පුංචි පැටවුන්ට අලි ඉක්කාවක් ගැන ලස්සන කතාවක් කියලා දෙමු ද?

නිදාගන්නකොට  කෑම කවනකොට, සමහරවිට  වාහනයේ  යනකොට, මේ කිව්ව නොකිව්ව  හැම අවස්ථාවකදීම අපේ පුංචි පැටව්  ටික ටික  වෙලාවකට  හරි  රඳවාගන්න පුළුවන්  මැජික්  එකක්  තමා කතාන්දර කියල දෙන එක, මම ඒක  අමුතුවෙන්  කියලා දෙන්න ඕනා නෑ. ඉතින්  ගෙදර කතන්දර පැයට හරි ඉහත අවස්ථාවකදී හරි අපේ පුංචි පැටවුන්ට ගැලපෙන  ලස්සන කතාවක් මට ලැබුනා, ඔයාලත් එක්ක ඒක බෙදා හදා ගන්නයි  මේ සුදානම.

මේ කතාව ලියලා තියෙන්නේ ජේම්ස් ප්‍රිලර්, කතාවේ නම අලි ඉක්කාව, චිත්‍ර  හාන්ස් විලියම්ස්ගේ, සිංහල  බසට  පරිවර්තනය  කරලා තියෙන්නේ ජනක ඉනිමංකඩ, ලස්සන චිත්‍ර වලින් සහ රසවත් කතාවකින් පිරුණු මේ පොත  සාප්පුසවාරියක් යන අතරමඟ හෝ දරුවාගේ උපන්දිනයකට  විශේෂ  අවස්ථාවකට  තෑගී දෙන්න හොඳ පොතක් වේවි.

ඔන්න ඉතින් මෙන්න  මේකයි  කතාව, කැලේ සත්තු දවල්ට නිදා ගන්නවා, ඒ ගොල්ලෝ ඔක්කොම හොඳටම නිදාගෙන ඉන්න වෙලාවක  එක්කෙනෙක්  විතරක් ඇහැරිලා, ඒ කවුද දන්නවද, අලි රාල, එයාට නින්ද යන්නේ නෑ, ඇයි දන්නවද එයාට ඉක්කාවක් හැදිලා, අලි රාලගේ ඉක්කාව හරිම සද්දයි, ඇයි ඉතින් අලියෙක්නේ, මේ ඉක්කාවේ සද්දෙට මුලින්ම ඇහැරුනේ චිම්පන්සියට, චිම්පන්සියා  අලියාට කිව්වා  එයාට  ඉක්කාව හොඳ  කරන්න පුළුවන් කියලා, එයා අලි රාළට කෙසෙල් ගෙඩියක් දුන්නා, දීලා කිවුවා  ඔලුවෙන් හිටගෙන කන්න කියලා, අලියත් ඉතින් චිම්පන්සියා කියපු දේ කළා, මදැයි  වුණා වැඩේ අලි රාලව ඩොන් ගාලා බිම වැටුණා.

මේ අලි ඉක්කාවේ සද්දෙට  ඊළඟට  ඇහැරුනේ  සිංහයාට, එයා අලි රාළට කිවුවා හුස්ම උඩට ඇදගෙන වතුර ගොඩාක් බීගෙන බීගෙන යන්න කියලා. එතකොට ඉක්කාව හොඳවෙයි කියලා තමයි සිංහයා හිතන් ඉන්නේ. අලිරාළ ඉතින් සිංහයා කියපු දේත් කරලා බැලුවා, හුස්ම උඩට ඇදගෙන වතුර ගොඩාක් බිවුවා. එත් අලි රාලගේ ඉක්කාව හොඳ වුණේ නැහැ.

අලි ඉක්කාවේ සද්දෙට ඊ ලඟට ඇහැරුනේ සිබ්‍රාට. දහයේ  ඉඳලා  එකට  හයියෙන් ගණන් කරගෙන යන්න කියලා එයා කිව්වා, එතකොට ඉක්කාව හොඳ වෙයි කියලා තමයි එයා හිතන්නේ, අලි රාළට ඕනා කොහොමහරි  ඉක්කාව  හොඳ කරගන්නනෙ, ඉතින්  එයා එකත් කරලා බැලුවා, දහය, නවය, අට, හත, හය, පහ, හතර, තුන, දෙක, එක කියලා එයා හයියෙන් ගණන් කළා, මොන හොඳය ක්ද  මෙන්න තාම ඉක්කාව එහෙමම තියෙනවා!

ඔන්න මේ සැරේ ඇහැරුණේ මී පැටියාට, එයාගේ නින්ද කැඩුණු එකට එයාට හරිම තරහයි. මොකද්ද මේ සද්දේ කියලා එයා බැලුවා, චිම්පන්සියා එයාට කිවුවා අලි රාලගේ ලෙඩේ ගැන, මීයා  කලබලෙන් අලිරාළ ගාවට ගියා, ඊට පස්සේ අලි රාලගේ කන ඇතුලට ඔලුව දාලා බු කියලා කෑ ගැහුවා. අනික් සත්තු පුදුමෙන් බලා සිටියා. හරි පුදුමයිනේ, අලි රාලගේ  ඉක්කාව හොඳ වුණා, ඔන්න ඔහොමයි ඉක්කාවල්  හොඳ කරන්නේ කියලා  මීයා ආඩම්බරෙන් කිවුවා. ඔන්න  සත්තු අයෙමත්  නිදා ගත්තා. ඒත්  අලි රාල ඇහැරිලා, මදැයි  ඒ පාර වෙලා තියෙන වැඩේ, එයාට වෙන ලෙඩක් හැදිලා, හ……ච් ……චෝ ……න් …..

ඔන්න ඕක තමයි කතාව, රස කරලා, රඟ පාලා කිවුවම පොඩ්ඩෝ කටත් ඇරගෙනඅහගෙන ඉඳියි. කැමති  නම් පුංචි  නාට්‍යක්  නිර්මාණය කරන්නත් පුළුවන්, එයාල කැමති විදියට චරිත තෝර ගන්නත් දෙන්න.

ඉතින්  මේ කතාව  ඔයාට  වගේම පොඩ්ඩන් ටත් අනිවාර්යයෙන්ම රසවත් එකක් වේවි. ඉඩක් ලැබුනොත්  කතා පොත අරගෙන ඔවුන්ට  චිත්‍ර රසවිඳීමට  අවස්තාවක් දෙමින්ම කතාව කියා දෙන්න, ඒ වගේම  ලෙවල් 2, 3 පොඩ්ඩේකුට  මේ පොත තනිව කියාවගන්නත්  පුළුවන්,ඒ වගේම  ඔයාල මේ කතා කියල ලබන  අත්දැකීම්  කැමතිනම් අපිත් එක්ක බෙදා ගන්න කියලත් අපි ආරාධනා කරනවා, ආයෙමත්  තවත් ලස්සනම ලස්සන කතාවක් එක්ක හමුවෙමු.

චම්මි

 

Related Articles

Don't Miss


Latest Articles