පළිඟු මන්දිර -7

පාසලෙන් සිල් සමාදන් වූ දවසක මිස, පාවහන් නොමැති ව ඇවිද ඇති දවසක් කිසල් ගේ මතක ඉතිහාසයේවත් නැත. එහෙව් ඔහු පළිඟු වන් කෙල්ලක වෙනුවෙන් සිය පාවහන් පරිත්‍යාග කොට නග්න දෙපයින් සරසවි බිමෙහි ඇවිද යනයුරු අක්ෂි බලා උන්නේ විශ්මයෙනි. ඔහු ඒ තරම් ඇයට පෙම් කරන්නේ ද? මේ තරම් කෙටි කාලයක් තුළ ඒ තරම් ප්‍රේමයක් ඇති වූයේ කොහොම ද? ඊර්ෂ්‍යාවේ ගිනි දලු අක්ෂි ව වට කර ගෙන බුර බුරා නැගෙමින් තිබිණ.

පළිඟු වචනයක් වුව කතා කළේ නැත. කතා කරන්නට වචනයක් තෝරා බේරා ගත නො හැකි වූවාට ඇගේ සිත තුළ පරම්පරා ගණනක් සිතිවිලි අවදි වී දොඩමළු වෙමින් තිබිණ.

“මේ මොකද මේ…”

ඝණ අව්වට රත් වූ පොළොවේ ගල් කැට නිසා අපහසුවෙන් ඇවිද විත් අවන්හලට ගොඩ වූ කිසල් දැක වත්සලා ඇස් උඩ හිඳුවාගෙන ප්‍රශ්න කළා ය.

“මේ…මගෙ සෙරෙප්පු දෙක නැති වෙලා පුංචා කැන්ටින් එකේදි. කිසල්…එයගෙ සෙරෙප්පු මට දීල…”

“අනේ ඇත්තට උඹට සෙරෙප්පු දෙක පරිස්සං කර ගන්න බෑනෙ. ඊළඟ දවසෙ ඇඳං හිටිය ඇඳුම නැති වෙලානෙ කියාගෙන එයි. බලපං මේ කොල්ලගෙ කකුල් පුපුරු ගහනව ඇති මේ ගල් පොළොවෙ අව්වෙ ඇවිත්”

පිරිමියෙක් නම් රිදුම් නො දැනිය යුතු ය. රිදෙන්නේ ගැහැනුන්ට ය. අඬන්නේ ගැහැනුන් ය. ඒ මන්තරය කිසල් ද නො දැනුවත් ව ඔහු ගේ සිත මිමිණී ය.

“අපි කකුල් සෝදගමු”

කිසල් බොහෝ වෙලාවක් දෙපා වතුරට අල්ලාගෙන සිටියේ ය.

“සොරි”

පළිඟු මිමිණුවා ය. කිසල් කතා කළේ ඇදෙස කෙලින් බලන්නේ නැතිවයි.

“මමයි සොරි කියන්න ඕන”

“ඇයි…”

“මං නිසානෙ ඔයාට මේ පනිෂ්මන්ට්”

ලොකු හුස්මකින් පෙනහලු පුරවා ගත්තා මිස පළිඟු ඒ වෙනුවෙන් පිළිවදන් දෙන්නට නො ගියා ය. වචන වලින් විස්තර කළ නො හැකි කතා බොහොමයක් ඇගේ හිතට දැනෙන්නට පටන් ගෙන තිබේ. කිසල් නික්ම ගිය පසුත් ටික වෙලාවක් යන තෙක් ඈ හිටියේ බර වූ හදකිනි.

“මං හිතුවෙ නෑ කොල්ල උඹට එච්චර ආදරෙයි කියල”

ඒ බර කල්පනාවේ අතරමගක දී වත්සලා කීවා ය. පළිඟු ඉක්මන් ඇස්පිය කිහිපයක් ගැසුවා ය.

“එක අතකට ආදරේ නැත්තං ඔච්චර වටින ස්කොල් එකක් හදල දෙයිද…නේද…මොනා වුණත් උඹ වාසනාවන්තයි”

වත්සලා ගේ වචන සුසුමක දැවටී ගෙන ය පිටතට ආවේ. මොනා වුණත් යනුවෙන් ඇය යෙදූ යෙදුමෙහි කැටි ගැන්වී ඇති අරුත කුමක් දැයි පළිඟු දනී. ඈ වූ කලී පවුලෙන් පිටුවහල් කරනු ලැබූ දැරියකි.

නමුත් සිය වාසනාව සම්බන්ධයෙන් ඉරණම තවමත් ලිහිල් බවක් පෙන්වන්නට සිතා නැති බව පළිඟු දනී. කිසල් ඇත්තට ම ඇයට පෙම් නො කරන බවත්, ඒ පෙන්වන බොරු ආදරයේ තරමට ඔහු පෙම් කරන්නේ අතැර ගිය පරණ පෙම්වතියට බවත් වත්සලා ට කීමේ හැකියාවක් නැති එක ගැන යුවතිය හදවතින් ම වද වූවා ය.

‘මට වාසනාව ගැන ලොකුවට විස්වාස කරන්න බෑ පුංචා. මෙහෙම හරි ඩිග්‍රි එක කර ගත්තොත් අනාගතයක් තියෙයි කියල විතරයි මං දන්නෙ’

පළිඟු සිතින් කියා ගත්තා ය.

         *******************************************************************************

     ඇයට කළ හැකි ලොකු ම දේ ලෙස පෙනුණ දේ අක්ෂි කළා ය. එනම් මොරීන් ට කේළම කීමයි.

“හරි හමං කෙල්ලෙක්නං කමක් නෑ මැඩම්. අර පේස්ට්‍රි ශොප් එකේ වැඩ කරන කෙල්ල. ඊයා අප්ප. ඒ මදිවට ඒ කෙල්ලට ස්කොල් එකකුත් අරං දීල”

තමන් කළේ අටුව කඩා පුටුව හැදීම වැනි දෙයකැයි මොරින්ට වැටහුණේ එවෙලේ ය. කිසල් අශේන් එක්ක පැටලෙන එක වළක්වන්නට ශිෂ්‍යත්වයක් තනා දුන්නාට මොරින් ඒ ගැන දුරට දිගට සිතා තිබුණේ නැත. ඒ කිසල් හා අක්ෂි අතර පලහිලව්වක් වන බව ඇයට ඉව වැටී තිබි හෙයිනි. අක්ෂි කිසල් ගේ මිතුරියක සේ ගෙදරට යාම් ඊම් ද කර තිබිණි. කිසල් ගේ වයසේ ස්වභාවය ගැන දන්නා නිසාත්, අක්ෂි ගේ පවුල යනු තමුන්ට පෑහිය නො හැකි තැනක් නො වන බව දැන උන් නිසාත් මොරින් ට ඒ ගැන වද වීමේ අවශ්‍යතාවයක් නොවිණ.

කිසල් ගෙන් විමසන්නට පෙර මොරීන් මේ ගැන සනත් හා කතා කළා ය.

“ඔය කොලු වයසට කරන දේවල් ගැන ලොකුවට හිතන්න එපා මොරීන්”

ප්‍රධාන පෙළේ පිරිමි පාසල් ගණනාවක විදුහල්පති ධූරය හොබවමින්, තරුණ කොල්ලන්ගේ හැඟීම් හා ක්‍රියාකාරකම් ගැන අවබෝධය ඇති ව සිටින සනත්, සැහැල්ලු සිනහවකින් කීවේ ය.

“කෙල්ලෙක් එක්ක යාළු වෙනව කියන එකනං මං ගණං ගන්නෙත් නෑ. ඒ මේ අර පේස්ට්‍රි ශොප් එකකද කොහෙද කෙල්ලෙක්ලුනෙ. මගේ කනෙං රිංගල අපේ කැම්පස් එකට ස්කොල් එකකුත් හදල දුන්නනෙ ඔය කෙල්ලට”

මොරීන් කේන්තියෙන් දැවෙමින් සිටියේ යම් සේ ද සනත් එතරම් ම සැහැල්ලුවකින් සිටියේ ය.

“ඒ ළමයත් ඉතිං දැං එතන ඉගෙන ගෙන ඉස්සරහට ඩිග්‍රි එකක් ගන්න ළමයෙක්නෙ”

“අනේ මේ සනත්…තේරෙන්නැද්ද…බනිස් විකුණන කෙල්ලෙක්…”

“මොරීන්…”

සනත් අතරමගින් පැන මොරීන් කියන්නට ගිය දේ නතර කළේ ය.

“මං දන්නෑ කිසල් එහෙම සම්බන්ධයක් ඇති කර ගෙන තියෙන්නෙ මොන පදනමක් උඩද කියල. හැබැයි මනුස්සයෙක් හිටිය තැන නෙවෙයි වැදගත් දැන් ඉන්න තැන. ඊටත් වඩා වැදගත් ඉස්සරහට ඉන්න නියමිත තැන. ඒක නිසා හැදීගෙන එන මල් වගේ ළමයින්ට අපහාස නොකර ඉමු මොරීන්”

“අනේ මේ සනත්. ඔයාගෙ වැදි බණ නිසා තමයි මට ඔය ළමයි දෙන්නව හදාගන්න බැරි වුණේ”

කියමින් මොරීන් ගස්සාගෙන සනත් වෙතින් නික්ම ගියේ ය. ඔහු තනිව ම සන්සුන් ව සිනහ වූයේ ය.

මොරින් කෙලින් ම ගියේ උඩු මහළටයි. කිසල් ගේ කාමරය ළඟ නතර වූ ඕ, දොරට ගසන්නට අත ඔසවා යළිත් කල්පනා කළා ය. මේ ගැන දැන් ම කිසල් සමගින් කතා කරන එක හොඳ යයි යළිත් සිතුවා ය. එ් සිතිවිල්ල වෙනස් වන්නට පෙර දොර ට ගැසුවා ය.

“පුතා…කිසල්”

“එන්න අම්ම”

කිසල් සිටියේ විෂයානුබද්ධ පොතක් කියවමිනි. මොරීන් යහන කොනකින් හිඳ ගත්තා ය. මේ කතා කොහෙන් කොහොම පටන් ගන්නද කියා ඇයට තේරෙන්නේ නැත.

“ඇයි දරුවො ඔයා අපිට මෙහෙම කරන්නෙ…”

අනුකම්පාව උපදවා ගත හැකි තැනින් වැඩි ප්‍රයෝජන ලැබිය හැකැයි ඇය ක්ෂණික ව තීරණය කළා ය. කිසල් ට තියෙන්නේ සංවේදී හිතකි. මොරින් කැමති නැති ම විදිහේ, උණු වී වැගිරිය හැකි සිතකි.

“ඇයි…මං මොකද්ද කළේ…”

යෞවනයා පොත පැත්තකට කොට අම්මා වෙතට මුළුමනින් යොමු වූයේ ය.

“ඇත්තද ඔයා අර…පේස්ට්‍රි ශොප් එකක ගර්ල් කෙනෙක් එක්ක…”

“අක්ෂි වෙන්නැති නේ කේළම අම්මගෙ කනේ තියන්න ඇත්තෙ…”

“ඇත්තටම ඔයාට ලැජ්ජ නැද්ද පුතා…සම්බන්දයක් වුණත් ඇති කර ගන්න ඕනෙ තමුන්ට ගැලපෙන කෙනෙක් එක්ක නේද…අපේ ස්කොල් එකකිංම ඉගෙන ගන්න දුප්පත් පවුලක කෙල්ලෙක්…ඔයා අපිටත් පැජ්ජ කරනවනෙ”

“අම්ම. මිනිස්සු ලැජ්ජ වෙන්න ඕනෙ ඉපදුන විදිහ ගැන නෙවෙයි. ඉපදුනාට පස්සෙ කරන දේවල් ගැනයි”

“තාත්ත වගේ බණ කාරයෙක් වෙන්න එපා. මේ ලෝකෙට ගැලපෙන විදිහට ජීවත් වෙන මුස්සයෙක් වෙන්න”

මොරීන් කතා කළේ තදිනි. කිසල් කියන්නේ අම්මා නඩත්තු කරන ඉහළ පැළැන්තිය ගැන කවදටත් වද වූ කෙනෙක් නොවේ. ඔහු මිනිසුන් දෙස බැලුවේ මනුස්සකම පෙරදැරිව පමණකි. ඒ වුණත් විවාහය වාගේ දෙයකදී එය හුදු දෙදෙනෙකු අතර පමණක් වන ගැළපීමක් නොව පවුල් දෙකක් අතර ගැළපීමක් විය යුතු බව ඔහු සිතා සිටියේ ය. පළිඟු නියෝජනය කරන පන්තියේ කෙල්ලක සමග පෙමින් බැඳෙන අදහසක් ඔහු ගේ තුන් හිතකවත් වූයේ නැත. අනිත් අතට මේ රංගනයක් මිස ප්‍රේමයක් නොවේ. ඔහු අක්ෂි ව රිදවන්නට පළිඟු ව යොදා ගත්තා පමණකි. මතු යම් දිනයක මේ සියල්ල නිමාවට පත් වනු ඇත. නමුත් ඒ ගැන මොරින් ට කියා සිය රහස හෙළි කර ගත යුතු නැත.

“මං කරන්නෙ මොකද්ද කියල මං දන්නව අම්ම. ඒක නිසා ප්ලීස්…ලීව් මී අලෝං”

“කිසල් මේ. ඔයාට ඕන ඕන දේවල් කරන්න පුළුවන් කියල හිතන්න එපා හරිද…වහාම ඔය සම්බන්දෙ නවත්තන්න ඕනෙ. මට ආයෙ ආයෙ මේ ගැන කතා කරන්න තියන්න එපා”

මොරින් දැඩි අණක් දී නික්ම ගියා ය. නමුත් කිසල් එය නියපොතු තුඩකට තරමට වත් ගණං නො ගත්තේ ය. හිතෙහි බියක් හෝ චකිතයක් හෝ ඇති වූවා ද නොවේ. ඒ, ඔහු කරන්නේ සැබෑවක් නොවන බව ඔහු දැන සිටි බැවිනි.

පසු දා විශ්ව විද්‍යාලයේ දී කිසල් ව මුණ ගැහෙන්නට අක්ෂි කුරුමානම් ඇල්ලුවා ය. ඔහු භෝජනාගාරයට වී පළිඟු එනතුරු තනි ව බලා සිටි වේලේ අක්ෂි ඒ අවස්ථාව ලබා ගත්තා ය.

“කිසල්…මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ. මං හිතන්නෙ…අපි බ්‍රේක් අප් වුණත් අපිට කතා කරන්න බැරි කමක් නෑනෙ”

“මොකද්ද කියන්න තියෙන්නෙ…”

කිසල් කතා කළේ තදිනි. ඒ බුරුලෙන් අක්ෂි ඔහු ළඟ පුටුවේ හිඳ ගත්තා ය.

“අර බේකරි කෙල්ලව ඔයාට මැච් වෙන්නෑ කිසල්”

“අම්මට කේලං කියල මදි වෙලාද ඉන්නෙ දැං…”

“ඊයා අනේ….ලැජ්ජ නැද්ද ඔයාට…”

“දැං මෙතනිං යනවද…”

නමුත් අක්ෂිට ඕන වුණේ තව ටිකක් පමා වෙන්නට ය. දැන් කිසල් ව අයිති කර ගෙන හිඳින කෙල්ලට පේන්නට ඔහු ළඟ දැවටී ඉන්නට ය.ඔවුන් දෙදෙනා අතර ඇය හේතු කර ගෙන නො හොඳ නෝක්කාඩු ඇති වෙනු බලා සතුටු වෙන්නට ය.  ඒ ගැහැනු ආශාව සපුරා ගන්නට ඇයට ඉඩ දෙමින් පළිඟු එමින් සිටියා ය.

කිසල් ළඟ වාඩි වී අක්ෂි සිටිනු දැකීමෙන් හිතෙහි ක්ෂණික ගැස්මක් ඇති වෙනවා පළිඟු ට දැනිණි. නමුත් ඒ තමන්ට අයිති හැඟීමක් නොවන බව ඇය වහා හිතට කීවා ය. පළිඟු ලං වෙත්දී අක්ෂි නැගිට ගත්තේත් යාන්තම් ඔහු ගේ අත් බාහුවක් ස්පර්ශ කරගෙනයි.

ගැහැනුන් එහෙමද කියා කිසල් දන්නේ නැත. තමුන්ට එපා වුණත්, තමුන් අත් හළ දෙයක් වුණත්, ඒ තමන් ට අයිති ව තිබූ දෙයක් නම් තව දුරටත් ඒ අයිතිවාසිකම පෙන්වන්නට ගැහැනු රිසි වග ඔහු දැන සිටියේ නැත.

“මං ආවෙ වැරදි වෙලාවකද කියල දන්නෑ”

වචන වලින් එහෙම කීවත් සිනහ වෙන්නට ඒ තරම් අමාරුවක් දැනුණේ මන්දැයි පළිඟු සිතුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles