තම දරුවාගේ ජීවිතය වෙනුවෙන් මිනීමරුවෙක් සමඟ සටන් කරන මවකගේ කතාව. – Penguin

මහා වනාන්තරයක ඇවිද එන කුඩා දරුවෙක් සුර දූතයෙකුගේ පිළිමයක් අසල නවතිනවා. ඔහු පිටුපසින් ඔහුගේ බලු සුරතලා ද පැමිණෙනවා.පිළිමය අසල සැඟව සිටින චාලි චැප්ලින් ලෙස වෙස් වලාගත්තෙක් දරුවාට පොරවකින් කොටනවා.

මේ සිහිනයක්.

එය දැක බියපත් වී අවදි වන්නේ අම්මා කෙනෙක්; ගැබිණි මවක්. දවසේ විශේෂත්වයක් ද තිබීම තවත් කාරණාවක්. ඇගේ පළමුවැනි විවාහයේ ඇනිවසරි එකත් අදට යෙදී තිබෙනවා.

සියල්ල හිතේ දරාගෙන බර වූ හදවතින් රෝහල වෙත යන ඇය තවත් හද කම්පිත දසුනකින් තිගැස්සෙනවා. ඒ දිවිනසා ගත් දරුවෙක්.

සියල්ල අතීතයට ඇවිද යන මතක පාලමක්.

වසර හයකට පෙර මේ අම්මා, රිදම් තමන්ගේ කුඩා පුතුට පෙන්ගුවින්ලා ගැන කතාන්දරයක් කියා දුන් දවසක්. හදිසියේ තාත්තා පැමිණ අම්මාගේ මිතුරිය වූ භාවනාගේ පියාගේ අවමඟුල ගැන පවසන තුරු ඒ සතුටින් සැහැල්ලුවෙන් පිරී ගිය නිවසක්. එහිදී හිටිහැටියේ අජේ අතුරුදහන් වෙනවා.කලබල වී සොයන දරුවා වාහනයේ අඬමින් සිටිද්දී හමු වෙනවා.

වරින්වර අතීතයේ සහ වර්තමානයේ ඇවිද යන රිදම් විලක් අසලට ගොස් ආයෙත් අතීතයට ගමන් කරනවා.අවමඟුලේදී පැය කිහිපයකට අතුරුදහන් වන ඇගේ කුඩා අජේ ඉන්පසු නැවත අතුරුදන් වන්නේ ඔහුව සෙවීම නිෂ්ඵල කරමින්. අවසානයේ පොලිසිය පවා පරීක්ෂණ කටයුතු අතහැර දමන්නේ අජේ මිය යන්නට ඇති බව තහවුරු කරමින්.

රිදම්ට ඇගේ දරුවා මිය ගොස් නැති බව සහතිකයි. ඒ හැඟීමෙන් දරුවා සොයන ඇයට දරුවා නැවත දෝතට ගන්නේ බොහෝ ත්‍රාසජනක සිදුවීම් වලට මැදි වෙමින්.

ඒ හැම සිදුවීමක් ම චිත්‍රපටිය බලමින් ඔබ විඳිය යුතු බව මම යෝජනා කරනවා. රිදම්ගේ වේදනාව සහ ශක්තිය ඔබට දැනෙන්නේ ඇගේ සටන දෙස බලා සිටීමෙන්. මේ ඔබ මඟ නොහැර නැරඹිය යුතු චිත්‍රපටියක් වෙන්නේ ඒ නිසා.

පෙන්ගුයින් 2020 දී ප්‍රදර්ශනය වූ දකුණු ඉන්දියානු ගුප්ත ත්‍රාසජනක චිත්‍රපටයක් එය ඊෂ්වර් කාර්තික් විසින් අධ්‍යක්ෂණය කළ අතර නිෂ්පාදනය කර ඇත්තේ කාර්තික් සුබ්බරාජ් විසින්. ප්‍රධාන චරිතය වූ රිදම්ගේ චරිතය මවන්නේ කීර්ති සුරේෂ් විසින්.

පෙන්ගුවින් චිත්‍රපටිය නරඹන ඔබ ඊර්ෂ්‍යාව යනු කිසි දවසක සුව කළ නොහැකි ගැටලුවක් බව වටහා ගනීවි. මවක් තමන්ගේ ජීවිතය වුණත් පරදුවට තබමින් තම දරුවන් වෙනුවෙන් කරන සටනක ළතෙත් බව ත්‍රාසය අතරින් තෝරා ගනීවි.

ජීවිතය සම්බන්ධයෙන් ඔබ ගන්නා සමහර තීරණ හැම තත්පරයකම ඔබව ගැටලුවකට සහ භීතියකට ඇද දමන්න පුලුවන්.පලි ගැනීම කිසිම කාරණාවකට ඔසුවක් වෙන්නේ නැහැ

හැබැයි ඒ දේවල් කොහොම වුණත් ඇත්තටම ලෝකයේ නියත දහමක් තියෙනවා.

අම්මා කියන්නේ ශක්තියටත් විශ්වාසයටත් තවත් නමක්.අම්මා කියන්නේ සම්බන්ධයකට නෙවේ ආකල්පයකට!

Related Articles

Don't Miss


Latest Articles