බොලිවුඩයෙන් ලෝකය ජයගත් සුරූපිනිය – ප්‍රියංකා චොප්රා

ප්‍රියංකා චොප්රා උපත ලබන්නේ 1982 වසරේ ජූලි දහ අටවෙනිදා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජාම්ෂෙද්පූර් නගරයේ දී. අශෝක් සහ මධූ චෝප්රා යුවලගේ වැඩිමහල් දියණිය ප්‍රියංකා. ඉන්දියන් යුධ හමුදා වෛද්‍යවරුන් වන දෙමාපියන් නිසා ප්‍රියංකා සහ ඇගේ මල්ලිට රට පුරා ජීවිතේ ගෙවන්නට සිදු වෙනවා.නමුත් ඇය සමාජ අත්දැකීම් උකහා ගැනීම මුලින්ම අරඹන්නේ මේ සංක්‍රමණ ජීවිතය නිසාමයි.

1995 වසරේදී ඇමරිකාවේ මැසචුසේ ප්‍රාන්තයේ වෙසෙන නැන්දා ළඟට යන ප්‍රියංකා මැසචුසේ, අයෝවා, නිව්ටන් සහ නිව්‍ යෝර්ක් වැනි ප්‍රාන්ත කිහිපයක අධ්‍යාපනය ලබනවා.නමුත් තලෙළු හම සහිත ප්‍රියංකා “බුලි වීම”ඇරඹෙන්නේ පාසලෙන්. හමේ පාටට ආර්ථික තත්වයත් එක් වී ඇය දිගටම බුලි වෙන්න පටන් ගන්නවා. මේ නිසා පාසලේ නිදහස් කාලච්ඡේද සහ විවේකය පාසලේ වොෂ් රූම් එක තුළ ගෙවන්නට සිදු වූ බව ප්‍රියංකා පසු කාලයේ පවසනවා. ආහාර පවා වොෂ් රූම් එකට වී ගන්නට සිදු වුණු ඒ කාලය ඇගේ ධෛර්යය ගැන මුල්ම පාඩම උගත් දවස් වෙනවා.

වසර තුනක් ඇමරිකාවේ ගත කරන ප්‍රියංකා ආපහු ඉන්දියාවට එන්නේ බරේලි ආමි පබ්ලික් ස්කූල් හි අධ්‍යාපනය ලැබීම සඳහා යි. ඇගේ සිහිනය වෙන්නේ Aeronautical Engineering හැදෑරීම යි. බරේලිවල බියුටි පැජන්ට් එකක් වෙත ප්‍රියංකා ඒ කාලයේ යොමු කරන්නේ ඇගේ අම්මා. එතැනින් ඇය පහසුවෙන් ජය ගැනීමත් සමඟ ම Femina Miss India වෙත ප්‍රියංකාගේ ඡායාරූප සහ අයදුම්පතක් යවන්නේත් ඇගේ මව විසින්මයි. එහිදී විනිශ්ච මණ්ඩලයේ සිටි ශාරුක් ඛාන් අසන ප්‍රශ්න වලට ඉතා බුද්ධිමත් පිළිතුරු දෙන ප්‍රියංකාට ‘Miss India World’ වන්නට හැකි වෙනවා.2000 වසරේ ලෝක රූ රැජිණ තරඟයට ඉන්දියාව නියෝජනය කරන ප්‍රියංකා Miss World කිරුල ඉන්දියාවට රැගෙන එනවා.

තවදුරටත් බොලිවුඩය ඇයට සිහිනයක් වන්නේ නැහැ.Thamizhan චිත්‍රපටිය හරහා 2002 වසරේදී ඇගේ බොලිවුඩ් ආගමනය සිදු වනවා. මේ වනවිට අධ්‍යාපන කටයුතු සඳහා කොමාවක් තබන තීරණය ඇය ගෙන අවසන්.Mujhse Shaadi Karogi’ හරහා ඇය තරුවක් බවට පත් වෙනවා.Aitraaz ඇයව සම්මානයට පාත්‍ර කරන චිත්‍රපටයයි.

Barfi, Gunday ,Bajirao Mastani, Krrish, Don ආදී චිත්‍රපටි බොහෝ ප්‍රමාණයකින් ඇය මේ වෙනවිට බොලිවුඩය ආක්‍රමණය කර අවසන්.

Quantico හරහා ඇමරිකා මාලා නාටකයක රඟපාන මුල්ම දකුණු ආසියාතික නිළිය වන්නට ප්‍රියංකාට හැකි වෙනවා. ඇමරිකන් සංගීතඥ සහයෙන් ඇය ගායිකාවක් බවටත් පත් වෙනවා. හොලිවුඩය ද අතික්‍රමණය කරන ප්‍රියංකා නික් ජෝනස් නම් ඇමරිකානුවා සමඟ විවාහ වී අවසන්. ඇයට වඩා වසර කිහිපයක් බාල නික් විවාහ කරගැනීම ඇය ප්‍රේමය ගැන ගත් එඩිතර තීරණයක් බව නොකියාම බැහැ.

2006 සිට යුනිසෙෆ් සංවිධානයේ Goodwill Ambassador කෙනෙකු ලෙස ළමා හා කාන්තා අයිතීන් පිළිබඳ කටයුතු සඳහා ඇය දායක වෙමින් ඉන්නවා.ඉන්දියානු පුරවැසියෙක්ට ලැබෙන ඉහළම සම්මානයක් වූ පද්ම ශ්‍රී සම්මානය ද ප්‍රියංකාට හිමිවී තිබෙනවා. Time සඟරාව ලෝකයට සුබවාදි බලපෑමක් කළ හැකි ප්‍රබලම චරිත සියයෙන් එකක් ලෙසත් Forbes සඟරාව ලෝකයේ බලවත්ම කාන්තාවන් සියයෙන් කෙනෙකු ලෙසත් ඇය නම් කර තිබෙනවා.

ප්‍රියංකා චොප්රා බොලිවුඩය සහ හොලිවුඩය අතික්‍රමණය කරමින් සාර්ථක ගැහැණියක ලෙස ජීවිතය ගත කරනවා. තීරණ ගන්නට පසුබට නොවීම, ප්‍රශ්න වලට බියේ පලා නොයාම ඇය මෙතරම් දුර ගමනක් ගෙන ආ බව පැහැදිලියි.

ඉතින් ඈ ස්මාර්ට් ගැහැනියක් නොවේ ද?

Related Articles

Don't Miss


Latest Articles