පිනි සේල -16

අම්මා කාලයකට පසු සිටියේ සන්තෝසයෙනි. මා සති කිහිපයකට පසු නිවසට පැමිණීම සේම ගෙදර පාළුව නැති වන තරමට හිනා හඬ පැතිර යාම ඇයගේ හිත වසා ගත් අඳුරු වලාකුලු පහව යන්නට හේතු වන්නට ඇත.

ඈ වේලු මාමාගේ බිරිඳ වූ මීනම්මා නැන්දා සමඟ ලහිලහියේ උයමනේ යෙදුණා ය. ඊෂා තේ පානය කළ සැනින් කළේ නාන කාමරයට රිංගා ගැනීම ය.ඒ ඇගේ ක්‍රමය ය. පැයකටවත් එළියට නොඑන ඇයට බාධා කර තේරුමක් නැත.

දිනුකත් අමෝද අයියාත් මිදුලට වී ඈත කඳු දෙස බලාගෙන කියැවිල්ල ක ය. මේ පැය කිහිපය ඔවුන් වඩා සමීප මිතුරන් කරන්නට සමත් වී ඇති හැඩකි. ඒ සහෝදර බැඳීම ඊෂාගේ පවුල වඩා සවිමත් කරනු ඇත. එය මොන තරම් අපූරු ද?

“අක්කේ…”

නංගි මවෙත ආවේ මා කාමරයට වී මිදුලේ ඇවිදින දිනුකත් අමෝද අයියාත් දෙස බලා හිඳිද්දී ය.

“ආ… චොකලට්.”

ඇය මාතින් චොකලට් කැබැල්ලක් තැබුවා ය. ඕනෑම දෙයක් ගාණට සහ මිම්මට මා සමඟ බෙදා ගන්නට පොර ඇල්ලූ, හැකි සෑම විටම මට හොරා තාත්තා ගෙනෙන මසවුළු ගිල දැමූ මගේ සිඟිත්තිය උස්මහත් වී ඇතැයි මට හදිසි හැඟීමක් ඇති විය. මා අත නොඅල්ලා ඇයට මුව පෑවෙමි.

“ඊෂා චොකලට් ගෙනාවද…”

“නෑ.. ලොකු අයියා දුන්නේ..”

මම උඩබිම බැලුවෙමි. ඈ මේ කියන්නේ අමෝද අයියා ගැන ද?

“ඊෂාගේ අයිය??”

“අයියා මට කිව්වනෙ එයාට ලොකු අයියා කියන්න කියලා.පාඩම් කරනකොට කන්න කියලා එක එකේවා පාර්සල් එකක්ම දුන්නේ. අක්කා දැක්කෙ නැද්ද ඒවා ගන්නවා..”

ඇය කියාගෙන යන්නේ සතුටිනි.

“නෑ චූටි.. ඊෂායි මායි වාහනේ හිටියේ..”

“ඒ අයියා හරි හොඳ පාටයි අක්කේ. ඊෂා අක්කගෙම අයියා තමා. මෙලෝ ආඩම්බරයක් නෑ. “

ඇය මිදුලේ සිටින දෙමස්සිනාලා දෙස බලමින් කියෙව්වා ය. එය ඇසුණාක් මෙන් අමෝද අයියා එක්වරම අප දෙස හැරී බැලී ය. නංගී සිනා සී අත වැනුවා ය.

“අම්මත් නිතරම කියන්නේ එයාලා මාරම හොඳ පවුලක් කියලා.. මේ අහන්නකො, ඔයාට මලිඳු අයියා හම්බුණේ නැද්ද එහෙදි..”

කියවන්න :  වෙජිටේරියන් අයට ගැළපෙන බිම්මල් බිරියානි හදමු..

නංගි අසද්දී මා ගැස්සී ගියෙමි. අප අතර දෙවසරකට මඳක් වැඩි පරතරයක් තිබේ. එය රහස් බෙදා ගැනීමට මහා පරතරයක් නොවන බව සැබෑවකි. එහෙත් මොනම කාරණාවක් නිසාවත් නංගි සමඟ මලිඳු ගැන මගේ සැබෑ හැඟීම් කියන්නට මට සිත් දී නැත.

“අම්මට පොඩි සැකයක් තියෙනවා අක්කයි මලිඳු අයියයි යාලුයිද කියලා. මගෙන් ඇහුවා. මං දන් නෑනෙ.. මලිඳු අයියා හිටි ගමන් කොළඹට මාරු වුණු නිසා වෙන්න ඇති..”

ඇය අඩ සිනා සහිතව හෙළි කරන්නී ය. පරිසරයේ සීතලට නොව හිසේ ලේ සිඳී ගියා මෙන් දැනෙන හැඟීම මා ගල් කරන්නට සමත් ව තිබුණි.

“මේ දවස්වල මලිඳු අයියා මට වට්ස් ඇප් චැට් කරනවනෙ අක්කා.. නිතරම අහනවා පාඩං කරනවද කියලා.. රෑට පාඩම් කරනකොට එහෙම..”

“ඔයාගේ නම්බර් එකක් එයාට කොයින්ද…”

මලිඳු සම්බන්ධ කාරණාවලදී සහෝදරිය සමඟ වුව ඉරිසියා හිතීම වළක්වා ගන්නට මට නොහැකි ය.

“ඇයි අක්කේ.. දවසක් අයියා මගෙන් ඉල්ලා ගත්තනෙ..”

සැබෑවකි. උවමනා මොහොතක අමතන්නට යැයි මලිඳු නංගිගේ දුරකථන අංකය ඉල්ලා ගත් හැකි මට සිහි විණි.

“ෆෝන් එකේම එල්ලිලා ඉන්න එපා මැට්ටියේ ඒ වුණාට. මෙඩිසින් යන්නම ඕනෑ කියන ළමයනෙ ඔයා…මේ මාසෙ දෙකත් මහන්සි වෙන්න..”

මා කාමරයෙන් එළියට ආවේ එසේ කියාගෙන ය.

“ඔක්කොම පැත්තකින් තියලා මෙහෙ පදිංචි වෙන්න හිතනවා පිනී…”

දිනුක අම්මාගේ මල් ගසකට ජංගමයේ කැමරාව මානමින් කීවේ ය.

“මෙහෙ එමු කිය කියා හිටියට අපිට එන්න වුණේ ෆියුනරල් එකටනෙ.. ලස්සන බලන්න වෙලාවක් තිබ්බේ නෑ අයියේ.. අද නම් පිස්සු වගේ.. මට පිනී ගැන ඉරිසියාවයි..”

දිනුක කියවයි. අමෝද අයියා හිනැහී මවෙත හැරුණේ ය.

“මෙහෙ කාලගුණේ උපරිම ප්‍රයෝජන ගන්න ඕන එකක් පිනී.. මං හිතනවා ඔයාලා වුණත් ඒ ප්‍රයෝජනේ හරියටම අරන් නෑ කියලා.. මෙහෙ හැම අඟලකම හොඳ වගා ක්‍රම අත්හදා බලන්න පුලුවන්..ඕර්ගනික් එළවලු පළතුරු කියන්නේ මිනිස්සු වහ වැටෙන දෙයක්නෙ දරුවෝ..”

තාත්තාට ඕනෑ හැටියට ගොවිපොළ කරගෙන ගියා මිස අප එයට අත පෙව්වේ නැත. ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු රැගෙන ගියේ ද ඔහු ය. තේ ආදායම ද එළවළු ආදායම ද අපට ජීවිතය පහසු කළ අතර නවීන ක්‍රම ගැන ලොකු අදහසක් අපට අවශ්‍ය වූයේ ම නැත.

කියවන්න :  හැඩ වැඩට වගේම නිරෝගී වෙන්න - ගිතෙල්

“සැලඩ් ප්ලේට්ස් , ෆෘට්ස් කප්ස් එහෙම මේ එළවලු වලින් කරානම් පිනීලා කෝටිපතියො වෙනවා ශුවර්..”

දිනුක මට එසේ කියාගෙන මිදුලේ කෙළවරට ගියේ ය.ඊෂා ජෑම් පේර ගසකට ඇස අලවාගෙන එතැන ය.

“ඌ මගෙ අයිඩියාස් උගේ වගේ කියන ලස්සන..”

අමෝද අයියා හිනැහෙමින් උද්‍යාන බංකුවකට බර විය.

“පිනී… මං කියන්නමයි හිටියේ. පිනී තාත්තා වගේ.. අර සාලේ තිබුණු ෆොටෝ එකේ තාත්තා ඔයා වගේමයි..”

ඔහුට එය නොපවසන්නට තිබිණි. දැන් මට කඳුලු නවතාලිය නොහැක.

“අඬන්න දෙයක් කීවද ළමයෝ මං..තාත්තා වගෙ ඉන්නේ ඔයා. නංගි හෙමින් ඉගෙන ගත්තාවේ.. ඔයා ඩිග්‍රි එක කරන ගමන්ම මේ වැඩවලට බහින්න..”

මට ඔහුට කියන්නට ඊට වඩා වැදගත් කාරණාවක් ඇත. මා කාමරයෙන් එළියට ආවේ ඒ ගැන අමෝද අයියාට කියන්නට ය.

“අයියා.. අර මලිඳු… එයා එන්න පුලුවන් හෙට විතර මෙහෙ.. ඒත් අයියා අර වගක් එයා එක්ක කතා කරන්න එපා..”

මා ඒ වචන ගැට ගසා ගත්තේ අමාරුවෙනි. අසීරු වයිවා එකක් වුවත් ඊට වඩා ගොඩ දා ගන්නට මට හැකි වී ඇත.

“මම ඇත්තටම නංගි ඒ කතාව කිව්වෙ..ආදරේ කියන්නේ මහ කෙහෙම්මලක්. මං නම් ජීවිතේට ආයේ ඔය කරුමෙ පැටලෙන එකක් නෑ.ඒත් ඔයාලා ඒකෙ පැටලිලා විඳවනවා බලන්න මම ආස නෑ. ඒත් නංගි අකමැති නම් මං එහෙම කතා කරන් නෑ.. ඔය ප්‍රශ්න ගැන නොහිතා ඔයා ලස්සනට ජීවත් වෙන්න.. අපේ නංගි වගේම මටත් පුලුවන් ඔයාට උදව් කරන්න…”

ඔහුට දිය හැකි පිළිතුරක් ගැන හිතද්දී කෑමට එන්නැයි හඬ ගසමින් නංගී මිදුලට බැස්සා ය.දහවල් කෑම ගන්නා වෙලාව පසුවෙමින් තිබීම නිසා අප සියල්ලන්ම සිටියේ බඩගින්නෙනි. සාලයට පිවිසෙද්දී මට උන්හිටි තැන් අමතක ව යන බව දැනිණි. වේලු මාමාගේ පොඩි උන් රෑන රූපවාහිනියේ ඇස අලවාගෙන ය. තිවංකි එහි වැඩසටහනක කැකිරි පලමින් සිටියා ය.

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments