පාට සේදුණු වත්සුණු – 17

අසංක ගේ රියෙන් බැස හනි හනික අප වෙත ආ අම්මා, මා ඉදිරියේ නතර වූයේ වත වඩාත් දුක් බර කර ගෙනයි. ඇය මට සුබ පතන්නට හදනවා යි මම සිතුවෙමි. නමුත් සිදු වූයේ එවැන්නක් නොවේ.

“ඔන්න ගයා ඔයාගෙ සුබ නැකත වෙලාවෙ අපිට අපේ ගෙදරිං දොට්ට බහින්න වුණා. දැං ඉතිං සතුටු ඇතිනෙ කාට කාටත්”

ඈ ඒ චෝදනාව කළේ මට සේ ම අත්තම්මලාටත් ය. හරියට අපේ වරදක් මත ඇයට එහෙම වූවා සේ ය ඈ කතා කළේ.

“ඉතිං මේ බඩු මුට්ටුත් පොදි බැඳගෙන කෝසලා කොහෙ යන ගමංද…”

අත්තම්මා අතුරු ප්‍රශ්නයක් නැගුවා ය. අම්මා සිය මෑණියන් දෙස ඇස් ලොකු කර බැලුවා ය.

“අම්ම මාර කතාවක්නෙ අහන්නෙ. මං වෙන කොහෙ යන්නද මෙහෙ එනව මිසක් මගෙ අම්ම තාත්ත ළඟට එනව මිසක්”

මමත් තුෂීත් මූණෙන් මූණ බලා ගතිමු. ඇගේ දෙතොල් මත, පිටතට නො දැමූ අවඥාවක් නළියමින් තිබුණේ ය.

“එහෙනං මං ගිහිං එන්නද නංගි…”

මෙතැනට ඔහු සම්පූර්ණ අමුත්තෙකු සේ යුගාන්තට දැනෙන්නට ඇත.

“යන්නං සීයා”

“අනේ පුතා කිරිබත් කෑල්ලක් කෑවෙත් නෑනෙ”

“හරි හරි ඒකට කමක් නෑ. මං පස්සෙ එන්නංකො තේ එකක් බොන්න”

කියා ගෙන නික්ම යන යුගාන්ත දෙස අම්මා බලා සිටියේ නො රිස්සුමකින් කියා සිතමි.

“කවුද මේ කොල්ලා…එදත් අපි එනකොට මෙහෙ හිටිය නේද…”

ඇගේ ප්‍රශ්නය ට වටිනාකමක් හෝ පිළිතුරක් දෙන්නට කෙනෙක් හිටියේ නැත. ඒ වෙනුවට අත්තම්මා සිය විරෝධය පාන්නට පටන් ගත්තා ය.

“මෙහෙ කොහොමද ඉන්නෙ කෝසලා…අපි උඹලව දීග දුන්නෙ හිස් අතිං නෙවෙයිනෙ. ඉන්න තැනත් එක්ක. ඒව නැති භංගස්තාන කර ගත්තට අපිට කරන්න දෙයක් නෑ. එහෙම නේද පුතාලගෙ තාත්තෙ…”

“නැත්තං. නන්දා…මේ නහින දෙහින කාලෙ අපිට හිතේ සැනසිල්ලෙ මෙතන වැටිල ඉන්න ඕනෙ. මට කියන්න තියෙන්නෙ එච්චරයි”

“ඇහුණනෙ කෝසලා…ඔය බඩු ලොරියත් එක්කම යන්න වෙන තැනක් බැලුවොත් හොඳයි”

අම්මා අසංක ගේ මූණ දෙස බලනු මා බලා ගෙන ය. අත්තම්මා ත් ඒ බව දකින්නට ඇත.

“අනිත් එක උඹ දැං තනියම නෙවෙයිනෙ. ආයිමත් කසාද බැන්දනෙ. ඉතිං කෝසලා ගැන බලා ගන්න වගකීම ගන්න ඕනෙ අපි නෙවෙයි. කෝසලාගෙ අලුත් මහත්තය”

අසංක නො සන්සුන් වුවේ ය. නමුත් ඔහු ලෙහෙසියෙන් වචනයක් එළියට දමන කෙනෙකු සේ නො පෙනිණි.

“කරුණාකරල වෙන අතක් බලා ගත්තොත් හොඳයි. මේ කෙල්ල මේ වැඩක් පටං ගත්ත වෙලාවෙ හිත් නොහොඳ කර ගන්න ඕන නෑනෙ”

අත්තම්මා හැරී ගේ දෙසට යන්නට හැරුණා ය. අම්මා ගැන දුකක් මගෙ හිතේ තුවාල ඇති කරවමින් තිබිණි. නමුත් ඔවුන්ට මෙහි නවාතැන් දෙන්නැයි සීයලා ගෙන් ඉල්ලා සිටීමේ සදාචාරාත්මක අයිතියක් මට නැත.

“තමුංගෙම දරුවන්ට ඔහොම කරන්න එපා අම්මෙ. ඕගොල්ලො පුදුම දෙමව්පියො තමයි”

අම්මා කෑගැසුවා ය.

“නෑ මං යන්නෙ නෑ. මටත් අයිතියක් තියෙනවනෙ මේ ගෙදර ගැන. ලොරියෙ තියෙන බඩු බාන්න”

අම්මා යක්ෂාවේශයෙන් ලොරි කරුට අණ කළා ය. යන්නට ගිය අත්තම්මා නැවතී හැරී බැලුවා ය. මගේ හද ගැස්ම වේගවත් වී තිබෙනු මට දැනිණ.

“කොහෙ තියෙන අයිතියක්ද ඒ…කෝසලාගෙ අලුත් මහත්තයගෙ දේපලක් කියල හිතුවද මේක…”

අත්තම්මා හොඳට ම කෝපත් වූවා ය. අම්මා ඒ කෝපය වගකට ගත්තේ නැත. මම හොඳට ම බියපත් ව සිටියෙමි. ඉස්සර මා කුඩා කළ අම්මා හා තාත්තා අතරේ සිදු වූ බහින් බස් වීම් වල දී හදවතෙහි වූයේත් මේ ගැස්ම ම බව මතක ය. ඔවුන් රණ්ඩු දබර වෙත්දී මම දෑත් ගසමින් ගෙයි ඒ කොනටත් මේ කොනටත් දුවමි. කොපුල් පුරා කඳුළු ගලා යයි. නමුත් ඉකි බිඳුම් වන්නේ හදවතෙහි පමණි. පිටතට ඇහෙන සේ මට හැඬෙන්නේ වුව නැත. ළමා සිත ඒ කාලයේ ඒ තරම් බියකින් පිරී පැවතිණි.

තාත්තා ගෙදර ඉන්නා බොහෝ නිමේෂයන් හි ඒ බිය මා වෙලා ගෙන තිබූ බව මතක ය. ඔවුන් දෙදෙනා කොයි වෙලේ රණ්ඩුවක් ඇති කර ගනීවිද යන සැකය හැම මොහොතක ම මගේ හදවතේ විය. ඔවුන් දෙදෙනා ගේ නීතිමය වෙන් වීමෙන් අනතුරු ව එබිය තුනී වී නැත්තට ම නැති ව ගිය බව ඇත්ත ය. නමුත් ගහ මරා ගනිමින් හෝ ඔවුන් වෙන් නොවී මා හා එක ම ගෙදරක හිටියා නම් කියන හැඟීම ඉන් පසු කාලයක් තිස්සේ ම මා පාරවමින් මා තුළ වැඩෙන්නට විය.

කෙසේ වෙතත් අතීතයට අයිති ව තිබූ මේ හුරු පුරුදු බිය මුසු තිගැස්ම අද අලුත් මුහුණුවරකින් මා ඉදිරියේ පෙනී සිටී.

“අසංක. මේ කෝසලාවත් අරං මෙහෙං ගියොත් නේද හොඳ…”

සීයා අසංක වෙත හැරෙමින් විචාලේ ය. හැම නෙතක් ම මොහොතකට ඔහු දෙසට හැරෙන්නට ඇත. නමුත් අසංක පිරිමියෙකු සේ ඍජු තීරණයක් ගත හැකි තත්වයක නො සිටියේ ය.

“අනේ මන්නං ඕව දන්නෑ අංකල්. එයාට කියන්න”
බොහෝ තැන් වල දී සීයා අත්තම්මා ට වඩා ඉවසීමෙන් කටයුතු කරනු මම දැක ඇත්තෙමි. නමුත් මේ මොහොතේ දී ඒ ඉවසීම සීමා පැන යන්නට ඇත.

“එයාට කියන්නයි කියන්නෙ….තමුසෙ මාර මිනිහෙක්නෙ. තමුසෙ නේද එයාගෙ මිනිහ…තමුසෙට බැරිද ගෑනිට පැහැදිලි කරල මෙතනිං අරං යන්න…අපි මේකට කැමති නෑ කිව්වට පස්සෙත්…”

“අනේ සීයා…”

මම සීයා ගේ අතක එල්ලුණෙමි. මේ මොහොතේ මෙතන නරක යමක් වෙන්නට යනවායි මහිත බෙහෙවින් බිය ගෙන සිටියේ ය. සීයා එක අතකින් මාව ඔහු වෙත ලං කොට ගත්තේ ය. ‘ගයාත්මි බය වෙන්න එපා’ වැනි කතාවක්, ඔහු ගේ ඒ ග්‍රහණයෙහි මට දැනිණ.

සීයා හා අත්තම්මා ගේ විවිරෝධය කෙතරම් දැඩි වී ද අම්මා ඒ වගකට ගත්තේ නැත. ලොරියේ වූ සියලු බඩු බිමට දැමිණි. ලොරිය නික්ම ගියේ අප ගෙමිදුල බලා සිටියදී ය.

විසල් සුළි කුණාටුවක් ඇවිත් සියල්ල විනාශ කර ගෙන ගියා වන් හිස් වූ ද, වේදනාත්මක වූ ද හැඟීමක් වායු ගෝලයේ මුහු වී තිබිණි. නිහැඬියාව මහ බරක් සේ මා මත පැටවී තිබිණි. තුෂී මට සමීප වී මුදු ලෙස මගේ උරහිස පිරිමැද්දා ය.

“බඩු ටික ගෙට දාමු අසංක. බය වෙන්න එපා අම්මෙ. ගෙයක් හොයා ගත්ත ගමං අපි යනව. ගයා…අපිට උදව් කරන්නකො පැටියො මේ ටික ඇතුළට දාගන්න…”

මම අසලක වූ පුටුවක් ගෙන ගෙතුළට ගියෙමි. තුෂී ද මා පසු පසින් යමක් ඔසවා ගෙන ආවා ය.

“අනේ ඇත්තමයි මගෙ හිතේ තියන කේන්තියක්…ගයාත්මි…අර යුගාන්ත පුතාට මේ කිරිබත් කෑලි දෙකක් පිඟානක තියල ගිහින් දෙන්න. හිතං හිටිය ඔක්කොම විනාස වුණා”

අත්තම්මා කේන්තියෙන් වෙව්ලමින් ම පිඟානකට කැවිලි බෙදුවා ය. මම එයත් ගෙන යුගාන්ත ගේ ගේ පැත්තට ගියෙමි.

“අවුල් වෙන්න එපා”

ඔහු කිරිබත් කෑල්ලක් අතට ගනිමින් කීවේ ය. කියන්නට දහසකුත් එකක් දේවල් තිබුණත් මගේ මුව ගොළු ගැහී තිබිණි.

“ජීවත් වෙනව කියන්නෙ ඔහොම දේකට තමයි ගයාත්මි. ප්‍රශ්න වලට මූණ දෙමින් යන ගමනක්…”
මම යටි තොල සපා ගෙන බිම බැලුවෙමි. ඇස් දෙක කඳුළින් බර වී ගෙන එනවා දැනිණ.

“ඔයා ඕව ගැන හිතන්න එපා. පටං ගත්ත වැඩේ අපි කරං යමු”

ඇසට බර වැඩි වූ කඳුළ ටක් ගා බිම වැටිණි. මම ලොකු හුස්මකින් පෙනහළු පුරවා ගතිමි. මහත් අවිනිශ්චිත බවක් මට දැනෙන්නට වූයේ ය. මේ පටන් ගත් වැඩේ වුව ඉදිරියට මොන තත්වයන් යටතේ කරගෙන යන්නට වේවිදැයි කාට නම් කිව හැකි ද?

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles