කියවන්න පොතක් – නිෂ්ක්‍රාන්තිය

2020 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මානය දිනා ගන්නේ සුනේත්‍රා රාජකරුණා මහත්මිය ලියූ නිෂ්ක්‍රාන්තිය කෘතිය.

නිෂ්ක්‍රාන්තියක් කියන්නේ අහිමි වීමක්, නික්ම යෑමක්. අපි ඕනෑම කෙනෙකුගේ ජීවිතවල නිෂ්ක්‍රාන්ති තිබෙනවා.අපට සමුගන්නට සිදු වෙන තැන්, සමුගත යුතු තැන් ඕනෑ තරම් තිබෙනවා.
නමුත් අපේ ජීවිතවලින් කවුරු හරි අතුරුදහන් කළහොත්, පිටුවහල් කළහොත් එයත් නිෂ්ක්‍රාන්තියක්. කැමැත්තෙන් වගේම අකමැත්තෙන් නික්ම යාමට සිදුවීම, බලහත්කාරයෙන් අහිමි කිරීම මේ සියල්ල ම නිෂ්ක්‍රාන්තීන්.

මේ කෘතිය එවැනි නිෂ්ක්‍රාන්ති කිහිපයක එකතුවක්. අතුරුදහන් වූ, තමන්ගේ ජීවිතයේ සමහර කාල වකවානු සැඟවූ, ජීවිතයේ සමහර කොටස් අහිමි වූ, ඉන්පසු සැබෑවටම නික්ම යන්න උත්සාහ කළ මිනිසුන් කිහිප දෙනෙකුගේ කතා ඔවුන්ගේ පැත්තෙන් ලියා තැබීමක්.

මතකය අහිමි වූ කුමුදිතා පමණක් නෙවෙයි තවත් චරිත කිහිපයක් ම ජීවිතය යනු කුමක්දැයි මේ කෘතිය පුරා අපට වටහා දෙන්නට උත්සාහ කරනවා.

මේ කෘතිය ඔබ කියැවිය යුත්තේ මෙය ස්වර්ණ පුස්තක අවසන් කෘති අතරට එක් වූ නිසා නොවේ. සම්මානයට පාත්‍ර වූ නිසා ද නොවේ. කාන්තාවන්ගේ හැඟීම් ගැන සුනේත්‍රා මහත්මිය ඇගේ සෑම කෘතියක දී ම ඉතා අපූර්ව ලෙස විස්තර කරන නිසා ද නෙවෙයි.අපි හැම කෙනෙකුගේ ම ජීවිතය තුළ විවිධ නිෂ්ක්‍රාන්ති තිබෙන නිසා ද නෙවෙයි.

“මරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද, නීතිය ද නිෂ්ක්‍රාන්තියට පත්වන්නට ඉඩ දිය නොහැකි ය.”

අන්න ඒ පැහැදිලි සත්‍යය තේරුම් ගන්නට නම් ඔබ මේ කෘතියත් ඔබේ පොත් රාක්කයට එකතු කර ගත යුතුම වෙනවා.

නිෂ්ක්‍රාන්තිය සරසවි ප්‍රකාශනයක්.

Related Articles

Don't Miss


Latest Articles