සිරුරේ හැඩය දැනගෙන ඔබට ගැළපෙන ගවුම් විලාසිතාව තෝරමු..

කාන්තා පාර්ශවය අතරේ යල් පැන නොයන ඇඳුම් මෝස්තරයක් ලෙස ගවුම් විලාසිතා හඳුනාගන්නට පුළුවන්. ඕනෑම වයසක කෙනෙක්ට ඕනෑම තැනකට ඇඳිය හැකි සේ ගවුම් මෝස්තරයක් නිර්මාණය කරගන්න හැකි වීම මෙහි සුවිශේෂීතාවය යි. එහෙත්, කාන්තාවන්ගේ සිරුරේ මේදය තැන්පත් වීම තරමක් වැඩි නිසා ගවුම් මෝස්තර තෝරා ගැනීමට චකිතයක් දක්වනවා. චබී වුණත් – ස්ලිම් වුණත් අපි කළ යුත්තේ අපේ සිරුරේ හැඩය හඳුනා ගෙන, ඊට ගැළපෙන සේ මෝස්තර තෝරාගැනීමයි. එවිට, ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්නට හැකියාව ලැබෙනවා. 

සිරුරේ විවිධ හැඩ හඳුනාගනිමු.

එක් එක් සිරුරේ හැඩ එක් එක් ආකාර වුවද මේදය තැන්පත් වී ඇති ආකාරයත්, හඳුනා ගැනීමේ පහසුවත් තකා සිරුරේ හැඩ හතරක් වර්ගීකරණය කොට තිබෙනවා.

Hourglass හැඩය

ළැම සහ උකුල පෙදෙස සමානුපාතික ව පිහිටන මෙම ශරීර හැඩයේ ඉන සිහින් හැඩයක් ගන්නවා. සිරුරේ ඉහළ කොටසට සාපේක්ෂව පහළ කොටස සමබර ව පවතිනවා. මෙහි ළැමෙහි සහ උකුලෙහි මේදය තැන්පත් වී ඇති නමුදු ඉන සාමාන්‍ය පරිදිමයි.

Apple හැඩය

සිහින් පාද සහිතව, ශරීයයේ මධ්‍ය කොටස එනම් උරහිස, පපුව, ඉන ප්‍රදේශ පුළුල්ව පවතින සිරුරුයි ඇපල් හැඩැති වන්නේ. ඒ මේදය පාද හැර සිරුරේ මැද කොටසේ තැන්පත් වී ඇති නිසායි.

Rectangle හැඩය

උකුල් පෙදෙසට සාපේක්ෂව උරහිස පළල් වුවද, ඉනත් ඒ හා සමපාත වන ශරීර හැඩය මෙලෙස හඳුනාගන්නවා. සිරුර පුරා ඒකාකාරීව මේදය තැන්පත් වී තිබීම ඊට හේතුවයි.

Triangle හැඩය

පටු උඩුකයක් සහ පැතිරුණු උකුල් ප්‍රදේශයක් සහිත සිරුරුයි මේ. වැඩිපුර මේදය තැන්පත් වී ඇත්තේ උකුල් ප්‍රදේශයේයි.

සිරුරේ හැඩයට අනුකූලව ගවුම් මෝස්තර තෝරාගන්නේ කොහොමද?

Hourglass හැඩය

මේ හැඩයේ සිරුරකට විවිධ V හැඩයේ කර සහිත ගවුම් ඉතා සුන්දරබවක් ගෙන දෙනවා. සිරුර දෙපසින් එතෙන සේ අඳිනා Wrap හෝ Crossover මෝස්තරයත් කදිමට ගැළපෙන Hourglass සිරුරු හිමිකාරියන්ට වඩාත් ගැළපෙන්නේ සිරුරට තරමක් තදට අඳිනා ගවුම්. ඉනට පටියක් (Belt) සහිත මෝස්තර මගින් සුන්දරත්වය තවත් ඔප්නංවා ගන්නට පුළුවන්.

වඩාත් ලිහිල් සහ වැසුණු උඩු කොටසක් සහිත ගවුම් මෙන්ම විළුඹ තෙක් දිග ගවුම් විලාසිතා මේ ශරීර හැඩය සහිත කාන්තාවන් ලස්සන කරන්නේ නැහැ.

ඇපල් හැඩය

V කර මෙන්ම රවුම් කර ද ගැළපෙන සිරුරක් ලෙස ඇපල් හැඩැති සිරුර හඳුනාගන්නට පුළුවන්. මෙවන් සිරුරු හිමිකාරියන්ට ඉන තරමක් ඉහළින් යෙදූ ගවුම් මෝස්තර වඩාත් සුන්දර බවක් ගෙන දෙන්නේ අසමමිතික උඩුකය පෙදෙස එයින් කැපී නොපෙනෙන බැවින්. ඉන V හැඩයට දැමූ ගවුම් මෝස්තර වලින් ඉන වඩාත් සිහින් කර දක්වන්නට හැකියාව තිබෙනවා.

එමෙන්ම උඩු කය තරමක් ලිහිල් රැලි සිටින සේ ගවුම් මෝස්තරය නිමවීමෙන් මනා හැඩයක් සිරුරට ලබා දිය හැකියි. ඉනට රැළි යෙදීමත් ඊට උපකාරී වෙනවා. ඉනට පහළින් රැළි යෙදූ විලාසිතාව (Bust Gathered) ඇපල් හැඩැති සිරුරක් වඩා සුන්දර ව දක්වනවා. කබා සහිත මෝස්තර (Overcoat) ද මෙම සිරුරට වඩාත් ගැළපෙනවා.

වැසුණු කර සහිත ගවුම්, දිග අතට ඉරි සහිත මෝස්තර, බොහෝ විශාල ගවුම් ඇපල් හැඩැත්තියන්ට එතරම් සුදුසු වන්නේ නැහැ.

Rectangle හැඩය

මේ හැඩයේ සිරුරුවලට වඩාත් සුන්දර වන්නේ X line ආකාරයට මැසූ ගවුම් මෝස්තරයි. ඉන් සිරුරේ අසමතුලිතබව අඩු කර පෙන්වනවා. රවුම් කර සහිත ගවුම්,  ලොවිච්චි හෝ කොලර් සහිත කරකින් යුතු ගවුම් මෙම සිරුරු හැඩැත්තියන්ට මනාව ගැළපෙනවා. 

උස් වූ ඉනක් සහ ඉනට සිහින් රැළි වැඩියෙන් යෙදූ ගවුම් මෝස්තර නිසා සිහින් ඉනක හැඩය කැපී පෙනෙනවා. ඉනට පටියක් (Belt) පැළඳීමත් කළ හැකියි. Peplum මෝස්තරයේ ඉනක් වඩාත් ගැළපෙන්නේ ද මේ ආකාරයේ සිරුරකටයි.

දිග අතට ඉරි සහිත රෙද්දෙන් මැසූ ගවුම් මෙන්ම කොටු කර සහිත ගවුම් ද මෙම සිරුරු හැඩයට නුසුදුසුයි.

Triangle හැඩය

ගවුමෙහි කරට, අත්වලට මෙන් ම උඩු කොටසටම  රැළි, පබළු,ලේස් ආදියෙන් කරන ලද මෝස්තර එක් කිරීමෙන් උඩුකයෙහි පටු බව මගහරවා ගන්නට පුළුවන්. 

ගවුමෙහි උඩ කොටස මෝස්තර සහිත හෝ ලා පාටකින් ද, යට කොටස මෝස්තර රහිතව හෝ තද පාටකින් ද මැසේමෙන් මෙම සිරුර වඩාත් සුන්දර කිරීමට හැකියාව ලැබෙනවා. A line මෝස්තරයේ ගවුම් මේ සිරුරට වඩාත් ගැළපෙනවා. 

සිරුරට බුරුල් ගවුම් මෝස්තර මේ සිරුරුවල හිමිකාරියන්ට එතරම් ලස්සනක් ගෙන දෙන්නේ නැහැ.

ඉතින් සිරුරේ හැඩය විලාසිතාවන්ට බාධාවක් නොවන බව ඔබට තේරේවි. 
සිරුරේ හැඩයට වඩාත් ගැළපෙන ගවුම් මෝස්තර තෝරාගනිමින් ස්මාට් ලෙස පෙනුම ඔප් නංවා ගන්නට දැන් ඔබට පුළුවන්

Related Articles

Don't Miss


Latest Articles