ඇසිඩ් වලින් නොමැකුණු ලස්සන – ලක්ෂ්මි අග්‍රවාල්

ලක්ෂ්මී අග්‍රවාල් ඉතා සුරූපි යුවතියක් ලෙස ජීවිතේ ගත කළ කෙනෙක්. උපතින් ලද ලස්සන ඇයට අහිමි වී ගියත් ඈ තම ධෛර්යය හෝ ආත්ම අභිමානය නැති නොකර ගත් සැබෑ ස්මාර්ට් කාන්තාවක්.

ලක්ෂ්මීගේ දිරිය කතාව තමයි මේ.

ඇගේ ආදරය පතාගෙන ආ ගුඩ්ඩා සහ ඔහුගේ මිතුරා වන නදීම් ඇයට ඇසිඩ් ගසන්නේ ඉතා සුළු කාරණාවක යි. ඒ ඔහුගේ ප්‍රේම යෝජනාවට ඇය කැමති නොවීම නිසා. කෝපයට පත් ගුඩ්ඩා සිය ආවේගය පිට කලේ සැඟවී සිට ඇගේ මුහුණට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරමින්. ඒ 2005 වර්ෂයේ දී ය. එවකට ලක්ෂ්මි පහළොස් හැවිරිදි ගැහැණු ළමයෙක් වූවා. ගුඩ්ඩා ගේ අරමුණ වූයේ එතනින් ඇගේ ජීවිතය අවසන් කරන්නට වුවත් ඇය ජීවත් වන්නට පටන් ගත්තේ එදින සිටය. වෛද්‍යවරුන්ගේ අප්‍රතිහත උත්සාහය මැද ඇය ජීවිතය බේරා ගත්තත් ඇය උපතින්ම ගෙන ආ සුන්දරත්වය ඇයට අහිමි වී තිබුණා. සැත්කමින් පසුව මුල්ම වරට කැටපතින් මුහුණ බැලූ ඇයට තමාවම අඳුනා ගන්නට නොහකි වී ඇය හඬා වැටුණු බව කියවෙනවා. නමුත් ඉතා ඉක්මනින්ම ඇය සිය දෛවය පිළිගන්නට හිත හදා ගත්තා. විරූප මුහුණ අමතක කරමින් පුරුදු පරිදි ජීවිතය පටන් ගත්තා.

ඇය ඇසිඩ් ප්‍රහාරයට ලක් වූවන් වෙනුවෙන් සටන්කරන්නට පටන් ගන්නේ ඉන් පසුයි.

ඇගේ ප්‍රධාන අරමුණ වූයේ ඇසිඩ් අළෙවිය නතර කරවීමයි.. ඇගේ කතාව ඇසිඩ් ප්‍රහාර වලට ලක් වූවන් ගැන පළවන ලිපි පෙලක් ලෙස හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පතේ මුල් වරට පළ වූවා.

ඇසිඩ් අළෙවිය නතර කරවීමට බල කෙරෙමින් අත්සන් 27000 ක් සමග පෙත්සමක් මගින් ඇය ශ්‍රෙෂ්ඨාධිකරණය ඉදිරියට යන්නේ ඒ කාලයේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇසිඩ් අලෙවිය පිළිබඳ නව නීති සම්පාදනය කරන මෙන් ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් මධ්‍යම හා ප්‍රාන්ත රජයන්ටත්, ඇසිඩ් ප්‍රහාර වලට එරෙහිව නඩු පැවරීම පහසු කරමින් පාර්ලිමේන්තුවටත් නි‍යෝගයක් ලැබෙනවා.

ඇය ඇසිඩ් ප්‍රචන්ඩත්වයට හා ඇසිඩ් අලෙවියට එරෙහිව හඬ නගන Stop Sale Asid ව්‍යාපාරයේ නිර්මාතෘවරියයි 2014 දී මිශෙල් ඔබාමා විසින් ලෝකයේ ධෛර්යමත්ම කාන්තාව ලෙස ලක්ෂ්මිට සම්මානයක් ලබා දෙනවා NDTV ආයතනය විසින් ඇයව වසරේ ඉන්දියානුවා ලෙසද ප්‍රකාශයට පත් කරනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ආලෝක් ඩික්සිත් සමග එකට ජීවත් වන ඇය ඔහු හා විවාහ වී නැහැ. සාම්ප්‍රදායික විවාහයෙන් බැහැරව නමුත් ඉතා හොඳ සම්බන්ධතාවයකින් යුක්තව දිවි ගෙවන ඔවුන්ට දියණියක් සිටිනවා.

මෙග්නා ගුල්සාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද Chhapaak චිත්‍රපටයට පදනම් වී ඇත්තේ ඇගේ කතාවයි. දීපිකා පදුකොන් ඇගේ චරිතය පණ දෙනවා.

ලස්සන කෙල්ලකට වඩා ධෛර්යමත් කෙල්ලකට කළ හැකි දේ බොහොමයි”

ලක්ෂ්මී අපට කියන්නේ ඒ පාඩමයි

Related Articles

Don't Miss


Latest Articles