පාට සේදුනු වත්සුණු – 4

ගංගා ෂයිනි ගමගේ ලියයි

කුසල් ගෙන් මගහැරී ගිය දුරකතන ඇමතුම් ටික දුටු මට දහදිය දැම්මා කීවොත් මුසාවක් නොවේ. ජංගමය අතේ තබා ගෙන මා හිතුවේ පෙරලා ඔහු ට ඇමතුමක් ගන්නවා ද නැත් ද කියා ය. කොහොම කළත් දැන් ඔහු පරල වී හිඳින බව මා නො දන්නවා නොවේ. අතෙහි තිබියදී ම දුරකතනය නැවත හැඬවෙන්නට ගති. කුසල්!

මම ඉක්මන් කොට කාමරයේ දොර වසා දැමුවෙමි. නැත්නම් කුසල් ගේ ගෝරනාඩුවට අත්තම්මා ත් කාමරයට එන්න බැරි නැත.
“හෙලෝ”

මා කතා කළේ ඉතාමත් හෙමිහිට ය. නමුත් කුසල් පිස්සෙක් සේ ඇඟ ට කඩා ගෙන පැන්නේ ය.

“මෙච්චර වෙලා ෆෝන් එකට ආන්සර් කරන්නැතුව මොන මගුලක්ද ඕයි කළේ…”

“අපි කුස්සියෙ හිටියෙ. මං ඉව්ව. ෆෝන් එක රූම් එකේ තිබුණෙ”

“දැං කීයටද ගෙදර එන්න ඉන්නෙ..”

“මට ගෙදර එන්න වෙන්නෑ කුසල්”

“මොකද්ද කියන්නෙ…”

“අත්තම්මල මාව ගෙදර එවන්නෑ. ටික කලක් මට මෙහෙ තමයි ඉන්න වෙන්නෙ”

“මේකි මගෙ යකා අවුස්සනවනෙ ඉතිං. ඔය නාකි ගෑනිට ඕන හැටියටද දැං තමුං වැඩ කරන්නෙ එතකොට…”

“අනේ කුසල් කෑගහන්න එපා. ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ…මට කරන්න වෙන්නෙ ඒගොල්ලො කියන දේවල් තමයි. මොකද තාම අපි මැරි කරල නෑනෙ”

“ආ එහෙමද නංගි…හරි හරි. එහෙනං ඔහොම යංකො. ආ”

ඔහු ගේ පැත්තෙන් දුරකතන සම්බන්ධය බිඳ වැටිණි. මම ලොකු හුස්මක් අර ගතිමි. පිරිමින් කියන්නේ මෙහෙම ජාතියක් ද? අන්තර්ජාල අවකාශයෙහි සරත් දී මුලින් ඔහු පෙන්වූයේ කෙතරම් දයාබර පිරිමි හිතක් ද? නමුත් ඒ වෙස් මුහුණ ගැලවී යන්නට ගත වූයේ ඉතාමත් ම කෙටි කාලයකි. අද කුසල් කියන්නේ මා ප්‍රාර්ථනා කළ හෝ මා පෙම් කරන හෝ මා කැමති විදිහේ පිරිමියෙකු නොවේ. නමුත් ඔහු ගෙන් මිදී ගත නො හැක්කේ ය.

“ගයාත්මී…නිදිද ඔයා…”

අත්තම්මා දොර ට ගසා කතා කළා ය. සත්තකට මා උන්නේ නින්දේ නොවේ. නමුත් ගැඹුරු නින්දකට වැටුණා ටත් වඩා සිරුරේ පණ නැති ගතියක් මට දැනෙමින් තිබිණි. දැන් දැන් කුසල් ගැන කල්පනා කරත්දී එබඳු සංවේදනයක් මා තුළ ඇති වේ.

“නිදි නෑ අත්තම්මා”

මම කාමරයේ දොර ඇරියෙමි. අත්තම්මා කෝපි මල් සිනහවක් පෑවා ය.

“අර අයිය යන්න හදන්නෙ”

ඕ තොමෝ ඔය කතා කරන්නේ තවමත් මා නම නො දන්නා ආගන්තුකයා ගැන ය.

“ගයාත්මිව ඇහුව. එන්නකො”
මම අත්තම්මා පස්සේ ඉස්තෝප්පුව වෙත ගියෙමි. පෙර මග දී ම ඒ ඇස් විදුලි කෙටුවේ ය.

“යන්නං නංගි. ඔයාගෙ කෑම රසයි. තෑන්ක්ස් ආ”
මම සිනහවක් විතරක් නගා ගතිමි. අත්තම්මා ආදරයෙන් මා තුරුලු කර ගත්තා ය. සීයා ආගන්තුකයා එක්ක දිගු පිය ගැට පෙළ බහින්නට වූයේ ය. නත්තසූරිය මල් යාය සුළඟත් එක්ක දඟ කරනවා මට පෙනිණ. පිය ගැට පෙළ මැද හරියේ දී, ආගන්තුකයා ලස්සන සිනහවකින් හැරී බැලුවේ ය. අත්තම්මා , පිපී නැලැවෙන නත්තසූරිය මලක් සේ ම ප්‍රීතිමත් සිනහවකින් ඔහු ට අත වැනුවා ය.

“හරි අපූරු ඉලන්දාරියෙක්. හොඳ ජොබ් එකක් කරන දැන උගත් ළමයෙක් ය කියල කිසී ආඩම්බර කමක් නෑ”

පිටින් බලා ඒ විදිහට පිරිමින් ට චරිත සහතික නිකුත් කළ නො හැකි වග දැන් මම අවබෝධ කර ගෙන හිඳිමි. නමුත් අත්තම්මා ට එරෙහි ව කිසිත් ප්‍රකාශ කළ නො හැකි ය. ඒ මට වඩා සිව් ගුණයක් කල් ඈ ජීවත් ව ඇති බැවිණි. ඊට සමානුපාත වූ අත්දැකීම් ප්‍රමාණයක් ද ජීවත් වීම තුලින් ඈ නෙලා ගත් අස්වැන්න අතර වේ. ඒ නිසා ම මිනිසුන් ගැන විශේෂ ඉවක්, අත්තම්මා හා සීයා වෙත වන්නට පුළුවන. ඔවුන් හැම පුද්ගලයෙකු දෙස ම බලන්නේ හා ඔවුන් ගැන හිතන්නේ එක ම ආකාරයකට නොවේ. අත්තම්මා ශාන්ති ගැන කියන දේවල් මේ දින දෙකට මට ඕනෑ තරම් ඇහිණි. ඈ අජන්ත මාමා ගේ පවුල ගැන කී දේවල් අද උදේ මට ඇසිණි. ඒ සියල්ලත් ඈ උගත් පාඩම් මත ලැබූ අත්දැකීම් වන්නට පුළුවන.

කියවන්න :  අවුරුදු කෑම වේලට රසවත් මැලේ අච්චාරුවක් හදමු

මම නැවතත් කාමරය වෙත ආවෙමි. තුෂී දැන් ඉන්නේ කොහේ දැයි බලන්නට ඇමතුමක් දීම මගේ සිතිවිල්ල විය. නමුත් කාමරයේ දොරකඩ දී ම දුරකතනය හැඬවෙනු ඇසුණේ ය. අම්මා!

“හෙලෝ. කියන්න අම්ම”
ඉසිහින් දුකක් වාගේ හැඟීමක් හරි හදිස්සියෙන් හිත වෙත ආවේ ය.

ගෑනු ළමයට දවස් දෙකෙංම අම්ම කෙනෙක් ඉන්නවද කියලත් අමතක වෙලා ගියා නේ”

“අනේ නෑ අම්මා. අම්ම ඉතිං සැලෝන් එකේ වැඩ වලට බිසීනෙ කොහොමත්”

“ඉතිං ඉතිං. කොහොමද ඔහේ…ඔයා මෙහෙට වැඩිය සතුටෙං ඇති කියලනං මට ෂුවර්”

“ඇයි.. “

“ඇයි ඉතිං හුරතල් වෙන්න අපේ අම්මයි තාත්තයි ඉන්නවනෙ”

අම්මට ඉතිං කවදාවත් වෙලාවක් තිබුණෙ නෑනෙ මාත් එක්ක හුරතල් වෙන්න’ කියා කියන්න ට ඕනෑ වූ මුත් මම හිතා මතා ම එහෙම නො කියා හිටියෙමි. කවදත් ඇගේ හිත රිද්දන්නට මට හැකි වූයේ නැත. කුඩා එකියක කාලයේ පටන් ම මා සිතුවේ මා ගැන නොව අම්මා ගේ සතුට ගැන ය.

“කස්ටමර්ස් ල අඩුද අම්ම මේ වෙලාවෙ”

“සැලෝන් එකේ නෙවෙයි ගයා ඉන්නෙ”

“එහෙනං…පිටකොටුවෙ ගියා ද සැලොන් එකට බඩු ගේන්න…”

“නෑ. අසංක කිව්ව දවස් දෙකක් සැලෝන් එක වහල කොහෙ හරි ගිහිං එමු කියල. අපි දැං ඉන්නෙ බණ්ඩාරවෙල”

“ඒක හොඳයි”

ඇහෙන නෑහෙන හඬින් මම මුමුණා ගතිමි.

බණ්ඩාරවෙල නොව බෙල්ලංවිල පන්සලට යන්නටවත් මට නම් අම්මා කැමති කරවා ගත හැකි වූයේ නැත. ඉඳහිට හෝ කොහේ හෝ නිදහස් තැනක ඇවිද හිත සැහැල්ලු කර ගැනීමේ නොතින් ආශාවකින් මම පෙළුණෙමි. නමුත් අම්මා හිතුවේ වරුවකට හෝ සැලෝන් එක වැහුවොත් පාඩු වෙන මුදල ගැන ය. අහිමි වී යා හැකි පාරිභෝගිකයන් ගණන ගැන ය. ඒවා සම්බන්ධයෙන් මගේ හිතත් එක්ක මා ඕනෑ තරම් තර්ක විතර්ක කළත්, අම්මා ගේ හිත රිදෙන එක වචනයක් හෝ නො කියන්නට ප්‍රවේසම් සහගත වීමි.

“අත්තම්මට පිස්සු අනේ. ඔයා ආයෙ ගෙදර එන්න ගයා”

“බලමුකො”
මම මඳහසක් මවා ගතිමි.

“ඔයා හිටියනං හවසට මං එනකොට මොනා හරි උයලවත් තියෙනවනෙ. නැහිල නැහිල ඇවිත් උයන්නත් ගියාම එපා වෙනව අප්ප”

එසේ නම් අම්මා ට මා මතක් වී තියෙන්නේ හොද්දක් මාළුවක් ඒදා ගන්නට ඇති කම්මැළිකම නිසා ය. කොහොමටත්, කවදටත් ඇය උයන්නට කම්මැළි තැනැත්තියකි. මා කුඩා කල දී අප වැඩි පුර කෑවේ කඩ කෑම ය. ඒවා කෑම නිසා මාසයකට වරක් දෙ වරක් වත් මම උදරාබාධ වලට බෙහෙත් ගත්තෙමි. පුළුවන් හැටියකට එක ව්‍යාංජනයක් හෝ ගෙදර දී උයන්නට මා උත්සාහ කළේ ඒ නිසා ය.

කියවන්න :  රුව ලස්සන කරන තක්කාලි

“ගයා. එහෙනං මං තියන්නං පැටියො හොඳේ. කොළඹ එන ගමං මං එන්නංකො ඔයාව එක්කං යන්න”

අම්මා කඩිනමින් දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. මම ලොකු හුස්මකින් පෙනහළු පුරවා ගතිමි.
තුෂානි කිට්ටුව ම පැමිණ ඇති බව කියා කතා කළේ තවත් ටික වෙලාවක් ගොසිනි. ඒ වන තෙක් මම නින්දත් නො නින්දත් අතරේ හිතිවිලි ලෝකයක දෝලනය වෙමින් සිටියෙමි. මට දැනෙන්නේ ජීවිතය එහෙම පිටින් ම පැටලී ගිය නූල් බෝලයක් සේ ය. මේ අවුල ලිහා ගත යුතු ව තියේ. නමුත් එය ඇරඹිය යුත්තේ කොතැනකින් ද කියා හිතා ගත නො හැකි ය.

මම තුෂී පිළිගනු වස් පෙර මග ට ගියෙමි. පිවිසුම් දොරටුව වන්නේ කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන පාර ට මුහුණ ලා ය . බස් නැවතුම ගේට්ටුවෙන් පිටතට ගිය ගමන් ම වේ. මම ගේට්ටුවෙන් මෙපිට පොල් ගස් සෙවනේ, නත්තසූරිය මල් වල රුව බලමින් හිටියෙමි. වැටේ එක මල් ගසක් වත් පෙළෙන් පිට නැත. අතු පවා හරි කෙළින් කප්පාදු කොට තිබේ. එසේ නොවී නම් මේ මල් කැලෑවක් සේ යායට වැවෙන බව මම දැක ඇත්තෙමි. ජීවිතය වුණත් මෙහෙම නේදැයි හදිසියේ ම මට සිතිණි. නිරන්තර මනා අධීක්ෂණය යටතේ නඩත්තු කළ යුතු ය. එසේ නොවුව හොත් වල් වැදී ජරාවාස වී යනු ඇත.

“හායි”

පිවිසුම් දොරටුවටත් මත්තේ දී තුෂී කෑගෑවා ය. බෑග් මලු කිහිපය ද ඔසවා ගෙන ඈ මා සිටි ඉසව්වට දිව එන්නට පටන් ගත්තා ය. මම අඩියක් වත් නො සෙල්වුණෙමි. මා හිටියේ හුස්ම ගන්නේ වුව නැතිව ද? සෑහෙන කාලයක් තිස්සේ මා මගේ හදවතට සමීප කිසිවෙකුත් නැති හුදෙකලාවක අසරණ වී හිඳි බව හරියට ම මට පසක් වන්නට වූයේ තුෂී ගේ සිනහව දැකි ඉක්බිති ය.
ඇගේ බෑග් මලු මා සමීපයේ දී අතෑරිණි. අපි දැඩි ලෙස අප ව වැළඳ ගෙන උන්නෙමු.

“මං ඔයාට කොහෙං හරි ජොබ් එකක් හොයනව. ආයිත්නං ගමේ යවන්නෑ”

මගේ ඇස් වල තෙත පාටක් වන්නට ඇත. තුෂී කැලෑ මලක් සේ සිනහ වී මගේ හිස් මුදුනේ කෙහෙ රැලි අවුල් කළා ය.

“පිස්සි”

“මේ…ඒක නෙවෙයි. කවුද අර හමිං බර්ඩ් වගේ කුරුල්ලා…”
තුෂී ගේ ඇස් තිබුණේ නත්තසූරිය වැටට මත්තෙන් යාබද උස් බිමේ ඉදි වන නිවස අසල හිඳ, ඉඳ හිට අප වෙත බැලුම් හෙලු ආගන්තුක යෞවනයා වෙත ය.

“හමිං බර්ඩ්. ඒක එයාට මරු නම”
මම හයියෙන් හිනා වුණෙමි. අප හිනා වෙන්නේ ඔහු ට යයි අනුමානයෙන් සිතා දෝ යෞවනයා කුරුලු බැලුම් හෙලුවේ ය.

“ඔයාට ඉතිං කොහොමත් කුසල් ඉන්න නිසා හමිං බර්ඩ් දිහා බල බල ඉන්නවත් මට පුළුවන් වෙයිනෙ නේ…”

“අනේ මේ. එනව යන්න. එයා කොහොමත් දැං මං උයන කෑම වලට වශී වෙලා ඉවරයි”
මම බිම තිබූ ගමන් මලු දෙකක් දෑතින් ගෙන පියගැට පෙල දෙසට ඇවිද යන්නට ගතිමි.

ඒකා බලනවනෙ අප්ප”
තුෂී කෙඳිරුවා ය.

“ඉන්නව පාඩුවෙ ඒ කොල්ලට ඉන්න දීල හොඳේ”

තුෂී හඬ නගා හිනැහුණා ය. නම නො දන්නා ඔහු දෑත් කලිසම් සාක්කු වල ඔබා ගෙන මඳහස් වතින් අප දෙස බලා සිටින යුරු මම අඩැසින් දුටිමි.

ගංගා ෂයිනි ගමගේ

3 1 vote
Article Rating
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Kushi nimasha
Kushi nimasha
12 days ago

හමින් බර්ඩ් ඉක්මණට සෙට් වෙයිනේ🤭💗