ඔබේ හැසිරීම මහත්වරුන් අතර ඔබ සැබෑ මහත්මයෙකු කරාවි.

රාජකීය උත්සවයක සේවකයන් දසදහස් ගණනක් හිඳිද්දී කේට් කුමරියට කුඩයක් ඉහළමින් සහය වන විලියම් කුමාරයාගේ ඡායාරූප ඔබත් දැකලා ඇති නේද? සෝෂල් මීඩියා වල පළ වෙන දේවල්, ගොසිප් සයිට් වල ලියැවෙන දේවල් ඔහු සත පහකට මායිම් කරන් නෑ.

ඔහු බ්‍රිතාන්‍යයේ කිරීටය හිමි කුමරු.ලොව වැඩිපුරම කතාබහට ලක් වන රාජකීයයන් අතර ඉහළින්ම හිඳින්නෙක්.නමුත් කේට් කුමරියට ඔහු ආදරණීය ස්වාමි පුරුෂයෙක්.ඔහු ඉතා ප්‍රේමයෙන් සහ ගෞරවයෙන් ඇයට ආදරය කරන අන්දම ලෝකයට ම ආදර්ශයක්.

උත්සවයකට ආරාධනා ලැබුණු විට “වයිෆ් හලලා සෙට් වෙන්නට” යන මිනිස්සු පිරුණු ලෝකයක ඔහු හැම උත්සවයකට ම සහභාගී වෙන්නේ කේට් සමඟ. “තැනකට ආවමවත් ළමයි ඇඟේ ගහන්නේ නැතුව ඉන්න බැරිද” අහලා බිරිඳටම දරුවන් පවරන මිනිස්සු ඉන්න ලෝකෙක විලියම් ජෝජ් කුමාරයා,චාලට් කුමරිය සහ ලුවිස් කුමරු උත්සව අවස්ථාවන්වලදී චාරිකා වලදී රැක බලා ගන්නේ තමන් රෝයල් ප්‍රින්ස් කෙනෙක් වුණත් ඒ දරුවන්ගේ තාත්තා කියන එක අමතක කරන්නේ නැතිව.

පිරිමියෙක්ට පුලුවන් ලේසියෙන්ම රජ කුමාරයෙක් වෙන්න. පිරිමියෙක්ට පුලුවන් හස්බන්ඩ් කෙනෙක් සහ තාත්තා කෙනෙක් වෙන්නත්.හැබැයි ඒ චරිත හැම එකක්ම ඉස්සරහින් “හොඳ” වචනය එකතු කර ගන්න එක ලේසි වැඩක් නෙවෙයි.

විලියම් ඒක කරලා ඉවරයි.

ඒ විලියම් කුමාරයාගේ කතාව.

“ඇය ඉතා පරිපූර්ණයි. ඇය මා කෙරෙහිත් මා ඈ කෙරෙහිත් ඉතා ඉක්මනින් හා තදින් බැඳුණා” මෙහෙම කියන්නේ හැරී කුමාරයා. විලියම්ගේ මල්ලි.හැරී ආදරය කරන්නේ පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වූ ගැහැනියකට. අප්‍රිකානු සම්භවයක් තියන නිළියක් වුණු ඩිවෝස් කෙල්ලෙක්ට ආදරේ කරන එක රජ කුමාරයෙක්ට පහසු වැඩක් නෙවෙයි.එයාව කසාද බඳින එක එච්චරවත් ලේසි වැඩක් නෙවෙයි. ඒත් හැරී එය කරනවා. අපි පහුගිය කාලේ ඒ ලස්සන ආදර කතාව ගැන අන්තර්ජාලය හරහා බොහෝ දේවල් කියෙව්වා.

විවාහයෙන් පස්සේ ආදිපාද තනතුරක් සහ තවත් බොහෝ වරප්‍රසාද හැරී සහ මේගන් යුවලට ලැබෙනවා.හැබැයි ඕනෑ කෙනෙක්ට ජීවිතේ ගත යුතුම තීරණයක් ගන්න දවසක් එනවා.ඒ තීරණේ ලෝකේ මිනිස්සු පුදුම කරන එකක් වෙන්න පුලුවන්.ඒත් තමන්ට සතුටින් පහසුවෙන් ජීවිතය ගෙවන්න නම් එහෙම තීරණ ගන්න හිතෙන වෙලාවට ගන්නම වෙනවා. එහෙම තීරණ ඔබත් අරගෙන ඇති.හැරී සහ මේගන් ඒ වගේ තීරණයක් ගන්නවා. ඒක ටිකක් වෙනස් එකක්.

“අපි ජ්‍යෙෂ්ඨ රාජකීය නිලයන්ගෙන් ඉවත් වී ආර්ථික ව ස්වාධීන වන්නට තීරණය කළා. එහෙත් රැජිනට සියලු ආකාරයේ බැඳීම් සහ සේවය පවත්වා ගෙන යන්නට අපි සූදානම්.”ආදරය වගේම ස්වාධීන වීම සහ නිදහස ජීවිතයකට උවමනා බව කියන්න හැරී සහ මේගන් හොඳම උදාහරණයක්. ඒ වගේම බ්‍රිතාන්‍ය වැසියන් මේගන් ගැන දොස් දකින බවත් ඇගේ සම්භවය සහ පෙර විවාහය ප්‍රශ්න කරන බවත් ගොසිප් හරහා පැතිර යද්දී හැරී ස්වාධීන ජීවිතයක් තෝරා ගත් බවත් කියැවෙනවා. රාජකීයත්වයට වඩා ඔහු තමන්ගේ බිරිඳගේ මානසික නිදහස ගැන හිතපු හැටි මොනතරම් වටින දෙයක් ද?ඔබේ

විලියම් කුමාරයා,හැරී කුමාරයා වගේ තරුණයෝ ලෝකය පුරා ඇති. හැබැයි පුතෙක් කුමාරයෙක් වගේ හදන වගකීම අම්මාටත් අයිතියි අන්න ඒ නිසා මිනිස්සුන්ට ගෞරව කරන විදියට පුතෙක් හදන එක හැම අම්මා කෙනෙක්ගෙම වගකීමක්.ඒකට ඩයනා කුමරිය වෙන්න උවමනා නැහැ. ඔබ ස්මාර්ට් අම්මා කෙනෙක් වීම හොඳටම ඇති.

විලියම් කුමරු කිරීටය රකිමින් තම පවුලට ආදරය කරනවා.හැරී ඒ රාජකීය ඔටුනු බිම තැබුවට තමන්ගේ පවුලට ආදරයෙන් ජීවත් වෙනවා.

මහත්මයෙකු ලෙස ජීවත් වෙන්න රාජකීයත්වය කිසිම හැටියකට වැදගත් නෑ.ඒත් ඕනෑම පිරිමියෙක්ට හැසිරීම වැදගත්. ආදරයට අවංක වීම වැදගත්. කතා කරන හැටි, හිතන හැටි වැදගත්.මිනිස්සු ජීවත් වෙන්න ඕනෑ අනිත් අයට ගෞරවයක් සහිතව.ඒක පටන් ගන්න පුලුවන් තමන්ගේ පවුලෙන්.තමන්ගේ බිරිඳට ආදරය කරන ඇය වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑම තරුණයෙක් ලෝකයේ යහපතට කැපවෙනවා. ලෝකයම ඔහු අත් හැරියත් ඔහුට තමන්ගේ පවුලෙ අය හරි ඉතිරි වෙනවා.

තමන්ගේ ජීවිතේ අරමුණු එක එක සපුරා ගනිද්දී, රැකියාවේ ඉහළට යද්දි, බිස්නස් සාර්ථක වෙද්දී බොහෝ පිරිමින්ට තමන්ගේ බිරිඳ මදි වෙනවා. අඩුපාඩු පෙනෙන්න ගන්නවා.ඇය සහකාරිය නොවී මෙහෙකාරිය බවට පත් වෙනවා.

කුමාරයෙක් වෙන්නේ ආකල්ප වලින්. මහත්මයෙක් වෙන්නේ හැසිරීමෙන්. එහෙම පිරිමින්ට විලියම් සහ හැරී පෙන්වා දෙන ආදර්ශය තමන් ගැන ආයේ හිතා බලන්න හොඳ අවස්ථාවක්.

Related Articles

Don't Miss


Latest Articles