පාට සේදුණු වත්සුණු – 18

0
556

සීයලා ගේ ගෙදර ආලින්දය දෙපැත්තේ කාමර දෙපෙළකි. දැන් මා හා තුෂී හිඳින්නේ සීයලා ගේ ලොකු නිදන කාමරයට අල්ලපු කාමරයේ ය. ඒ පෙළෙහි තව එක කාමරයක් හිස් ව තියේ. ආලින්දයෙහි අනිත් පස වන කාමර තුන ම අම්මලා අල්ලා ගත්තේ, ගෙදර තිබී ගෙනා ගෘහ භාණ්ඩ ඒවායේ පැටවීමෙනි. අත්තම්මා කම්මුලෙහි අතක් ගසා ගෙන විස්සෝපයෙන් කාමරයේ ඇඳ උඩ හිඳ උන්නා ය. මම ඈ ළඟින් හිඳ ඇගේ හිස පිරිමැද්දෙමි. නමුත් ඉන් ඇයට සහනයක්, සැනසුමක් දැනුණා කියා නො සිතමි. සීයා නො සන්සුන් සිතින් කාමරයේ ඒ මේ අත සක්මන් කළේ ය.

“මේ නහින දෙහින කාලෙ අපිට සැනසීමෙං ඉන්න දෙන්නෙ නැති හැටි ඇත්තට මුං…”

අත්තම්මා විටින් විට සුසුම් හෙළමින් ඇගේ සංවේගය පිටතට දැම්මා ය. නමුත් සීයා නම් වචනයක් වුව කතා කළේ නැත.

එදා සුබ දවසක් වූවාට අපට ඒ සතුට භුක්ති විඳිය නො හැකි වූයේ එසේ ය. සීයලා ගේ ගෙදර එතෙක් පැවති ශාන්තිය සුණු විසුණු වී ගියේ ය. අම්මා කොහොමටත් තරමක් අපිළිවෙල හා කළබලකාරී තැනැත්තියකි. අසංකත් සමග එක් වූ විය එය ඝෝෂාවක් බවට පත් ව තිබුණා සේ ය. ඇය නිතර ම ඔහු ට විවිධාකාරයෙන් වැඩ පවරණවා ඇසිණ. ගෙදරදීත් ඇගේ වැඩ වලින් බාගයකට වඩා කළේ මා බව මට සිහි විය. අම්මා කරන්නේ රූපලාවන්‍යාගාරයේ වැඩ පමණකි. ඇය ගෙදර එන්නේ එහි දී ලෝකයේ ඇති බර ම වැඩ කළා බඳු වෙහෙසකිනි. ඉතින් මම සියලු ආවතේව කරමි.

“ගයා…අනේ කෙල්ලෙ ඔහෙට වෙලා ඉන්නෙ නැතුව මට මේ බඩු ටික අස් පස් කර ගන්න පොඩ්ඩක් උදව් වෙන්නකො”

හදිසියේ ම ඇයට මාව සිහි වී තිබිණි.

“ඕන නෑ ගයා යන්න. ප්ලාන්ට් නර්සරි එක පැත්තට යන්න සද්ද නැතුව”

අත්තම්මා රහසින් කුටු කුටු ගෑවේ තරහිනි. අම්මා එක්ක මගේ හිතේත් තරහක් නො තිබුණා නොවේ. ඒ මේ වයස්ගත දෙමාපියන්ට නිදහස් මනසකින් ජීවත් වෙන්නට ඉඩ නො දීම ගැන ය.

තවාන පැත්තෙහි වූයේ තුෂී ය. මම හෙමි හෙමිහිට එහි ගියෙමි. ඇය සිනහවකින් විකසිත වූයේ, මල් පැළ කිහිපයක් ගෙන යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මට දෑසින් පෙන්වමිනි.

“ඔයා අත ගැහුවෙ හරි ම දේට වගෙයි ගයා. දැනටම හතර පස් දෙනෙක්ට වඩා පැළ අරං ගියා. වැඩේ ගොඩ දා ගන්න පුළුවන් වෙයි”

“ඒත් හිතේ සතුට හොරු අරං ගියා වගෙයි තුෂී. මට ඉවසන්න බැරි අත්තම්මලට සතුටෙන් ඉන්න නැති එක ගැනයි”

“මං හිතන්නෙ වැඩි කල් මෙහෙ ඉන්න එකක් නෑ”

කියවන්න :  මනහර ලෝකාන්තයට සංචාරයක්

“ඇයි…”

“කෝසලා ආන්ටිට සැලොන් එකට මෙහෙ ඉඳං කොච්චර දුරද අනේ”

“හ්ම්”

මාත් එහෙම හිතන්නට කැමති වූයෙමි.

කොහොමත් අම්මලා නිසා සිදු වන්නේ මේ ගෙදර මෙතෙක් පැවති නිසංසල බව බිඳ වැටෙන එකයි. අනික අසංක කියන පුද්ගලයා පිළිබඳව මා තුළ ප්‍රසාදයක් ඇති වෙන්නේ ම නැත. ඒ ඔහු මා හා අම්මා අතරට ඇවිත් අප ඈත් කළා යි හැඟීමකින් නම් නො වන බව සහතික ය. අම්මා ට යළි විවාහයක් කර ගන්නට ඇති අයිතිය ගැන මට ප්‍රශ්නයක් ඇත්තේ ම නැත. නමුත් අසංක කියන්නේ ඇයට ගැලපෙන පුද්ගලයා සේ මට නො දැනේ. ඒ ඔහු ඇයට වඩා වසර කිහිපයක් වයසින් බාල නිසාවෙන් නොවේ. අපට ඉන්නට කියා තිබූ නිවසත් නැති වූයේ ඔහු නිසාවෙනැයි හැඟීමක් දැන් දැන් මා තුළ ලියලයි.

මම මුළු හවස් වරුව ම ගෙට නොයා පැළ තවානට වී සිටියෙමි. අලුත් ගේ හදන වැඩ බිමෙන් නික්ම යන්නට පෙර යුගාන්ත තවාන පැත්තට ආවේ ය.
දැන් ඔහු අපේ පවුලේ රහස් පවා දන්නේ ය. ඒ නිසා පිටස්තර පුද්ගලයෙකු කෙරේ නො දැනෙන සමීප බවක් හා ළෙංගතු බවක් ඔහු කෙරේ හදවතට දැනේ.

“මල් අතරෙ ගස් අතරෙ ඉන්න එකත් භාවනාවක් වගේ. ඒකෙං හිත සන්සුන් වෙනව”

මම ලොකු හුස්මක් ගත්තෙමි.

“අනිත් එක වෙන්න තියන දේවල් නතර කරන්න අපි කවුද…සොබා දහමට ඕන විදිහට දේවල් සිද්ද වෙනවමයි. අපි ඉතිං ඒව දිහා උපේක්ෂාවෙන් බලන්න හිත දියුණු කර ගන්න එකයි කරන්න ඕනෙ”

තුෂී හෙමිහිට එතනින් නික්ම ගියේ මට යුගාන්ත එක්ක තනිව ම කතා කිරීමේ අවස්ථාව උදා කරන්නට විය හැක. නමුත් එහෙම තනි වීමක උවමනාවක් මගේ තුන් හිතකවත් වූයේ නැත.

“හැම දේම සිද්ද වෙන්නෙ අපි ඇතුළෙ නෙවෙයි ගයාත්මි. ඔයාට තේරෙනවද මං කියන දේ…කොයි දේත් වෙන්නෙ අපෙන් පිට කියල හිතන්න. අපේ ඇතුළට ගන්න එපා. සාමාන්‍ය කතාවෙදි හිතට ගන්න එපා කියල කියන්නෙත් ඒක මං හිතන්නෙ. පිටිං ඉඳල සිද්ද වෙන දේවල් දිහා බලං ඉන්න. එතකොට ඒක හොඳට පේන්න ගන්නව. ප්‍රශ්නය අපේ ඇතුළට ගත්තහම අපිට මුකුත් පේන්නෑ. අපි විඳව විඳව ප්‍රශ්නෙත් එක්කම ඉන්නව විතරයි. ඒක නිසා ඔයා වටේ තියන ප්‍රශ්න අනුංගෙ ප්‍රශ්න කියල හිතං ඒව දිහා බලන්න. එතකොට ඔයා දකියි විසඳුම් මොනාද කියලත්”

ඒ හඬ මට දැනුණේ ඉසිවර හඬක් සේ ය. ඒ වයසේ තරුණයෙක් ඒ තරම් ගැඹුරු හා අර්ථවත් ලෙස ජීවිතය දෙස බලන්නට ඉගෙන ගත්තේ කොහොමද? කුසල් ව මට වහා සිහි විය. හිත ගිනි තබන අකුණක් මිස ඔහු නම් මෙහෙව් දිව ඔසුවක් වන්නට කොහෙත් ම දන්නේ නැත.

කියවන්න :  ඔබේ මංගල උත්සවය සඳහා නිවැරදි රූපලාවණ්‍ය ශිල්පියෙකු තෝරා ගන්නේ මෙහෙමයි

“ගයාත්මී…”

අම්මා අප දෙසට එන හඬ ඇසිණි. මම වහා යුගාන්ත දෙස බැලුවෙමි. ඔහු ගේ දෙතොලග මඳහසක් විය.

“මාත් මේ යන්න ලෑස්ති වෙලයි මේ පැත්තට ආවෙ. එහෙනං…මං යන්නද…”

ඒ ඇස් වල සංසාරේ හුරු පුරුදු මතකයක් ගැන කතාවක් ලියැවී තිබුණායි මට දැනිණ.

“පරිස්සමෙං යන්න අයියෙ”

ඒ තරම් හැඟීමකින් මා ඒ ආශිර්වාදය මීට පෙර කිසිවෙකුට හෝ කර නැති බව විශ්වාස ය.

“අනේ අනේ…මං බලං ඉන්නව මෙයා බඩු ටික අස් කරන්න එනකල්. හරි ලස්සනයි අම්මට සලකන විදිහ”

අම්මා එහෙම කියමින් මට සමීප වූයේ නික්ම යන යුගාන්ත දෙසට තියුණු බැල්මක් හෙළමිනි.

“මේ කොල්ලට වෙන වැඩක් නැද්ද ඔයා ඉන්න තැන කැරකි කැරකි ඉන්නව මිසක්…”

මම මඳහසක් නගා ගතිමි. ඒ මඳහස අම්මා තුළ කේන්තියක් දනවන්නට ඇත.

“යුගාන්ත අයිය නොහිටියනං මට මේ වැඩේ පටං ගන්න මේ තරං ලේසි වෙන්නෑ”

“ගොනා හැරෙන්නෙ තැඹිලි පැළේටයි කියල අපිනං දන්නව”

“යුගාන්තයිය ගොනෙක් නෙවෙයි කියන එකනං එයා එක්ක සැරයක් කතා කරන ඕන කෙනෙක් තේරුං ගන්නව”

අම්මා නො රිස්සුමෙන් හිස ගැස්සුවා ය. ඊට වඩා යමක් යුගාන්ත ගැන කතා කරන්නට ද ඉදිරිපත් නො වුණා ය.

බලහත්කාරයෙන් අම්මා විසින් අල්ලා ගන්නා ලද කාමර වල බඩු එහෙන් මෙහෙන් අස් කර දී මම පසෙකට වීමි. එදා දවල් ගෙදර කාටත් කෑමක් නො වුණෙන් මම බලයෙන් ම වගේ රෑ කෑම මේසයට අත්තම්මා හා සීයා කැටිව ගියෙමි.

“අපිට කතා කළේවත් නෑ”

අනාරාධිතව ම ඇවිත් අම්මා මේසයට හිඳ ගත්තා ය.

“අසංක…අසංක එන්න කෑම කන්න”

කෑම මේසය වෙනදා සේ ප්‍රීතිමත් බවක් ඉහිලූයේ නැත. අපි නිහඬ ව හා බර වූ හදවත් වලින් කෑම කා ඉක්මනින් කාමර වලට ගියෙමු. කුසල් ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ ය. ඒ වෙලාවේ මම වෙහෙසකර මානසික තත්වයක සිටියෙමි.

“වෙන වෙලාවක කතා කරමුද කුසල්…මට හරි මහන්සියි අද”

මගේ හඬෙහිත් ඒ වෙහෙස ඇතිල්ලී තිබිණි.
“වීඩියෝ එක ඔන් කරන්න”

“අනේ බෑ. මං කිව්වනෙ මට මහන්සියි කියල”
“ඔයාට මාව ඕනෙ නැද්ද…”

ඔහු ගේ ඒ ප්‍රශ්නයෙන් මම අන්දුන් කුන්දුන් වීමි.

“ආ…”

“මං ඇහුවෙ මං නැති වුණාට කමක් නැද්ද කියල…මට හිතෙන්නෙ ඔයාට දැං මං ගැන ගාණක්වත් නෑ වගේ. මං ඔයාට මෙච්චර ආදරේ කළාට”

ඒ ගමන ඔහු එන්නට හදන පොට කුමක්දැයි සිතා ගන්නට මට පහසු වූයේ නැත.

4.7 3 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments