Chat With Smartlady – තිලිනි N ලියනාරච්චි

Unwritten Poem ෆේස්බුක් අවකාශයේ සැරිසරන ඔබ හැම කෙනෙක්ගේ ම අවධානය දිනා ගත් කවි පිටුවක්.තිලිනි එන් ලියනාරච්චි එහි ලියන්නේ ඉතා සරල බසකින් හදවතට සමීප කවි වීම එයට හේතුව විය හැකියි.

සයිබරය පුරා ආදරය බෙදා ගත් තිලිනිගේ “අප්‍රකාශිත ප්‍රේමය” පොතක් වී කළඑළි බසින්නේ ලබන පස් වැනිදා. මේ අප්‍රකාශිත ප්‍රේමය ගැන තිලිනි Smartlady සමඟ බෙදා ගත් අදහස් කිහිපයක්.

අප්‍රකාශිත ප්‍රේමය කා වෙනුවෙන් ද?

ප්‍රකාශිතව හෝ අප්‍රකාශිතව හෝ ප්‍රේම කරන සියල්ලන්ම වෙනුවෙන් කියලා මම කියන්න කැමතියි.

සයිබර් කිවිඳියක ලෙස ජනප්‍රිය වෙන්න පෙර ඔබ කවි ලියූ කාලය මතක් කරමුද?

මම හිතන්නේ මගේ කවි ජනප්‍රිය වෙන්න හේතුව වුණේ ” අප්‍රකාශිත ප්‍රේමය” කියන කවිය. ඒ කවියට පෙර ලියපු කවි වුණත් පාසල් කාලේ ලියපු කවි වුණත් බහුතරයක්ම සරල කවි. පාසල් කාලයේ නම් හැම පොතකම වගේ අන්තිම පිටුවෙ කවියක් තිබුණා. සහ නව යොවුන් වියේදී යාළුවන්ගේ ආදර කථා වලට කවි ලියලත් දුන්නා ඒ හැමදේම සුන්දර මතකයක්.

සමාජ ප්‍රශ්න සහ බැරෑරුම් කාරණා ගැන ලියන යොවුන් කවියන් අතර තිලිනි ආදරය ගැනම ලියන්නේ ඇයි

මම හිතනවා ලෝකයේ තියෙන බහුතර සමාජ ප්‍රශ්න ආදරය හිඟකමින් ඇතිවෙන ඒවා කියන්න. මම මේ කතා කරන්නේ ස්ත්‍රී පුරුෂ ආදරයම නෙවෙයි.මානව සම්බන්ධතා ඇතුළේ ඇතිවෙන ආදරය ගැන සහ අපි ජීවීන් වශයෙන් එකිනෙකාට බැඳීපවතින ආකාරය ගැන. ඒ නිසා ආදරය තමයි ඔසුව කියලා මම විශ්වාස කරනවා. ඉතින් සමාජ ප්‍රශ්න සහ බැරෑරුම් කවි අතරේ මේ වගේ සරල ප්‍රේමය තැවරුණ කවිත් තියෙන්න ඕන. උයනක් වුනත් ලස්සන එක එක විදියේ මල් පිපුණම. හැම මලක්ම එක වගේ වුනාම ඒ විවිධත්වයක් නැහැ. ආදරය තමයි විසඳුම,මේ වගේ ලෝකයකට.

Woman In translation month සඳහා ඔබ සම්බන්ධ වුණු විදිය දැන ගන්න කැමතියි..

ඇත්තටම ඒ ගැන ස්තූතිය පුද කරන්න ඕන චාමිනී කුලතුංගට.ඇය තමයි මේ සම්බන්ධයෙන් මගෙන් විමසන්නේ කොරෝනා කාලසමය ඇතුලත. මම ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගත්තේ නැතැත්, ඇය ඒකට මහන්සි වුණා. ඒ කැපවීමේ ප්‍රතිඵලය තමයි ඒ. Pen America මඟින් women in translation month සඳහා මම ලියපු ඇය පරිවර්තනය කළ කවි තෝරගත්තා කියන එක මට සෑහෙන සතුටක්. ඒ වගේම ඇය ගැන මම ආඩම්බර වෙනවා.ලංකාව ඇතුලේ සිංහලෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම කියන දේ හරි අඩුයි. ඇය ඒ අභියෝගය ජයගත්තා.එහි කොටස්කරුවෙක් වීම සහ online reading වැඩසටහනේදී ලෝකයේ විවිධ රටවල සාමාජිකයන් සමඟ ඒ කවි සහ හැඟීම් බෙදාගැනීම අපූරුයි.

ආදරය සහ සම්බන්ධතා සම්බන්ධයෙන් බොහෝ ගැටලු වලට මැදි වූ යුවතියන්ට කිවිඳියක වගේම තරුණියක හැටියට කියන්න තියෙන්නේ මොනවාද?

ආදරය කියන්නේ ජීවිතේ විවිධ කාලවලට සාපේක්ෂව එකිනෙකාට විවිධ විදියට දැනෙන දෙයක්. අද මට දැනෙන ආදරේ හෙට මට වෙනත් විදියකට දැනෙන්න පුළුවන් . ඒ වගේම ඒක තව කෙනෙක්ට මට වඩා වෙනස් විදියකට දැනෙන්න පුළුවන් . ආදරේ වතුර වගේ.. උණු කරලා බොන්න සමහරු ආසයි, නිවලා බොන්න සමහරු ආසයි. ශීත කරලා බොන්නත් පුළුවන් , ඕනෙනම් තව අමුද්‍රව්‍ය ටික දාලා කෝපි එකක්,බීම එකක් ඔබට කැමති ඕන දෙයක් හදාගන්න පුළුවන්.මගේ ආදරේ තිත්ත කෝපි එකක්, ඔබේ ආදරේ පැණිරස බීම එකක්,තව කෙනෙක්ගේ ආදරේ මත්වීමක් තැවරුණ cocktail එකක් එහෙම වෙන්න පුළුවන් .
ඒක මගෙන් ඔබට, ඔබෙන් මට අනන්‍යයි. ඒ වගේම මේ ලෝකේ අනිත් හැමදේම වගේම ආදරේ වෙනස්වෙන සුළුයි. ඒක තේරුම් අරන් ජීවත්වෙන්න. ආදර සම්බන්ධතාවයක් අවසානයේ තරහාකාරයො වෙලා එකිනෙකාගේ මූණ නොබලන තත්වයට පත්වෙනවට වඩා කථා බහකරලා විවෘතව වෙන්වෙන එක හොඳයි. ඒ වගේම එකිනෙකාට චෝදනා නොකර මානුශීයව සමුගන්න පුළුවන් නම් ඒක වටිනවා..

හොඳම දේ ලෝකයට, ලෝකයේ කාටහරි ආදරේ කරන්න කලින් ඔබ , ඔබට ආදරේ වෙන්න. ඒ වගේම ලෝකයට ආදරෙන් ඉන්න. ගහට කොළට ඇලට දොළට සතාසිවුපාවාට ඉඳන් හැම ජීවි අජීවී දෙයකටම ආදරෙන් ඉන්නවානම් අපිටත් ඒ ආදරයම පෙරලා ලැබෙනවා

අප්‍රකාශිත ප්‍රේමය පොත එළිදැක්වීමේ උත්සවය ගැන සිහිපත් කරමු..

සැප්තැම්බර් පස්වෙනිදා හවස තුනට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතයි. කෙටි උත්සව සභාවකින් පස්සේ අනිත් පැය ගාණම අපි වෙන් කරේ ඔබේ ආදරය බෙදා හදාගන්න. එන්න ඇවිත් කතා බහ කරලා යන්න.

මේ හැමදෙයක්ම වෙනුවෙන් ඔබ ස්තූතියි කියන්නේ කාටද?

නම් වශයෙන් කිව්වොත් ඒක දිග ලිස්ට් එකක්. ඒ නිසා කෙටියෙන් කියන්නම් අම්මා,තාත්තා, අයියා මල්ලී ඉඳන් පවුලේ හැමෝමත්..නෑදෑයෝ හැමෝමත්, චරිත්, තරිඳු, උත්පල, අසේල අයියා, විශ්, විනෝ, සියුමි, දිමුතු, ජයේ ඇතුලු හැම යාළුවෙක්ටමත්, විශේෂයෙන්ම චතුභානුටත්, රාජකාරි ආයතනයේ අධ්‍යක්ෂතුමිය ඇතුළු හැමෝටමත් ස්තූතියි.ජීවිතයේ එක වතාවක හරි වචනයෙන් හරි උදව්වක් කරපු හැමෝම වගේම මගේ කවියට මටත් වඩා ආදරේ කරන හැමදෙනාටම මගේ ආදරය මම මේ වෙලාවෙ දෙන්න කැමතියි.

තිලිනි, ආදරය අවශ්‍ය ලෝකයකට “හොඳම බැඳීම නොබිඳෙන” බව ලියා තැබූ ඔබට ” වසන්තය නොඑන බිමක පවා මලක් වී පිපෙන්නට” හැකි වේවා!

ස්මාර්ට්ලේඩි කණ්ඩායම ඔබේ නිර්මාණ දිවියට ආදරයෙන් සුබ පැතුම් එක් කරනවා.

Related Articles

Don't Miss


Latest Articles