පාට සේදුණු වත්සුණු -19

ජීවිතයෙන් පාඩම් ඉගෙන ගැනීම වඩාත් සාර්ථක ම ඉගෙන ගැනීම ය. එවන් මිනිස්සු සිදු වීම් වලට පිටුපසින් එත හැකි සිදු වීම් ගැන කලින් ම සිතති. ඒ නිසා කුසල් ගේ අලුත් දයාබර වීම අන්ධයෙකු සේ වැළඳ ගන්නට මට සිත් දුන්නේ නැත. අනිත් අතට හොඳට ම රිදුණා ට පස්සේ හිතක වුව සංවේදී සෛල මැරී ටික ටික අසංවේදී වී යන්නේ ය.

“අපි පරණ දේවල් ඔක්කොම අමතක කරමු. ඔයා ලෝකෙ කොතනක හිටියත් ආදරේ කරන්න මට පුළුවන්. අවිස්සාවේල්ල කියන්නෙ මහ දුරක් නෙවෙයිනෙ. සතියකට දවසක්වත් මං ඔයාව බලන්න ඔහේ එන්නං”

ඔහු හැරුණු අලුත් පාර ගැන මට අදහසක් ආවේ එවෙලේ ය.

“මං මේ සන්ඩේ එන්නද…”

“සන්ඩේ බිසී දවසක් කුසල්. මං කිව්වනෙ මං මෙහෙ පොඩි බිස්නස් එකක් පටං ගත්ත කියල”

“ඉතිං මං එතනට එන්නං”

“අපෝ එපා. අත්තම්මල ඉන්නව”

කුසල් කියන්නේ අමුතු ම විදිහක චරිතයක් බව මට සිහි වන්නේ දැන් ය. අප මුණ ගැහුණු බොහෝ අවස්ථා වල, සිසිල් බීම වීදුරුවට පවා මුදල් ගෙවන්නට සිදු වූයේ මටයි. මාරු සල්ලි නෑ කියා ඔහු මගේ අතේ තිබෙන මුදලකින් බයිසිකලයට තෙල් පවා ගසා ගත්තේ ය. ආදරය නිසා ඒ කිසිත් ගැන දෙ වරක් හිතන උවමනාවක් ඒ දින වල නො වුණත්, ඒ දේවල ඇති අසාමාන්‍ය කපටි ලක්ෂණ දැන් මට පැහැදිලි ව දකිත හැකි ය.

අත්තම්මලා ගේ ගෙදරට ඇවිත් වැඩි දවසක් යන්නට පෙර අම්මා උදෑසන රෝග තත්වයන් වන ඔක්කාරය, වමනය, ක්ලාන්ත ගතිය හා ආහාර අරුචිය වැනි ලක්ෂණ ප්‍රකට කරන්නට ගත්තා ය. ඇය ගැබ් ගෙන ඇති බව වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු විය.

මගේ හදවතට දැනුණ හැඟීම් කොයි තරම් සංකීර්ණ ද යත්, මට ඒවා පිළිබඳව විශ්ලේෂණය කිරීමට කිසි දා නො හැකි වනු ඇත. නංගියෙක් හෝ මල්ලියෙක් ගැන කැමැත්තක් කුඩා කාලයේදී වත් මට වූයේ නැත. මා අම්මා ගෙන් ඉල්ලා සිටියේ අයියා කෙනෙක් හෝ අක්කා කෙනෙකි. නමුත් කාලය කොයි තරම් සරදම් කරනවා ද යත්, දැන් මට බාල සහෝදරයෙකු ලැබෙන්නට යයි.
නමුත් මා සිටින්නේ අලුත් සහෝදරයකු ලැබිය යුතු වයසක ද? මට දැනෙන්නේ ම ඥාතිත්වයෙන් පුතෙකු හෝ දියණියක ලැබෙන්නට යනවා මෙනි.
කෙසේ වෙතත් මේ හදිසි තත්වය නිසා අත්තම්මා ට සිය කෝපය හකුළා ගන්නට සිදු විය. දරුවෙකු ලැබෙන්නට හිඳිනා කාන්තාවකට ආදර ගෞරවයෙන් සැලකීම මිනිස් සමාජයේ ස්වභාවයකි. එවැන්නියකගේ හිතට කරදරයක් නොදී සැහැල්ලුවෙන් තැබීම සමාජ යුතුකමක් සේ සැලකෙන්නකි. බස් එකක් වැනි පොදු ස්ථානයක වුව ගැබිණි මාතාවකට විශේෂයෙන් වෙන් වූ අසුනක් වන්නේ ය.

“කෝසලා කන්න ආස දෙයක් තියනවනං කියන්න. ටික දවසක් විවේක ගන්න එක හොඳයි. ඒක නිසා මාසෙකට හමාරකටවත් ඔය සැලුන් එක වහල දාන්න වෙයි”

අත්තම්මා අම්මා ට උපදෙස් දුන්නා ය.

“අපෝ එහෙම ඉඳල මේ බිස්නස් එක කරන්නෙ කොහොමද අම්ම…කස්ටමර්ස්ල කැඩුණොත් කැඩුණම තමයි. වැඩ කරන ළමයට දවස් දෙක තුනක් තනියම කරන්න කියල මං යන්න ඕන”

අම්මා හිටියේ දෙවියන් කියන දෙයක්වත් පිළිපදින සූදානමක නොවේ.

“අනේ මන්දා උඹලට ඉතිං සල්ලි වලට වඩා දෙයක් තියෙනවයැ…ඔය සල්ලි පස්සෙ දිවිල්ල නතර වෙන දවසක අපි කියපු දේවල් මතක් වෙයි”

අත්තම්මා එතෙකින් කර බා ගෙන නිහඬ වූයේ අම්මා සිටි තත්වය නිසා යි සිතමි.

කෙසේ වෙතත් මේ දින කිහිපයේ දී අම්මා වඩාත් හුරතල් වූ සෙයක් මට දැනිණ. ඇය නැති අමාරුවක් ගෙදර අයට පෙන්වූවා ය. සිය ගර්භණී භාවය මත තබා හැම කෙනෙකු ගේ ම අවධානය යොමු කර ගන්නට පමණක් නොව අයුතු ප්‍රයෝජන ලැබීමට ද උත්සාහ කළා ය.

“මං හොඳ වෙලාවට මේ වෙලාවෙ අම්මා ළඟට ආවෙ. එහෙ හිටියනං මං තනියම ඔක්කොම කර ගන්න එපැයි. අත්තම්මගෙයි අක්කගෙයි දෙන්නගෙම උදව් ලබන්න මේ චූටියා පිං කරල තියනවද කොහෙද…”

යන්තමින් වත් ඉදිරියට නෙරා නැති කුස අත ගාමින් අම්මා දෙඩුවා ය. ඇය කියනා චාටු කතා ගැන අවබෝධයක් මට සේ ම අත්තම්මා ටත් වන්නට ඇත. නමුත් අත්තම්මා අම්මා ගේ හිත රිදෙන වචනයක් හෝ කීවේ නැත.

“මං මේ කල්පනා කරන්නෙ ගයාත්මියො…ඉන්න තත්වෙත් එක්ක කෝසලා ව දොට්ට දාන්න මට බෑනෙ. ඒත් මේ කපටි අම්මණ්ඩි ඒකෙන් අයුතු ප්‍රයෝජන අරං අර පෝරිසාදයව මෙහෙම බින්නබස්සව ගනීද කියලයි”

පැළ තවානට වී ටික වෙලාවක් මල් පැළ අත පත ගාමින් උන් අත්තම්මා කීවා ය. මට ඈ ගැන දැනුණේ සිහින් සන්තාපයකි. ජීවිතයේ විවේකය උපරිමයෙන් විඳ ගත යුතු සැඳෑ සමයේ දී දෙමාපියන් ගේ හිත් වලට බරක් වීම දරුවන් දැන හෝ නො දැන කරන බලවත් වරදකි. අපරාධයකි.

“ගේ සින්න වුණානං ඉතිං…ආයෙ එකක් ගත්තොත් මිසක් අම්මට වෙන තැනක් නෑ”

“දැං ඉස්සරහට තවත් ළමයෙක්ගෙ රාජකාරිත් තියෙනවනෙ. මේ යෝදයො මේ විදිහට රටට ලෝකෙට ණය වෙලා කොහොමද කියල මටනං තේරෙන්නෑ”

ඒ දේවල් ගැන හිතන්නට තරම් හැකියාවක් මට වූයේ නැත. කෙසේ වෙතත් මට වූ දේ මගේ සහෝදරයාට නො විය යුතු බව පමණක් මගේ සිත හඬ නගා කියමින් තිබිණ.

“මාත් ඉක්මනට බෝඩිමක් හොයා ගන්න ඕන ගයා. දැං මෙහෙ කට්ටිය වැඩිනෙ කොහොමත්. මං ඉන්න එක අමතර කරදරයක් කියල මං දන්නව”

සිය ප්‍රථම වැටුප ලබා පැමිණි රාත්‍රයේ තුෂී එහෙම කීවේ, යම් මුදලක් අත්තම්මා ට දෙන්න ය කියා මා අත තබමිනි.

“ඔයා වෙන තැනකට යනවනං මේ සල්ලි එතනට ගෙවන්න තියාගන්න. මං හිතන්නෑ අත්තම්මා ඔයාගෙං මේ සල්ලි ගනී කියල”

මම ඒ මුදල් ප්‍රතික්ෂේප කරමින් කතා කළෙමි.

“මේ කාලෙ එක්කෙනෙකුගෙ කෑම බීම වලට වුණත් මාසෙකට කොච්චර වියදමක් දරන්න වෙනවද කියල මං දන්නව. ඒ නිසා මට නිකං කන්න බොන්න දෙන්න අත්තම්මලට බෑ ගයා”

“මන්දා…එහෙනං ඔයා දෙන්න”

මුදල් ගැන නොව අත්තම්මා හා සීයා කණගාටු වූයේ තුෂී වෙන නවාතැනක් හොයා ගන්නට හිතු එක ගැන ය.

“මේ දරුව ඉන්නෙ ගයාගෙ කාමරේමයි. අපිට උදව්වක් මිසක් වචනෙකිංවත් කරදරයක් වෙලත් නෑ. අනික ගයාට ලොකු හයියක් මේ දුව මෙහෙ ඉන්න එක. කෝසලාල වැඩි කල් මෙහෙ ඉන්න එකක් නෑනෙ. ඒක නිසා මේ දරුව ඔන්න ඔහෙ මෙහෙට වෙලා ඉන්න”

මා පුදුම කරවමින් අත්තම්මා කීවා ය.

“නේද පුතාලගෙ තාත්තෙ…”

ඕ සීයා ගේ අනුමැතිය ලබා ගන්නට ද අමතක කළේ නැත.

“නැත්තං…ඉස්සරහට ප්ලාන්ට් නර්සරි එකට වැඩ වැඩි වෙනව කියල මට ශුවර්. එදාට මේ නාකි අපි නෙවෙයි හොඳ යාළුවෙක් තමයි උදව් පදව් කරගෙන ගයා කෙල්ල එක්ක ඉන්න ඕනෙ.”

“හරි. එහෙනං අත්තම්මා මට ගාණක් කියන්න…කෑමටයි බෝඩින් ෆී එක විදිහටයි. “

“අනේ පුතේ ඔයා ඉන්නෙ ගයා එක්ක. අපිට ඒකට කාමර කුළියක් අරං මහමෙර පහළ වෙයිද…විකාර නැතුව ඉන්න. කෑමට ඉතිං…ඔයාට ඕනමනං…කැමති වෙලාවක කන බොන දෙයක් ගෙනත් කන්නකො. අපිට සල්ලි ඕන නෑ.”

මේ, බල්ලන් මරා හෝ සල්ලි හම්බ කරන්නට මිනිසුන් සිතනා කාලයකි. එහෙවු කාලයක අත්තම්මලා වගේ අය කස්තුරි මුවන් සේ දුර්ලභ ය. තුෂී ගේ දෑස් කඳළින් පිරී යනු මම දුටිමි. පහුවදා වැඩ ඇරී එන ගමන් ඇය බෑග් කිහිපයක් පුරවා ගෙදරට කලමනා ගෙන ආවා ය. තුෂී ගේ ආත්ම අභිමානය වෙනුවෙන් මම එය ප්‍රතික්ෂේප කරන්නට නො ගියෙමි.

“කුසල් මොන බටර් පාර ගාගෙන ආවත් අහු වෙන්නෙපා. මේ ගේ තියන තැනක් කියන්නත් එපා”

තුෂී කිහිප වරක් ම මා දැනුවත් කළා ය.

“හමිං බර්ඩ් වගේ කොල්ලෙක්වයි ඔයාට හරියන්නෙ”

“විකාරනං කියන්නෙපා. යුගාන්ත අයිය මට උදවු කරන්නෙ එයාගෙ මනුස්ස කමට”

“හරි ඉතිං. අපිට ඕනෙ මනුස්සකං දන්න කොල්ලෙක් තමයි.”

“දොඩවන්නැතුව ඉන්නව”

“කොල්ලගෙ ඇස් තමුසෙ වටේ කැරකෙන හැටි මං දකිනවනෙ”

“එයා කුසල් ගැන දන්නව. කොල්ලෙක් මෝඩ තීරණ ගන්නෑ. කුණු ගොඩවල් ඇඟේ දාගන්න යන්නෙත් නෑ”

එහෙම කියත්දී මට දුක නො හිතුණා නොවේ. මගේ හිත නො රිදුණා නොවේ. අත්හැර දැමුණ දැරියක ගේ අසරණ ආත්මය මුල්ලකට වී ඉකි බිඳ හඬන හඬ නෑසුණා සේ මම මඳහසක් මුව තවරා ගෙන සිටියෙමි.

“ඒක නෙවෙයි. මං සැලරිත් ගත්ත එකේ…යංද අර ට්‍රිප් එක…”

තුෂී හදිසියේ ඇසුවා ය.

“ට්‍රිප්…”

“හමිං බර්ඩ් එක්ක යන්නං කිව්වෙ…සීතාවක ලස්සන පෙන්නන්න…”

“එයාට කරදර කරන්නෙ මොකටද…”

“ඉන්නවකො”

තුෂී දුරකතනය ගත්තේ යුගාන්ත ට කතා කිරීමේ හදිසි උවමනාවකිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles