Bedtime Story – හිම ළමයා

ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න අපහසු පොඩිත්තන්ට කෑම කවාගන්න වගේම නිතරම දඟ කරන පොඩිත්තන් එක තැන රඳවා ගන්නත් අම්මලාට මේ කතන්දර වැදගත් වේවි.
ඉතින් කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති

අද අපි පොඩිත්තන් වෙනුවෙන් අරන් ආව කතාන්දරය තමයි අපි කුඩා කාලයේ රස වින්ද මනරම් ළමා කතාවක් වෙන හිම ළමයාගේ කතාව.

ඒ තදින් හිම වැටුණු දවසක්. හා අම්මාත් පුතාත් ජීවත් වූ ලී ගෙය වැසෙන තරමට හිම වැටුණා.
හිම වැස්ස නැවතුණාම හා අම්මාට කඩේ යන්න උවමනා වුණා.
අම්මා බඩු ගන්න කූඩය අතට ගනිද්දීම ඒ කූඩයෙන් යමක් බිමට වැටුණා…

ඒ මොනවද දන්නවද?

ලොවි ගෙඩි දෙකක්.

“පාත්ත මාමා දකුණට ගිහින් එනකොට ගෙනාව ලොවි තමයි පුතේ ඔය.”

අම්මා හා පැටියාට කියා දුන්නා.

හා පැටියා ලොවි ගෙඩි දෙක සාක්කුවට දාගෙන අපූරු ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා.

“වසන්ත කාලය ආවම මම මේ ලොවි ගෙඩි දෙක පැළ කරනවා. එතකොට ලොවි ගස් දෙකක් ම අපිට ලැබේවි”

පුංචි හා පැටියාගේ අදහස අගය කරපු හා අම්මා කඩේ යන්න සූදානම් වුණා.

ඔන්න එතකොට තමයි වැඩේ..

හා පැටියටත් කඩේ යන්න ඕනෑලු. ඉතින් පැටියාව ගෙදර නවත්තා ගන්න හා අම්මා අපූරු කල්පනාවක් ඇති කරගත්තා.

දෙන්නා එක්ක මිදුලේ හිම ගොඩ කරලා ලස්සන හිම ළමයෙක් සෑදුවා. හැබැයි තවත් ප්‍රශ්නයක්.

හිම ළමයාට ඇස් දෙකක් නෑ.

හා පැටියා එයාගේ ලොවි ගෙඩි දෙක හිම ළමයාට ඇස් විදියට ලබා දුන්නා.ඊටත් පස්සේ ගහක අතු රිකිල්ලක් හිම ළමයාගේ අතට දුන්නා.

“දැන් මගේ පුතා ගේ ඇතුළට ගිහින් ලිප පත්තු කරගෙන ගිනි තපින්න.”

මෙහෙම කියපු අම්මා කඩේට ගියා.

හා පැටියා ලිප අවුළුවා නිදා ගත්තා. සිදු වුණේ හොඳ දෙයක් නෙවේ.ගෙට ගිනි ඇවිළුනා. ගිනි මැලයේ රස්නය හා පැටියාට නිදි මත ඇති කළා. එයා සනීපෙට නිදා ගත්තා.

ඔය අතරේ මිදුලේ අපූරු දෙයක් සිදු වුණා. හිම ළමයාට පණ ඇවිත්. එයා ලේනුන් සහ පුංචි කුරුල්ලන් සමඟ සෙල්ලම පටන් ගත්තා.

ලේනා දුටුවා ගෙට ගිනි ගන්න හැටි..

“අනේ අන්න හා ගෙදර ගිනි ගන්නවා..” ලේනා කෑගැසුවා.

ගේ කුරුල්ලා ජනේලෙන් එබී බැලුවා.

“හා පැටියා ඇඳේ නිදි. උදව් කරන්න” එයා කෑගැහුවා.

හිම ළමයා ගිනි දළු අතරින් ගෙට දිව්වා. ගිනි දලුවල රස්නයට දාඩිය ඇති වුණත් එයා හා පැටියා සොයා ගත්තා. හා පැටියා අරන් මිදුලට එන්න එයාට පුලුවන් වුණා.

ඒත් සිදු වුණේ බොහොම දුක හිතෙන දෙයක්.

තමන් දියවී යන බව එයාට දැනුණා.

ලේනාගේ කැඳවීමට ආ වඳුරු ගිනි නිවන හමුදාව ගෙදර ගින්න නිවා දැම්මා.

හා පැටියා අවදි වන විට ගෙදරගින්න නිවී අවසන්. හිම ළමයාත් දිය වෙලා අවසන්. හා පැටියා ඇස් දෙකට තබා තිබූ ලොවි ගෙඩි දෙක අහුලා ගත්තා.

හා අම්මා ගෙදර දුවගෙන ආවා. උදව් කළ හැමෝටම අම්මා සහ හා පැටියා ස්තූති කළා. ඒක හොඳ පුරුද්දක්. කරදරයකදී අපට උදව් කරන අයට ස්තූති කරන්න හැම පුංචි බබෙක්ම ඉගෙන ගන්න ඕනෑ.

හැමෝටම ස්තූති කළත් හිම ළමයා ස්තූතිය බාර ගන්න හිටියේ නෑ. පුංචි හා පැටියා අඬන්න පටන් ගත්තා.

ඉර පායා ආවා. පොළොව උණුසුම් වුණා. දිය වුණු හිම ජල වාෂ්ප වෙලා අහසට නැංගා.

හිම ළමයා වළාකුළක් වී හා පැටියාට අත වැනුවා.

ජපන් ළමා කතාවකි-

Related Articles

Don't Miss


Latest Articles