උත්සව මේසය රස කරන ත්‍රී ලේයර් රයිස් හදමු.

උත්සව කාලය ළඟ ළඟ එනවා. ඉතින් නිවසට පැමිණෙන ආදරණිය අමුත්තන්ට සංග්‍රහ කරන්නට, කජු, ඉස්සන්, සහ මාළු මිශ්‍ර කර සාදා ගත හැකි රසවත් බතක් තමා අද ඔබට හඳුන්වා දෙන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කීරි සම්බා හෝ සූදුරු සම්බා කිලෝ 1
  • මාළු ග්‍රෑම් 250
  • ලීක්ස් ග්‍රෑම් 100
  • ඉස්සන් ග්‍රෑම් 150
  • බී ළුණු ග්‍රෑම් 250
  • කජු ග්‍රෑම් 100
  • රම්පෙ කැබැල්ලක්
  • අඹරාගත් සුදු ළුණු මේස හැඳි 1
  • මාගරින් ග්‍රෑම් 150
  • ලුණු කුඩු තේ හැඳි 1
  • අඹරාගත් රම්පෙ
  • අඹරාගත් කරපිංචා
  • ගම්මිරිස් තේ හැඳි 1

සාදා ගන්නා ආකාරය:

මාළු තම්බා කුඩා කැබලි වලට කපා බැද ගන්න. ලීක්ස්, ගෝවා සිහින්ව කපා මඳක් තෙම්පරාදු කරගන්න. බී ළුණු සහ කජු බැදගන්න. ඉන්පසුව සහල් සෝදා වතුර බේරෙන්නට තබන්න. පසුව භාජනයක් ලිපෙන් තබා එයට බටර් එකතු කර රත්වෙන්නට තබන්න. එයට අඹරාගත් සුදු ළුණු, රම්පෙ, ලුණු කුඩු දමා හොඳින් මිශ්‍ර කරන්න. එයට සහල් එකතු කර විනාඩි 2, 3 බැද වතුර එකතු කර බත පිස ගන්න. බත ඉදුණු පසු උණුවෙන්ම කොටස් තුනකට වෙන් කරගන්න.

බෝල් එකකට බත් කොටසක් දමා හැන්දකින් හොඳින් තද කරන්න. ඒ මතට බටර් තේ හැඳි 1 දමා පිහියකින් හොඳින් ගාගන්න. ඒ මතට බැදපු මාළු අතුරන්න. එයට ලුණු ගම්මිරිස් ස්වල්පයක් ඉසින්න. ඊට උඩින් අනෙක් බත් කොටස දමා හොඳින් තද කරන්න.ඒ මත බටර් ගාන්න.

පසුව එළවළු මිශ්‍රණය අතුරන්න. එයට ලුණු ගම්මිරිස් ඉසින්න. ඉතිරි බත් කොටස උඩට දමා හොඳින් තද කරන්න. ඒ මත බටර් ගා බැදගත් ඉස්සන් උඩට එකතු කරන්න. ඒ මතට තවත් බත් කොටසක් එකතු කර වසා ගන්න. ඒ මතට බැදගත් කජු සහ බී ළුණු දමා ගන්න. අවසානයේදී බත් මත වටේට සලාද කොළ අතුරා තක්කාලි පෙති දමා සරසා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles