Chat With Smartlady – හිමාලි සිරිවර්ධන

හිමාලි සිරිවර්ධන වත්මන් පරපුරේ දක්ෂ නිලියක් වගේම හොඳ නර්තන ශිල්පිනියක්. හිමාලි පහුගිය කාලය වැඩියෙන්ම ගත කළේ පුතා එක්ක. වෘත්තිය සහ සුන්දර රුව එක්ක ආදරණීය අම්මා කෙනෙකු වීම බැලන්ස් කර ගත්තු හිමාලිගේ අම්මා භූමිකාව ගැන කතා කරන්න අපි හිතුවා.

හිමාලි, චූටි පුතාගේ විස්තර කියමු නේද?

පුතාගේ නම සචෙල් සෙඩ්‍රික් පෙරේරා. පුතාට දැන් අවුරුදු දෙකයි මාස තුනක්. එයා හරිම දඟ බබෙක්.ඉතින් එයා එක්ක කාලය ගත කිරීම ටිකක් අමාරු වුණත් පුදුම සුන්දර අත්දැකීමක්.

පුතා ලැබෙන්න ඉන්න බව දැන ගත්තම සහ පුතාව මුලින්ම දැක්කම හිමාලිට දැනුණු හැඟීම් මතකද?

විවාහයෙන් වසර දහතුනක් ගියාම තමයි අපිට බබෙක් අවශ්‍ය බව අපි තීරණය කළේ. අතිශය කාර්යබහුල වීම නිසා දරුවෙක් හදන එක කල් ගියා.ඒ තීරණය ගත්තත් මං හරිම කාර්‍යබහුල වූ නිසා බබෙක් ලැබෙන්න ඉන්න බව දැන ගනිද්දී මාස තුනක් ගත වෙලා ඉවරයි. ඒ කාලයේ මං විදේශ සංචාරවල ඩාන්සින් ෂූට් වලට පවා ගියා. ගොඩක් ඩාන්ස් කරපු කාලයක් නිසා මට රිපෝට් එක අතට ගනිද්දී ටිකක් බය හිතුණා. ඉතින් ප්‍රෙග්නන්ට් කියලා දැන ගනිද්දී මට ඇස්වලින් කඳුලු පවා ආවා. මම බබාලට ගොඩක් ආදරේ කෙනෙක්. ඉතින් දැන් සමහර වෙලාවට හිතෙනවා කල් නොදැම්මා නම් දැන් බබා ගොඩක් ලොකුයිනෙ කියලත්. ඉතින් ආරංචිය ලැබුණම මම සහ හස්බන්ඩ් ගොඩක් සතුටු වුණා.හස්බන්ඩ් ගොඩක් ආස වුණේ පුතෙක්‍ට.මාස පහේ ස්කෑන් එකෙන් පුතෙක් බව දැන ගත්තම අපි ගොඩාක් සතුටු වුණා.
බබා නෝමල් ලැබෙන්න මම ආසාවෙන් හිටියත් සිසේරියන් සැත්කමක් කරන්න වුණා.ඒත් හස්බන්ඩ් බය හිතිලා තියටර් එකට ආවේ නෑ.මං ජීවිතේ පළමුවෙනි වතාවට තමයි හොස්පිටල් එකක හිටියේ. ඉතින් මං කලින් දවසේ නිදා ගත්තෙත් නෑ. ඒ තරම් අමුතු අත්දැකීමක් වුණා. පුතා ලැබිලා මූණ ළඟින් තිබ්බම මට කඳුලුත් ආවා. ඒක අම්මා කෙනෙක්ට වචනවලින් විස්තර කරන්න බැරි තරම් සතුටක්. ජීවිතේ ලබපු ලොකුම සතුටක්.

අතිශය දූෂිත සමාජයක ජීවත් වෙන්න අපිට සිද්ධ වෙලා.කාර්යබහුල අම්මා කෙනෙක් හැටියට හිමාලි කොහොමද පුතාගේ ප්‍රවේසම ගැන සැලකිලිමත් වෙන්නේ.

මම බබාව තනියම කොතැනවත් තියෙන්නේ නෑ. මං එයා උපදිනකොට හිතුවා එයාගේ තාත්ති ගොඩක් බිසී නිසා මං කාර්යබහුල නොවී ඉන්නවා කියලා.මං අවුරුදු දෙකක්ම කිසිම කලා කටයුත්තක් කළේ නැහැ. කිසිම කෙනෙක් අතට එයාව දුන්නේ නෑ. සමාජයෙන් ආරක්ෂා කිරීම විතරක් නෙවේ. බබා හරි දඟ සහ ඇක්ටිව් නිසා ගේ ඇතුලේ වැටෙන්න නොදී එයාව ආරක්ෂා කරන්න මං හරියට මහන්සි වෙනවා. ඒ වගේම මගේ අක්කා සහ අම්මා මගේ ළඟ ඉන්නවා. ඒ දෙන්නා මට බබා බලා ගන්න ලොකු සහයෝගයක් ලබා දෙනවා.

දරුවෙක් ලැබීමෙන් පස්සේ “තමන්ට තමන් අහිමි වෙනවා කියන එක” තරුණ මව්වරු කරන චෝදනාවක්.ඇත්තටම එහෙම වෙනවද?

ඇත්තටම අපි කාලය කළමනාකරණය කර ගත්තම එහෙම වෙන්නේ නෑ.ඕනෑම කෙනෙක් තමන් ගැනත් හිතන්න ඕන. මං විවාහ වූ මුල් කාලේ ඉඳන්ම ගෙදර, පවුල, රඟපෑම් සහ මගේ නර්තන කණ්ඩායමට වෙන වෙනම කාලය වෙන් කරා හරිම පිළිවෙලකට. ඉතින් මට කලාව, බබා සහ මම ගැන බලා ගන්න වෙලාව හදා ගන්න පුලුවන්. පොඩි බබෙක් නිදා ගන්න, අවදි වෙන්න, කන්න බොන්න හැමදාම එකම කාල සටහනක් තියා ගන් නෑ.ඒත් මට දැන් පුතාගේ දවසේ හැටියට මගේ වැඩ බැලන්ස් කර ගන්න ඇත්තටම පුලුවන්.මං බබා ලැබෙන්න ඉන්නකොට කිලෝ අනූවක් වෙනකම් බර වැඩි වුණා. ඒත් දැන් ආයේ මගේ නියමිත බරට මං ඇවිත්.හැබැයි මං බබාට කිරි නොදී සිරුර හදා ගන්න හිතුවෙත් නෑ. හොඳට කාලා බීලා එයාට කිරි දුන්නා.ඉන් පස්සේ තමයි බර අඩු කර ගන්න හිතුවේ.අනික මට හැමදෙයක්ම හරිම පිළිවෙලකට ඕනෑ. ඉතින් මං ගෙදරත් පිළිවෙලකට තියා ගන්නවා.හස්බන්ඩ් ගැනත් බලනවා. මගේ රූපයත් පිළිවෙලකට තියා ගන්නවා. ඕනෑම අම්මා කෙනෙක්ට තමන් වෙනුවෙන් වෙන් කරන්න වෙලාවක් තියෙන්නම ඕනෑ. එතකොට ඒ චෝදනාව කරන්න වෙන්නේ නෑ.

හිමාලිගේ මේ දවස්වල කලා කටයුතු කොහොමද?

මම නර්තන කණ්ඩායමේ වැඩ නම් තවම කරන්නේ නෑ. මොකද මගේ නර්තන ශිල්පිනියන්වත් දරුවෝ වගේ බලා ගන්න ඕන. තරුණ ගෑනු ළමයි නිසා එයාලගේ වගකීම වැඩී. ඒත් මගේ රඟපෑම් වැඩ පටන් ගත්තා. සිහින සමාගම නාට්‍යය මේ දිනවල විකාශය වෙනවා. ටෙලි නාට්‍ය කිහිපයකට සහ චිත්‍රපටියකට ආරාධනා ලැබුණා.කොරෝනා නිසා ඒ වැඩ කල් ගියා. ඉදිරියේදී රූගත කිරීම් ඇරඹෙනවා. ගොඩක් කාර්යබහුල නොවී තෝරා බේරාගෙන හොඳ නිර්මාණ වලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

හිමාලි, ජීවිතය සමබර ලෙස ගෙවන ස්මාර්ට්ලේඩි කෙනෙක් වූ ඔබට අපේ ආදරණීය සුබ පැතුම්!

Related Articles

Don't Miss


Latest Articles