පළිඟු මන්දිර – 3

උසස් අධ්‍යාපන ආයතනය ට ලැබෙන්නට යන ශිෂ්‍යත්වය ගැන කීවාට, ඒ වෙනුවෙන් හිලව්වට කිසල් බලාපොරොත්තු වෙන්නේ කවරක් දැයි පළිඟු වත්සලා ට නො කීවා ය. ඒ ගැන දැන ගත හොත් වත්සලා කිසි සේත් ඔය ශිෂ්‍යත්වය පිළි ගන්නට ඉඩ නො දෙන බව පළිඟු නියත වශයෙන් ම දැන උන්නා ය. මේ වගේ අවස්ථාවක් කිසි සේත් ආයේ කිසිදු දවසක නො ලැබෙනු ඇත. ඉරණම එහෙම දේවල් කරයි. එසේ ම ඉරණම එබඳු අහඹු අවස්ථා යළි යළි අප හමුවට නො පමුණුවන්නට වග බලා ගනී. එබැවින් මේ මග නො හැර ගත යුතු මාහැඟි අවස්ථාවකැයි පළිඟු සිතුවා ය. 

නමුත් හදවත තුළ වූ නො ඉවසිලිමත් උද්‍යෝගය පිටතට නො දමා ඉන්නට ඇයට ඕනා විය. ජංගම දුරකතනය අතට ගෙන කිසල් ගේ අංකය දෙස බලා ගෙන ද එය අතැඟිල්ලෙන් පිරිමදිමින් ද සිටියත්, ඒ ඇමතුම ගන්නට, ගෙන ඈ ඒ කොන්දේසියට එකඟ බව කියන්නට තරම් ශක්තියක් තවමත් ඇයට උපදවා ගත නො හැකි වූයේ ය.

රාත්‍රිය වෙනදාට වඩා නිශ්චල බව පළිඟු ට දැනේ. කුඩා ගෙමිදුල වන වෙල්ලෙයිකොලොම්බන් අඹ ගහ යට ඉදි කොට ඇති කොංක්‍රීට් බංකුව මතට වී ඕ අනන්ත අහස දෙස බලා උන්නා ය. ආලෝක වර්ෂ ගණනකට පෙර මිය ගිය තරු කෝටි ගණනක් ඔය අහසෙහි වන බවත්, මිනිසුන් ගේ ඉරණම ලියන්නට මිය ගිය තරු සමත් නො වන බවත් බොහෝ අය කියනු ඈ අසා තිබේ. නමුත් ඉරණම කියා යමක් තිබෙන බව පළිඟු ට දැනේ. ඉරණම හා කෙනෙකු ගේ යටි හිත අතර යම් සම්බන්ධයක් නො තිබිය හැකි ද?

උසස් පෙළ නිම වූ ගමන් ඈ සහභාගී වූ මනෝ විද්‍යාව හා උපදේශනය පිළිබඳ පාඨමාලාවේදී, යටිහිත යනු මතක ගබඩාවක් බව උගත්තා ඇයට මතක ය. මේ භවයේ පැරණි මතකයන් පමණකුදු නොව පෙර අත් භවයන් හි මතකයන් ද යටි හිත තුළ සකසුරුවමට තැන්පත් වී තියේ. මෝහනය වැනි මනෝ විද්‍යාත්මක ක්‍රියාවලියකින් අවදි කෙරෙන්නේ එකී යටි හිතයි. හිත දියුණු කිරීමේ භාවනාවන් වැඩීමේදී, පරචිත්ත විජානන ඥාණය, පුබ්බේ නිවාසානුස්සති ඥාණය,  ආසවක්ඛය ඥාණය වැනි ඉහළ තළ වලට මිනිස් සිත ගෙන යා හැකි බව බුද්ධ ධර්මයේ ඉගැන්වේ.

ඒ අනුව අපේ ඉරණම සැලසුම් කිරීමේ කාර්යයේදී විශ්වයත් සමග අපේ ම යටි හිත සම්බන්ධ වී ක්‍රියා කරනවායි නො සිතිය හැකි ද?

මේ අඹ ගස යට ම හිඳ, කෙසේ හෝ විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනයක් ලබන සිහිනයක ඇය නිමග්න වූයේ ජාතික විශ්ව විද්‍යාලයක සිහිනය බොඳ වී ගිය දා සිට ය. කොහෙත් ම සිතා ගත නො හැකි ලෙස, ඇගේ පන්තියේ ගැහැනු ළමයෙකු ට කිසි දා සිහිනෙන් හෝ සිතිය නො හැකි විදිහේ උසස් අධ්‍යාපන ආයතනකට පිවිසුම් දොරටුව මේ ආකාරයෙන් විවර වී තිබෙන්නේ, සොබා දහමේ හා ඇගේ ම යටි හිතේ ක්‍රියාවලියක් ඔස්සේ සිදු වුණ ඉරණම ලියවීමක් මගින් යයි නො සිතිය හැකි ද? 

“ඒත් මං මොකටද එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ රඟපාන්නෙ”

පළිඟු ගේ උඩු හිත පුරුදු අහංකාරයෙන් ප්‍රශ්න කළේ ය. 

“සමහර දේවල් ලබා ගන්නනං සමහර දේවල් කරන්නම වෙනව”

යටි හිත හීන් හඬින් මුමුණනවා ඇයට ඇසිණ.

“මං කැමතියි ඒ කොන්දේසියට”

හිත වෙනස් වෙන්නට කලින් පළිඟු කිසල් ගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යැව්වා ය. එසැනෙන් කිසල් එය කියවූයේ ය.

ඔහු හිටියේ කාමරයෙන් පිටතට විවර වන සඳැල්ලෙහි වේවැල් පුටුව මත වැටී ගෙන හුදෙකලා කල්පනා ලෝකයකයි. කවදත් කිසල් මානව සම්බන්ධතා අතින් දුර්වල කමක් පෙන්වූයේ ය. ඉස්සර ම ප්‍රාථමික පන්ති වල දී දෙමාපිය රැස්වීම් වලට ගිය සනත් ට හෝ මොරීන් ට හෝ නිතර ම අසන්නට ලැබුණේ කිසල් කතා කරන්නේ නැත ය යන චෝදනාවයි. ළමා විය ගෙවා යොවුන් වියට එළඹි පසු වුව ඔහු මිතුරන් ඇති කර ගැනීම අතින් දක්ෂයෙකු වූයේ නැත. පන්තියේ බොහෝ සිසුන්, ඉගෙනීමෙහි දක්ෂයෙකු වූ කිසල් ගේ මිත්‍ර සමාගමය පැතුවත්, කාලයක් තිස්සේ ම ඔහු මිතුරෙකු ලෙස ළඟින් ඇසුරු කළේ උතුම් ව පමණි. අශේන් ද පවුලේ හිතවතුන් වූ නිසා කිසල් සමග සමීප හිතවත් කමක් පැවැත්වූයේ ය. තාරුණ්‍යයේ හැඟුමන් වලට නතු ව ඔහු මෙතෙක් පෙමින් බැඳී සිටියේ අක්ෂි සමග පමණකි. එහෙව් එකේ පළිඟු නමින් හැඳින්වෙන, එක දවසක් පමණක් දැක, එක වතාවක් පමණක් කතා කොට ඇති කෙල්ලක සමගින් පෙම්වතෙකු ගේ භූමිකාවක් රඟ දක්වන්නේ කෙසේද කියා තවමත් කිසල් ට සිතා ගත නො හැකි ය.

“ඕකේ. වැඩේ ඒ විදිහට සිද්ද වෙයි”

කිසල් පළිඟු ට පිළිතුරු යැව්වේ ය.

සියල්ල ඔහු සැලසුම් කළ පරිදි සිදු විය. ඊළඟ සති ඇරඹුමේ සිට පළිඟු ට අධ්‍යයන කටයුතු ඇරඹිය හැකි විය. ඔවුන් දෙදෙනා නිතර එක්ව සිටිනු ද දැකිය හැකි විය.

“දන්නවද…ඔයාගෙ එක්ස් බෝයි ෆ්‍රෙන්ඩ් අලුත් බැච් එකේ කෙල්ලෙක්ව සෙට් කරගෙන”

අශේන් අක්ෂිට ආරංචිය දුන්නේ ය. අක්ෂි ගේ මූණ වෙනස් විය. ඔවුන් දෙදෙනා සරසවි බිම තන් හි තන් හි දොඩමළු ව හිඳිනවා කිහිප වතාවක් ඇගේ නෙත ට ද හසු වී තියේ. නමුත් ඒ ඇසුර කුමක් දැයි ඇය නිශ්චිත ව දැන උන්නේ නැත. 

“දන්නවද ඒ කෙල්ල කවුද කියල…අර ඉස්සරහ පේස්ට්‍රි ශොප් එකේ වැඩ කරන කෙල්ල. කිසල් මාර කෙල්ලෙක්වනෙ යාඵ කර ගත්තෙ”

ඇය කවුදැයි සොයා බැලීමෙන් පසු අක්ෂි සමච්චල් ස්වරයකින් අශේන් ට කීවා ය. සමච්චලයක් මවා පෙන්නුවා ට සැබවින් ම ඇගේ සිත්හි වූයේ ඊර්ෂ්‍යා සහගත නො රිස්සුමකි. විටෙක එය කෝපයක වෙස් ගත්තේ ය. මේ තරම් ඉක්මනට, දිනකින් දෙකකින් පෙම් සබඳකමක් ඇති කර ගත නො හැකි බව අක්ෂි දනී. විශේෂයෙන් ම කිසල් කියන්නේ එවන් කොල්ලෙකු නොවේ. එසේ නම් ඔහු ඈ සමගින් ඇසුරක් පැවැත්වූයේ තමා සමග සම්බන්ධය පවතිද්දී ම ද යන සැකය අක්ෂි ට වද දෙන්නට විය. පළිඟු උසස් අධ්‍යාපන ආයතනයට පැමිණ තිබෙන්නේ ශිෂ්‍යත්ව පදනමක් මත බව දැනගත් වෙලේ ඇය කේන්තියෙන් පුපුරන්නට වූවා ය.

“බොරු කාරය. උපාසක බළල්ලු දෙන්නා දෙන්නා අල්ලනව කියන්නෙ ඕක තමයි”

කිසල් උදක් ම බලාපොරොත්තු වූ ඊර්ෂ්‍යාව, අක්ෂි වසා දෝරෙ ගලන්නට පටන් ගති.

“කාට පේන්නද මෙහෙම කරන්නෙ…”

දෙවන දිනයේ දී පළිඟු කිසල් ගෙන් ප්‍රශ්න කළා ය. ඔහු සිය පෙම්වතියකගෙන් පළි ගන්නට මෙහෙම කරනවා ඇත කියා සිතන්නට බැරි තරම්, පළිඟු කියන්නේ මුග්ධ කෙල්ලක නොවේ. ඇයට ඕනෑ වූයේ සැබවින් ම ඔහු පෙම් කළ ඇය කවුද කියා දැන ගන්නටයි. 

“අදාල නැති ප්‍රශ්න අහන්න එපා. මං ඔයාට පොරොන්දු වෙච්ච විදිහට ස්කොල් එක අරං දුන්න. දැං ඔයාට තියෙන්නෙ මං කියපු විදිහට රඟපාන්න විතරයි”

“හරි හරි ඉතිං. මං රඟපාන්න බෑ කිව්වෙ නෑනෙ”

පළිඟු නොරිස්සුම් වූවා ය. මේ කොල්ලා පුදුම ආඩම්බරකාරයෙකු බව මේ දවසට දෙකට ඇය තේරුම් ගෙන හිඳී. නමුත් ඔහු ගේ ධනය හෝ බලය ඉදිරියේ නිවට නියාළු ව යටත් වන්නට ඇය රිසි නැත. මේ ගනු දෙනුවකි. ඇයට යමක් සිදු වනවා සේ ම ඔහු ට ද යමක් ලැබේ. ඇගේ පැත්තෙන් බලත්දී ඇයට ලැබුණ අවස්ථාව මහ මෙරකි. නමුත් මෙහෙම කොන්දේසියකට ලෙහෙසියෙන් කැමති කරවා ගත හැකි කෙල්ලක ඔහු ට සොයා ගත හැකි වනු ඇත්ද? 

“මං ඇහුවෙ ඔයා රිද්දන්න හදන ගෑනු ළමය කවුද කියල විතරයි. එයා කවුද කියල මං දැනං ඉන්න එක හොඳයිනෙ”

“එහෙම දෙයක් නෑ. එහෙම කෙනෙකුත් නෑ. කරුණාකරල ඔයා මගෙ පර්සනල් දේවල් වලට ඉන්වෝල්ව් වෙන්නනං හදන්නෙපා”

“හරි හරි”

පළිඟු නො මනාපයෙන් ඉවත බලා ගත්තා ය. උතුම් ඒ වෙලාවේ එතැනට පැමිණෙමින් සිටි නිසා තරහ මූණු යටපත් කර සිනහවෙන් ඉන්නට කිසල් ඉඟි කළේ ය.

“හරි එහෙනං. ඔයා ලෙක්චර් එකට යන්නකො”

පළිඟු කෘතිම සිනහවකින් උතුම් දෙස බලා නික්ම ගියා ය. ඈ පිටු පා යන දෙස උතුම්  තත්පර ගණනාවක් ම බලා හිඳිනු කිසල් යටැසින් දුටුවේ ය.

“ඇත්තටම මට තාම හිතා ගන්න බෑ මචං”

මිතුරා කියන්නට යන කතාව කුමක් දැයි දන්නා කිසල් ඉවත බලා ගෙන මඳහසක් පෑවේ ය.

“උඹ මේ කෙල්ල එක්ක අෆෙයා එකක් ස්ටාට් කළා කියල. හැබැයි ඒක නියම චොයිස් එකක් කියලනං මට කියන්න පුළුවන්”

“ඇයි…”

“ඇයි කියන්නෙ යකෝ…ලස්සන බුද්ධිමත් ප්‍රැක්ටිකල් කෙල්ලෙක්නෙ. අක්ෂි වගේ බාබිඩෝල් කෙනෙක් නෙවෙයිනෙ”

කිසල් සිනහවකට කට ඇද කළේ ය. නමුත් ඒ සිනහව වඩාත් සමීප ඉකිබිඳුමකට යයි ඔහු ට සිතිණ. කුඩා කල සිට ම ඔහු සංවේදී දරුවෙකු වූයේ ය. පුංචි දේටත් ඇස් කඳුළින් බර කර ගන්නා හුරතල් කොලු පැටවෙකු වූයේ ය. නමුත් පවුලෙන් සේ ම පිටත ලෝකයෙන් ද ඒ සංවේදී කොලුවාට අවස්ථාවක් ලැබුණේ නැත.

“කෙල්ලෙක් වගේ අඬන්න පුරුදු වෙන්නෙපා. කොල්ලො අඬන්නෑ මොන දේ වුණත්. කොල්ලෙක් වුණහම හොඳ පර්සනලිටි එකක් එක්ක හැදෙන්න ඕනෙ”

ඔහු ට නිතර ඇහුණේ එබඳු කතා ය. ඒ කතා අසා ගන්නට ඇති ලැජ්ජාවට, රිදෙන තුවාලයක් වුණත් කඳුළු නො සලා දරා ගන්නට ක්‍රමයෙන් ඔහු පුරුදු වූයේ ය. නමුත් එසේ වත්දී හිත ඇතුළේ පීඩා විඳි පීඩනය ගැන කතා කරන්නට කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත.

අක්ෂි ඔහු දා ඔහු ගේ මිතුරු අශේන් ළඟට ගොස් තිබෙන මේ මොහොතේ ත් කිසල් ට සිදු ව තියෙන්නේ කිසිවෙකු ට ආත්මානුකම්පාවේ කඳුළු නො පෙන්වා පිරිමි පෞරුෂය මේ යයි පෙන්වාගෙන සිටින්නටයි.

“අක්ෂි උඹෙං අයිං වුණේ උඹේ හොඳටම වෙන්න ඇති. නැත්තං පළිඟු කවදාවත් උඹේ ජීවිතේට එන්නෑනෙ “

කිසල් සුසුමක් හෙළුවේ ය. මේ රහස ගැන මේ තරම් ළඟ මිතුරාට හෝ කිව නො හැකි වීම කිසල් ට දුකකි. නමුත් පළිඟු හා තමන් හැරෙන්නට තුන්වෙනියෙක් මේ බව දැන ගන්නා එකේ අවදානමක් ඇති බව කිසල් ට සිතේ. එවිට කොතැනින් හෝ ඒ රහස අක්ෂි කේ කනට කාන්දු විය හැකි බැවිනි.

“ඒත් මං උඹට දෙයක් කියන්නද…”

“මොකද්ද…”

“උඹ පළිඟුව අත්ඇරපං කිසලය. ඒකිට පාඩුවෙ ඉන්න දීපං”

“මොකද්ද….ඒ ගමන උඹ මොකද්ද කියන්න හදන්නෙ…”

උතුම් හිතට දිරිය ගත්තේ ය. නො කියා සිටිය හැකි නම් හොඳ වුණත් මේ කතාව කියන එක වඩාත් හොඳ යයි ඔහු ට දැනෙන බැවිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles