිනියේ පෙනී සිටීමටත් ඒජන්සියකට විශාල මුදලක් ගෙවන්නට සිදු වූ විට ඇගේ මිත්තණිය නොයෙකුත් ගෘහ භාණ්ඩ විකුණා දමා ඇයට මුදල් ලබා දෙනවා.ඒ සියලු තැවුල් දරා ගන්නා ඇයට ඊළඟ කඩා වැටීම සිදු වන්නේ බොහෝ ඒජන්සි වල පළමු පරීක්ෂණයෙන්ම අසමත් වීමට සිදු වූ නිසා.

ජීවිතය සුන්දර වන්නේ නොනවත්වා සටන් කිරීම නිසාවෙන් මයි. එය විශ්වාසයට ගන්නා ඇය මේ වෙද්දී ගායිකාවක්, ගී පද රචිකාවක්, අපේ ආදරය දිනා ගත් නිළියක්.

එහෙත් ඇය අවුරුදු පහළොවේ දී ගායිකාවක ලෙස මුල්ම ඇල්බමය වූ lost and found නිකුත් කරනවා. තාරකාවක ගමන එතැන් සිට ඇරඹෙනවා.

Good day, twenty three, you and I ,ending scene, my old story වැනි මනරම් ගී බොහොමයක් ද Palette, Modern Times, Last Fantasy, Growing Up, REAL+, Love poem සහ තවත් ඇල්බම කිහිපයක් ද
A Turtle’s Tale 2: Sammy’s Escape from Paradise, Jam Docu Kangjung, Repatriation වැනි චිත්‍රපට ද
Moon lovers, Hotel del luna,My mister, you are the best වැනි ජනාදරය දිනා ගත් ටෙලි නාට්‍යයද නිසා අපේ ආදරය දිනා ගත් IU
දැන් ඇගේ කටුක කාලය ගෙවා අවසන්. නමුත් ජීවිතය ඉදිරියේදීත් කුමනාකාර වේවිදැයි කියන්නට බෑ.එහෙත් මේ සඳවතිය දැන් ඇගේ ස්ථාවරත්වය ගොඩ නඟාගෙන ඇති නිසා ඇගේ දඟකාර, හුරතල් රඟපෑම් ද මිහිරි ගී නාදය ද සමඟ ස්මාර්ට් ගැහැණියක සේ ජීවත් වේවි.

කටු පොකුරක පවා මල් පිපෙන්නට ඉඩ ඇති බවත් මල් පිපෙන්නට කාලයක් ඇති බවත් මේ සුරූපි දඟකාරිය අපිට කියා දෙන කතාවයි.

Related Articles

Don't Miss


Latest Articles