පළිඟු මන්දිර – 2

ඒ හැන්දෑවේ ම කිසල් ආයේ අවන් හල වෙත පැමිණියේ ය. සිය කාරියට අවන්හලේ යුවතිය මේ තරම් සරිලන බව දැනෙන්නේ ඇයි දැයි කියා වුව ඔහු ට වැටහෙන්නේ නැත. මෙහෙම අදහසක් පවා ඔහු ගේ හිතට කොහෙන් පහළ වූවා ද? කෙසේ වෙතත් මේ වගේ අභියෝගයක් බාර ගන්නට නන්නාඳුනන කෙල්ලක කැමති වේවිද කියා කවුරු නම් දනිත්ද?

ඒ වෙලාවේ පළිඟු එහි වූයේ තනිව ම ය. හෙට දිනය සඳහා අවශ්‍ය කෙටි කෑම වර්ග කිහිපයක් පිළියෙල කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල දී ගැනීමට වත්සලා කඩ පිලට ගොස් සිටියා ය. ඔහු ව ඈ සිය එක ම බැල්මෙන් හැඳිනුවේ නළලත වූ තුවාලය නිසා ම නොවේ. මීට කලිනුත් කොහේදී හෝ ඔහු දැක පුරුදු ඇති බවට මතකයක් ඇයට වේ. නමුත් ඒ කොහිදී දැයි සිතා ගත නො හැකි ය.

කිසල් කෙලින් ම ශීතකරණය වෙත ගොස් පැණි බීම බෝතලයක් කඩා ගත්තේ ය. ඔහු ඊට මුව තියා බෝතලයෙන් බාගයක් ම හිස් කළ ආකාරයේ වූ කඩවසම් පෞරුෂය දෙස යුවතිය නෙතු පිය නො සලා බලා සිටියා ය. ඔහු ආඩම්බර කාරයෙක් බව පළිඟු ට සිතා ගත හැක. උදේ ඔහු නික්ම ගියේ තුවාලයට බෙහෙත් දැමීම ගැන ඇයට ස්තූති කරන්නේවත් නැතිව ය.

“ඔය බොට්ල් ඩ්‍රිංක්ස් නිතර බොන්න හොඳ නෑ. දන්නවද ඕවගෙ සීනි කොච්චර දිය කරල තියෙනවද කියල…දැං කාලෙ ඉස්කෝල ළමයිගෙං වැඩි කොටසකට දියවැඩියාව. ඩයබිටික් කියන්නෙ මුළු ජීවිතේම නාස්ති කරල දාන ලෙඩක්”

ඇය බණ දේශනාවට දක්ෂය කියා කිසල් ට සිතිණ. හොඳ නැත්නම් මේවා විකුණන්නේ ඇයි කියා අසන්නට ඔහු ට සිත් විණි. නමුත් මත් පැන්, මත් ද්‍රව්‍ය හා දුම් වැටි පවා නරකයි කියමින් විකුණනවා නොවේදැයි ඊළඟ මොහොතේ ඔහු  සිතුවේ ය.

“සර් මොනාත් කනවද…”

“බර්ගර් එකක් ගේන්න”

මේ කොල්ලා ශරීර ගත කරන්නේ ම සිරුරට අහිතකර දේවල් යයි සිතුණත්, පළිඟු තව දුරටත් ඒ ගැන කතා නො කළා ය.

“මට ඔයාගෙං දෙයක් අහන්න ඕන”

ඇය පිඟාන මේසය මත තබා හැරෙනකොට ම කිසල් කතා කළේ ය. පළිඟු වහා යළි හැරී බැලුවා ය. ඔහු ගේ මූණේ වන්නේ බරපතල කතාවක් කියන්නට යනවා වැනි ස්වභාවයකි. ඇය ඔහු ට පසෙකින් වූ පුටුව ඇද ගෙන හිඳ ගත්තා ය. සාමාන්‍යයෙන් ලජ්ජාශීලී හෝ බියගුළු කුළෑටි කෙල්ලක නො වන පළිඟු ගේ සිත්හි පවා මඳ ගැස්මක් ඇති කරන්නට කිසල් ගේ මේ හැසිරීම හේතු වී තිබිණ.

“තනියමද ඉන්නෙ දැං…මං අහන්නෙ…අම්ම නැද්ද…”

“අම්ම නෙවෙයි. පුංචා…”

“කවුරු හරි. එයා නැද්ද දැං..”

“පුංචා මාකට් එකට ගියා”

“ඒක හොඳයි. අපි කෙළිංම කතාවට බහිමුකො. කැම්පස් සිලෙක්ට් වෙන්න සෙඩ් ස්කෝ එක මදි වුණා කිව්ව නේද…”

“ඔවු අප්ප. සෙකන්ඩ් ෂයි කරන්න හිත හදාගන්න බැරුව ඉන්නෙ. පාඩං කරපු දේවල් ආයෙම පාඩං කරන්න වෙනව කියන්නෙ….අයියෝ…”

අත් දෙක මේසය මත නවා තබා පළිඟු ඒ මත නිකට තබා ගත්තා ය. ඇගේ දෙතොල් ඇද වි තිබුණේ සාප්පු ඉදිරියේ නටවන කවටයෙකු ගේ මෙනැයි කිසල් සිතුවේ ය. ඒ සිතිවිල්ල ඔහු ගේ දෙතොල් මඳහසකින් ඇද කරන්නට හැදුවත්, යෞවනයා ඊට ඉඩ දුන්නේ නැත.

“ඕකේ. මේ කැම්පස් එකට මං ස්කොල් එකක් අරං දෙන්නං”

“ආ…”

හී ගසක් සේ යුවතිය නැගී සිටියා ය. ඉහළට ඇදගත් හුස්ම පහළ හෙළන හැටි ඇයට අමතක වූ තරම ය. ඇගේ දෑස් විසල් ව වටකුරු වී තිබිණ.

“හැබැයි කොන්දේසියක් තියෙනව”

“කො…කොන්දේසි…අ….ප්‍රශ්නයක් නැ. ඕන දේකට එකඟයි. ස්කොල් එක හම්බ වෙනවනෙ…”

“ඉස්සෙල්ල කොන්දේසිය මොකද්ද කියල තේරුං අරං වැඩේ කරන්න එකඟයිද කියල බලන්න. ඔයා ඇග්‍රි නං…වැඩේ කෙරුණා කියල හිතාගන්න”

“හරි…මොකද්ද ඔය කොන්දේසිය…”

“ඔයාට සිද්ද වෙනව මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ ඇක්ට් කරන්න”

“හ…හ්…”

නැවතත් පළිඟු ගේ හුස්ම හිර විය. ඇය කිසල් දෙස බලා උන්නේ පාලනය කර ගත නො හැකි විශ්මයෙනි.

‘සල්ලි තියෙන පවුල් වල කොල්ලන්ට ඇත්තට ම පිස්සුද’ යන ප්‍රශ්නය මේ වෙලාවේ ඇගේ හිත පුරා විය.

“හරි. ඒත් ඇයි එහෙම කරන්නෙ…”

පළිඟු කියන්නේ ලෙහෙසියෙන් අනුන්ගේ කොන්දේසියකට එකඟ වන විදිහේ කෙල්ලක නොවේ. ඇය ඕනෑ ම දෙයක් ප්‍රශ්න කළා ය. ඕනෑ ම දෙයක් පිළිබඳ ව තර්ක කළා ය.

“මේ මේ…අනවශ්‍ය ප්‍රශ්න බෑ. කොන්දේසිය ඒකයි. එකඟනං ස්කොල් එක ලැබෙයි”

පෞද්ගලික උසස් අධාපන ආයතනය දෙස බැලූ පළිඟු ට හීල්ලිණ. මේ වගේ තැනක ඉගෙන ගන්නා එකක් ගැන ඇය හීනයක්වත් දැක නැත. ඉටු කර ගන්නට බැරි දේවල් ගැන හීන මැවීම කාලය අපතේ හැරීමකැයි ඈ සිතු බැවිණි. නමුත් ඉරණම කියන්නේ පුදුමාකාර දෙයකි. විශ්ව විද්‍යාලයට නො තේරීම ගැන හදවතින් ම දුක් වෙමින් සිටි, අනාගතයේ දී තමන් ගේ ඉරණම කුමක් කරනු ඇත්දැයි සිතමින් උන් ඇගේ දෙපා පා මුලින්, ඉරණම ගෙනත් තැබුවේ අමුතු යෝජනාවකි. ඇත්තට ම මේ නම් අමුතු ම දෙයකි.

“ඕකේ. කල්පනා කරල හොඳ ඩිසිෂන් එකක් ගන්නකො”

මේසය මත වූ ඇගේ ජංගම දුරකතනය අතට ගත් කිසල්, ඉන් සිය දුරකතනය අංකනය කළේ ය. ඔහු ගේ ජංගමය හැඬවෙන්නට වූයේ ය.

“ඔය මගෙ නම්බර් එක. කීයද ගාණ…”

කියා අසමින් නැගිට ගත් හෙතෙම, බිල ගෙවා අවන්හලෙන් නික්ම ගියේ සුළඟක් පරිද්දෙනි. පෙනහලු වල පිරී තිබූ හැම වායු බිඳක් ම සුසුමක් කොට ඇද පිටතට දැමූ පළිඟු, කිසිත් නිරවුල් කර ගත නොහී බලා ගත් වන බලා සිටියා ය.

ඇය වත්සලා වෙත පැමිණියේ අවුරුදු හතක පැටි වියේ දී ය. වත්සලා යනු පළිඟු ගේ මව් වන වසන්තා ගේ නැගණියයි. වසන්තා ට එක දිගට කෙල්ලන් තිදෙනෙකු ලැබුණ අතර සිව් වැන්නා ව උපන්නේ කොල්ලෙකි. පිරිමි පුතෙක් ලැබීම වසන්තා ගේ සේ ම පළිඟු ගේ පියා ගේත් හීනයක් වී තිබුණෙන් ඔවුන් ට එය අතිවිශාල ප්‍රීතියක් වුණත්, ගෑනු දරුවන් තිදෙනෙකු ළඟට පිරිමි දරුවෙකු ඉපදීම පවුලට දොස් සහිත වන සිදුවීමක් බව බොහෝ දෙනා කීහ. වැඩිමල් ගැහැනු දරුවා වන පළිඟු ව පවුලෙන් පිටමං කළ යුතු වූයෙන්, ඒ වෙත්දීත් විවාහ වී දරුවන් නො මැති ව උන් වත්සලා පළිඟු ගේ වගකීම බාර ගත්තා ය.

එ් වයසේදීත් පළිඟු අනිත් දැරියන්ට වඩා දේවල් වටහා ගත්තා ය. තමාට වඩා නංගිලා දෙන්නාට අම්මා වැඩි ආදරයක් දක්වනවායි සිතමින් ද ඒ ගැන තැවෙමින් ද සිටි ඕ, මල්ලි ගේ පැමිණීමෙන් පසු ඇය ව පවුලෙන් නෙරපා හරින්නට ගත් තීරණය ගැන පීඩිත ව සිටියා ය. නමුත් වත්සලා පුංචි ළඟට යන්නට වන එක ඇයට තිබූ ලොකු ම සැනසුම විය. වත්සලා ගේ ආදරය, කවදටත් වසන්තා ගේ ආදරයට වඩා පළිඟු ට දැනී තිබූ බැවිනි. 

බාප්පා මිය ගිය පසු පුංචි වෙනත් විවාහයක් ගැන නො සිතුවේත් තමන් නිසා බව පළිඟු හොඳින් දනී. අම්මා ගැන නො දැනෙන ආදර ගෞරවයක්, අදත් ඇයට වත්සලා ගැන දැනේ.

“කෙල්ලො තුන් දෙනෙක්ට පස්සෙ කොල්ලෙක් ලැබුණොත් ලොකු කෙල්ලව පවුලෙං අයිං කරන්න වෙන බව දැනගෙනනෙ ඒගොල්ලො තව ළමයෙක් හැදුවෙ. ඒ කියන්නෙ මාව පවුලෙං අයිං කළාට කමක් නැති නිසානෙ”

මේ මොහොතේ ත් ඇගේ උගුර රිදී ඇස් කෙවෙනි දැවෙන්නට වූයේ ය. රහසිගත ව නිරන්තර විඳින මේ වේදනාව ඇහැට කඳුළක් ගෙනෙන්නට පෙර පළිඟු කිසල් ගේ දුරකතන අංකය සිය දුරකතනයේ ගබඩා කර ගත්තා ය.

කිසල් ගෙදර ගියේ ද්වේශ සහගත සතුටක් විඳිමිනි. ඔහු අක්ෂි ට පෙම් කළේ අවංකව ය. ඈ ද්‍රෝහී වූයේ එවන් ඔහු ට ය. දැන් දැන් කිසල් ට දැනෙන්නේ දුකක් මත් නොවේ. ඒ තරහවකි. ඒ තුළ පළි දැරීමේ චේතනාවක් ද වන බව ඔහු පිළි ගත යුතු ය. පළිඟු වගේ හුරුබුහුටි කෙල්ලක යොදාගෙන ඔහු සපුරා ගන්නට හදන්නේ ඒ පලි දැරීමේ චේතනාව නො වේද?

“අයිය”

කිසල් ගේ නැගණිය වර්ෂා ඔහු ගේ කාමරයේ දොරට ගැසුවා ය.

“එන්න”

දොර ඇරගෙන කාමරයට ආ වර්ෂා මවා ගත් ව්‍යාජ සිනහවක් පෙන්වා යහන මත හිඳ ගත්තා ය.

“ඇත්තටම ඇයි අයිය ඔයා අශේන් එක්ක රණ්ඩු වුණේ…මට ඇත්තම කියන්නකො”

“ඌ මං හිතුවටත් වැඩිය ජරා යකෙක්”

කිසල් ගේ මූණ රතු වූ තරමට ඔහු ගේ හිතේ වන කේන්තියේ තරම ගැන වර්ෂා ට සිතා ගත හැකි ය.

“ඉතිං ඔයා අම්මිට කියන්නකො. ඒ මිනිහ මට හරියන්නෙ නෑ කියල”

“මං ඕක වෙන්න දෙන්නෑ. ඔයත් නංගි කිසිම වෙලාවක අශේන්ට කැමති නෑ කියන එකේම ඉන්න. බලමුකො අම්මට මොනාද කරන්න පුළුවන් වෙන්නෙ කියල”

“අම්මි සල්ලි වලට මාව පාවල දෙන්න හදන්නෙ ඇයි කියල මට හිතා ගන්න බෑ. අනික අපිට සතුටෙං ජීවත් වෙන්න ඇති තරං සල්ලි අම්මියි තාත්තියි හම්බ කරනවනෙ අයිය”

“තන්හාව”

කිසල් එතෙකින් නිහඬ වූයේ ය. මේ කිසි සේත් ප්‍රශ්න ඇති කර ගත යුතු වෙලාවක් නොවේ. එහෙම වුණොත් ශිෂ්‍යත්වය ගැන අදහස අත්හැර දමන්නට අම්මා පෙළඹෙන බව කිසල් නිසැකව ම දනී.

ශිෂ්‍යත්වය ගැන කතාව පළිඟු වත්සලා ට කීවා ය. නමුත් අර අරුම පුදුම කොන්දේසිය ගැන නො කීවා ය.

“ඇයි එහෙම කරන්නෙ…මේ එක පාරක් විතරක් දැකපු කෙල්ලෙක්ට කැම්පස් එකේ ශිෂ්‍යත්වයක් දෙන්නෙ…”

වත්සලා සිය සැකය නො සැඟවූවා ය.

“මං තුවාලෙට බෙහෙත් දාද්දි කියෙව්වනෙ…අපි කැම්පස් යන්න බැරුව ඉන්න එක ගැන. එයා ඒ ගැන හිතන්නැති”

“ඒත් තුවාලෙකට බේත් ටිකක් දාපු පළියට කැම්පස් එකකට ස්කොල් එකක්. මෙතන මොකක්හරි තියෙන්නම ඕනෙ පළිඟු”

“ඉතිං පුංචා…මොකක් තිබුණහම මොකද…අපිට ඕනෙ ස්කොල් එකනෙ”

පළිඟු තෙබරබාමින් කියා ගත්තා ය. වත්සලා ඈ වෙතට හෙළුවේ දැවී අළු වී යන බැල්මකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...