කරදරයේ නොවැටී Credit Cards පාවිච්චි කරන්න ඔබ දැනගත යුතු දේවල්..

ක්‍රෙඩිට් කාඩ් කියන්නේ ස්මාර්ට් ලෝකෙක අපේ කටයුතු පහසු කරන මෙවලමක්. අපිට ගනුදෙනු කරනකොට හරිම පහසුවෙන් ඒ දේවල් කර ගන්න ක්‍රෙඩිට්කාඩ් එක නිසා පුලුවන්. හැබැයි මූල්‍යමය විනය නැත්නම් ක්‍රෙඩිට්කාඩ් එකක් පාවිච්චි කරන එක ඒ තරම් හොඳ වැඩක් නොවෙන්නත් පුලුවන්.

මොනවද අපිට තියන වාසි?

ඔන්ලයින් පේමන්ට් කරන්න පහසු වීම.

ඔන්ලයින් පේමන්ට්ස් අද අපිට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. ඊබේ, ඇමසන් වගේ ඉන්ටර්නැෂනල් සයිට් වලින් කාඩ් එකෙන් ඔන්ලයින්ම ගෙවලා බඩු ගෙදරටම ගෙන්නා ගන්න පුලුවන්. වුවමනා නම් පේ පැල් එකවුන්ට් එකක් හදලා ඒකට ක්‍රෙඩිට් කාඩ් එක ලින්ක් කරන්න පුලුවන්. එතකොට ඔන්ලයින් ගෙවනකොට කාඩ් එකේ ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නෑ.

ඩිස්කවුන්ට් ලැබීම්

ක්‍රෙඩිට් කාඩ් සඳහා ලංකාවේ ජනප්‍රිය සමාගම් සහ සුපිරි වෙළඳ සැල් වලින් ඩිස්කවුන්ට් ලැබීමත් කියන්න බැරි තරම් වටින වාසියක්.
අධි සුඛෝපභෝගී හෝටල්ව​ලට මසකට වරක් සියයට පනහක වට්ටම් ලබාදෙන ක්‍රෙඩිට් කාඩ් පත් තියෙනවා.. ඒ වගේම ඔබේ ඉන්ධන බිලට අදහා ගන්න බැරි වාසි ලැබෙන අවස්ථාත් ඕනෑ තරම්.

මාසික ගෙවීම්

අපි බහුතරයක් මධ්‍යම පාන්තික අය. ඒ නිසා එක පාර ලොකු ගාණක් වියදම් නොකර පොලී රහිතව මාස්පතා ගෙවීම් ක්‍රමයට බඩු භාණ්ඩ මිලදී ගන්න, හොටෙල් බිලක් ගෙවන්න අපිට ක්‍රෙඩිට් කාඩ් එක හරහා පුලුවන්.ලොකු මුදලක් ගෙවන්න තියෙනවා සමහර ක්‍රෙඩිට් කාඩ් වල පළවෙනි වාරිකය නොමිලේ ලැබෙන අවස්ථාත් තියෙනවා. ඒ කියන්නේ පොඩි ඩිස්කවුන්ට් එකකුත් දෙනවා.

ඕනෑම රටකට වලංගු වීම.

විදේශ සංචාරකයක නිරත වෙනකොට මේ වාසිය ඉතාම තදින් දැනෙනවා. අපේ සල්ලි ඒ රටේ සල්ලිවලට හරවා ගන්න මහන්සි නොවී කාඩ් එකෙන් ගනුදෙනු කරන්න පුලුවන්.

ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ දී අපි කරන වැරදි.

මාසික ගෙවීම් වලදී ගෙවීමට නියමිත දිනයට පසු ගෙවීම් කිරීම ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදි වළක්වා ගත යුතු විශාල වැරැද්දක්. එවිට ඔබේ ගිණුමට ප්‍රමාද ගාස්තුවක් පැනවීමට බැංකුවට සිදු වීම නිසා ගෙවන ගාස්තුව වැඩි වෙන්න පුලුවන්.ඒ වගේම අපේ ගෙවීම් නියමිත කාලයට වඩා ප්‍රමාද කිරීම CRIB (ණය තොරතුරු කාර්යාංශය) වෙත වාර්තා වීමට හේතු වෙන්න පුලුවන්.අපේ ණය සුදුසුකම් වලට එය අහිතකරව බලපානවා.

ඒ වගේම කාඩ් එක වෙනත් අයට භාවිතා කරන්න ඉඩ දීම, කාඩ්පතක් නැති වූ විගස බැංකුවට දැනුම් නොදීම, කාඩ් පත සමඟ අපිට ලබා දෙන ගිවිසුම් සහ නීති වලට පිටින් ක්‍රියා කිරීම අපි අතින් වෙන්න පුලුවන් තවත් වැරදි හැටියට හඳුන්වන්න පුලුවන්.

ඒ වගේම භාන්ඩ මිලදී ගැනීම හැරුණු කොට කිසිම වෙලාවක ක්‍රෙඩිට්කාඩ් එකෙන් මුදල් ලබා ගන්න එපා. පොලියක් එකතු වීම සිදු වෙනවා.

ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න තිබිය යුතු සුදුසුකම්.

මේ ගැන අපි විමසීමක් කළේ අවම පොලී අනුපාතයක් තියන ලංකා බැංකුවෙන්.
බැංකුවේ ගිණුමක් තිබීම අවශ්‍යම දෙයක් නෙවෙයි. ඒත් ඔබේ බෑන්ක් එකවුන්ට් එක අදාළ බැංකුවෙම තියෙනවානම් සැලරි එක ඒ ගිණුමට එනවා නම් ඉහළ මුදල් සීමාවක් සහිත ක්‍රෙඩිට්කාඩ් එකකට අයදුම් කරන්න පුලුවන්.

ඒ හැරුණු විට වැටුපේ සීමාවත් බැංකුවෙන් බැංකුවට වෙනස්. ඔබට රුපියල් විසි දහසක මූලික වැටුපක් ලැබෙනවා නම් ලංකා බැංකුව හරහා ක්‍රෙඩිට්කාඩ් එකකට ඉල්ලුම් කරන්න පුලුවන්.

ජාතික හැඳුනුම්පත, මාස තුනක වැටුප් සම්බන්ධ ලියකියවිලි, Bank statements තිබීම ප්‍රමාණවත්.

ක්‍රෙඩිට්කාඩ් එක ස්මාර්ට් විදියට පාවිච්චි කරන හැටි.

කාඩ් එකේ සීමාව ගැන හිතන්න.

කාඩ්පත ලබාගැනීමේදී එහි ණය සීමාව, වාර්ෂිකව කාඩ් පත සඳහා ගෙවිය යුතු මුදල, ඉන්ධන පිරවුම්හල් වලදී අයකරනු ලබන විශේෂ ගාස්තු, ණය පියවීම සඳහා ලැබෙන කාල සීමාව සහ සැඟවුණු ගාස්තු ගැන දැනුවත් වෙන්න.

පොඩි පොඩි බිල් ගෙවීම හැකිතාක් අඩු කරන්න.

ක්‍රෙඩිට්කාඩ් එකක් භාවිතා කරන්න හොඳම අවස්ථා අපි ඉහත ඔබට කිව්වා. ඒ හැරුණාම මාසය පුරාම පුංචි පුංචි ගෙවීම් කරොත් මාසය අන්තිමට මාසික ගෙවීම් එක්ක ඒ ගෙවීම් එකතු වෙලා බිල ඉහළ යාවි.

ගෙවීම් කාලය හරියට තෝරා ගන්න.

මිල අධික දෙයක් ගෙවන්න ගත්තම ගෙවීම් කාල සීමා බැංකුවෙන් ලැබෙනවා. මාස 12,24,36 ලෙස ලැබෙන මේ කාල සීමා ඔබට පහසු විදියට තෝරා ගන්න.

වියදම් ගැන සැලකිලිමත් වෙන්න.

Sms සේවා, Internet banking ඇක්ටිව් කරගෙන ඔබේ ගෙවීම් ගැන සහ මුදල් වියදම් වෙන හැටි ගැන සෝදිසියෙන් ඉන්න.

නියමිත දවසට මාසික ගෙවීම් කරන්න.

මේ ලිපිය පුරාම කියවුණු දේ ආයෙම මතක් කර ගන්න. ක්‍රෙඩිට් කාඩ් පතේ ණය පියවීම සඳහා මාසික දිනයක් සහ අවම අගයක් ලබා දෙන අතර ඔබ අනිවාර්යෙන්ම මෙම දිනයට ප්‍රථම එම අවම මුදල ගෙවන්න ඕනෑ.

ක්‍රෙඩිට්කාඩ් කියන්නේ බය වෙන්න ඕනෑ දෙයක් නෙවෙයි. බොහොම පහසුවෙන් අපේ ගනුදෙනු කරන්න පුලුවන් ස්මාර්ට් දෙයක්. ඒ නිසා අමාරුවේ නොවැටී කල්පනාවෙන් මූල්‍ය ගනුදෙනු කරන අයට ක්‍රෙඩිට්කාඩ් එකක් කියන්නේ බොහොම අපූරු දෙයක්.

Related Articles

Don't Miss


Latest Articles