පළිඟු මන්දිර -15

“ආයිස් අප්ප…මේ ජෝඩු දාල කන්නෙ දෙන්නත් එක්ක…”

එහඬින් පළිඟු තිගැස්සී ගියා ය. අවන්හල දොරකඩ උතුම් හිටගෙන උන්නේ දෑත් ඉණෙහි ගසාගෙනයි. වත්සලා සිනහ වෙවී බලා සිටියා ය.

“මං බැලුව මූ ලෙක්චර් එකත් කට් කරල පනිනකොට. පැණි හැළියක්ද යකෝ මේ…”

පළිඟු ගේ වත රතු වෙමින් තිබිණි.

“පිස්සුද බං…”

කිසල් එහෙම කීවේ පළිඟු පත් අපහසුතාවය දැනගෙන ය.

“මං මේ යන්න හදනකොටයි දැක්කෙ පේස්ට්‍රි ශොප් එක ඇරල තියෙනව”

“අනේ මේ…ඕව ගිහිං කියපං කොණ්ඩෙ බැඳපු චීනෙක්ට. එතකොට මෙයා බත් මුල් එහෙම බැඳං ඇවිත් තියෙන්නෙ නිකං වෙන්නැති”

කිසල් සිනහව යටපත් කර ගන්නට දරනා උත්සාහය දෙස පළිඟු බලා සිටියේ හදවත දෝරෙ ගලන හැඟුම් සමුදායක් සහිතව ය. උතුම් වහා විත් පුටුවක් ඇදගෙන හිඳගත්තේ ය. බත් මුලට හවුල් වෙන්නට දැනටත් ප්‍රමාද වැඩි තරම ය.

“උතුම් අයිය කන්න. මට ඇති”

පළිඟු නැගිට ගත්තා ය.

“මෙයත් උදේ ඉඳං මැරිල වගෙයි හිටියෙ ඇඳට වැටිල”

වත්සලා ගේ ඒ කතාවෙන් පළිඟු අහසෙන් පොළොවට වැටුණා ය.

“අර ගං වතුර ගලල තියෙන අස්සෙ එන්න දඟලනව. මං කිව්ව පීනල පලයං කියල”

යුවතිය ගේ ඇස්, කිසල් ගේ ඇස් වල හැපිණි. පළිඟු ඉක්මන් කොට නිදහසට කාරණා කියා ගන්නට තරම් සිහි එළවා ගත්තා ය.

“අනේ මේ පුංචා. මං කිව්වෙ මිස් වුණොත් අපරාදයක් කියල හිතෙන ලෙක්චර් එකක් තියෙන නිසා…”

“හරි හරි…ඔය දෙන්නම මුකුත් දන්නැති බබාල. කාට කියන්නද මේව…නැද්ද පුංචා…”

මේ බොරුව බෙහෙවින් මිහිරි ය. නමුත් සැබෑව හෙළිදරව් වෙත්දී ඒ දවස කෙතරම් අමිහිරි විය හැකි දැයි පළිඟු මොහොතකට කල්පනා කළා ය. එදා ට වැඩියෙන් ම දුක් වෙනු ඇත්තේත් හඬනු ඇත්තේත් වත්සලා ය. දරුවෙක් නැති ඇය අම්මා කෙනෙක් වූයේ පළිඟු ට ය. ඊටත් වඩා පළිඟු ට නම් දැනුණේ ඈ හොඳ ම යෙහෙළියක හෝ සොයුරියක ලෙස ය. දැන් දැන් කිසල් වෙත ද ඈ බැඳෙමින් සිටින්නේ පුතෙකු නැති අඩුව සපුරා ගන්නවා මෙනි. සියල්ල පුපුරා ගිය දවසට ඈ කෙසේ එය ඉවසා දරා ගන්න ද?

මේ ගැන කිසල් හා කතා කළ යුතු යයි එවෙලේ පළිඟු සිතා ගත්තා ය. පසු දා ඒ සඳහා නිදහස් අවස්ථාවක් සැලසිණ. ඒ, කිසල් ට සේ ම පළිඟු ට ද එක ම කාල පරිච්ඡේදයකදී දේශන නො වූ නිසාවෙනි. 

“මට දෙයක් කියන්න තියෙනව”

පළිඟු කොංක්‍රීට් බංකුවක් මත හිඳ ගත්තේ ස්ව කැමැත්තෙනි. කිසල් ට එහි හිඳ නො ගෙන බැරි විය. බංකුව පිටුපස වූ ඇහැල ගස, කහපාට මල් රෑන් වලින් පිරී තිබිණි. පහළට එල්ලී ඇති මල් වැල් අතර කහ පාට පුංචි සමනල යුවලක් පෙමාලිංගනයක පසු වූහ. පළිඟු ටික වෙලාවක් ඔවුන් පසුපස දුවන නෙත් ඇති ව සිටියා ය.

“පේස්ට්‍රි ශොප් එකට වැඩිය එන්නැතුව ඉන්නවද…”

“ආ…”

කිසල් ඇස් කුඩා කොට යුවතිය දෙස බැලුවේ ඔහු ට ඈ කී දේ නො ඇසුණ නිසා නොවේ. ඔහු දෙස බැලූ පළිඟු වඩාත් අවිහිංසක ලෙස බිම බැලුවා ය.

“ඇයි ඒ…”

“ඒක දිග කතාවක් කිසල්”

ඇගේ ඇස් වල ලියැවී තිබි කතාව කියවා ගන්නට සෙයින් කිසල් බලාගෙන ම සිටියේ ය. නමුත් ඔහු ඊට සමත් වූයේ නැත.

“මට පුංචාව මේ තරං රවට්ටන්න බෑ”

පළිඟු හඬන්නට සිටියා නොවේ. නමුත් ඇගේ හඬ බිඳිණි. හැඬේවියි වහා ඕ බියපත් ද වූවා ය. එනිසා ම වේගවත් ඇස් පිය කිහිපයක් ගසා ගෙන ගියා ය.

“ඔයා මං ගැන මුකුත් දන්නෑ කිසල්. මොනවත්ම…”

ඇහැල මලක් නටුවෙන් ගිලිහී විත් ඇගේ උකුල මත පතිත විය. පළිඟු එය හෙමිහිට ඇඟිලි තුඩින් ගත්තා ය.

“ඔයාට දැනගන්න ඕනත් නැතුව ඇති. අපි අතර තියන ගනු දෙනුවෙ හැටියට අපි ගැන මුකුත් දැනගෙන ඉන්න ඕනකමකුත් නෑ. මං ඔයාට කවදාවත් මේ ගැන කියන්න හිටියෙත් නෑ. ඒත්…දැන්නං නොකියා ඉන්නත් බෑ වගේ”

“ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියලද කියන්න යන්නෙ…”

කිසල් කට කොනකට සිනහවක් නගා ගත්තේ ය. පළිඟු ඔහු දෙස බලා සිටියේ දුක්බර විලාශයකිනි. 

“ඉතිං මට මොකෝ…මට ඒව දැනගන්න ඕනකමක් නෑ තමයි”

‘පුදුම දුෂ්ටයෙක්’ කියා පළිඟු සිතින් සිතුවා ය. 

“හැබැයි දැන් මට ඔය කතා වලිනුත් වැඩක් නෑ. ඇග්‍රිමන්ට් එක වෙනස් කරන්න කිසිම හේතුවක් නිසා පුළුවන් කමක් නෑ”

ඒ වෙනස් නොවන දැඩි තීන්දුවකි.

“ඇග්‍රිමන්ට් එක වෙනස් කරන්න කියල නෙවෙයි දෙයියනේ මං කියන්නෙ”

“එහෙනං…”

පළිඟු අමාරුවෙන් කෙළ බිඳක් ගිල ගත්තා ය.

“ඔයාට ඕනෙ මං ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල අක්ෂිට පෙන්නන්නනෙ. ඉතිං ඒකට…කැම්පස් එකේදි විතරක් අපි එහෙම ඇක්ට් කළාම ඇතිනෙ. ඔයා පේස්ට්‍රි ශොප් එකට එන එකෙං පුංචා අපි ගැන වැරදියට හිතාගන්නව. බලාපොරොත්තු තියා ගන්නව. එයාව එහෙම රවට්ටන්න මට අයිතියක් නෑ…ඒ…මං එයාට මගෙ අම්මටත් වඩා ණයගැති නිසයි” 

“අනේ මේ…මං එන්නැතුව ඉන්නං”

කියා නැගිට ගත් කිසල්, පළිඟු එහි තනි කොට දමා නික්ම ගියේ ය.

“මහ මොකෙද්ද මන්ද…කටු පිටිං කොහිල තම්බල දෙන්න ඕනෙ ඔය කේන්තියටනං”

පළිඟු තනි ව මිමිණුවා ය. එවෙලේ  එ් විදිහට නික්ම ගියත්, එදා රෑ ම ඔහු පළිඟු ට කතා කළේ ය.

“බෝයි ෆ්‍රෙන්ඩ් කොහෙද ඉන්නෙ…මොනා කරන කෙනෙක්ද…”

පළිඟු මොහොතක් නිහඬ ව උන්නා ය.

“ඩොක්ට කෙනෙක්”

ඊළඟ ට එහෙම කියා හිනහෙන්නට පටන් ගත්තා ය.

“මොකද…පිස්සුද…”

කිසල් සැර විය. යුවතිය සිනහව තුනී කර ගෙන කතා කළා ය.

“බොරු අනේ”

“හොල්මන්ද…මොනා කියෝනවද මන්ද”

මං කිව්වෙ මට ඇත්ත බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කියල”

“එහෙනං….මට ඒ පැත්තෙ එන්න එපා කිව්වෙ…”

“මං කිව්වෙ දවාලෙත්. දැං විස්තර කියන්න බෑ. හෙට කැම්පස් එකේදි…”

මේ කෙල්ල ව තේරුම් ගන්නට බැරි යයි කිසල් සිතුවේ ය. කොහොමටත් අක්ෂි හැරෙන්නට, සිය නැගණිය වර්ෂා මිස ඔහු වෙනත් කෙල්ලක ළඟින් ඇසුරු කොට නැත. ඔවුන් දෙදෙනාට ම වඩා පළිඟු වෙනස් ය. සරල ය. නිදහස් ය. එඩිතර ය. මේ ගිවිසුම වගේ අභියෝගයක් බාර ගන්නට ඔහු දන්නා වෙනත් කිසිදු කෙල්ලක එකඟ නො වන බව විශ්වාස ය.

පසු දා උදෙන් ම විශ්ව විද්‍යාලය වෙත ගිය කිසල්, පළිඟු අවන්හලේ සිට එන තෙක් මග පමා වූයේ ය.

“මට අරක දැනගන්න ඕනෙ”

යුවතිය සිනාසුණා ය. ඇගේ සිනහව සෙනෙහසින් පිරී ඇති බවක් ඇයට ම දැනිණ.

“මේ උදේ පාන්දර…”

“ඉතිං මොකෝ”

“මං හිතුවටත් වඩා ඔයා හිතුවක්කාරයි”

“මොකද්ද අවුල කියල කියනවද..”

“සැර අනේ”

පළිඟු මූණ නෝක්කාඩු කර ගත්තා ය.

“ඒක ඔයා අහන්න හිතං ඉන්න විදිහෙ ඉන්ටරෙස්ටිං කතාවක් නෙවෙයි. මගෙ ඉරණම මට සලකපු නපුරු විදිහ. කොටිංම කියනවනං මං මගෙ පවුලෙං අයිං කරපු ළමයෙක්. ගෑනු ළමයි තුන් දෙනෙක්ට පස්සෙ මල්ලි කෙනෙක් ඉපදුණ එක පවුලට හොඳ නැති නිසා…මාව ඒ පවුලෙං අයිං කළා”

“ඒක මාර අසාධාරණයිනෙ”

පුංචි කාලයේ සිට ම දැන සිටිනා කතාවක් වුණත්, කිසල් සමගින් ඒ බව පවස්දී පළිඟු ට වඩාත් අසරණ හැඟීමක් දැනිණ. වචන පිට නො වන තරමට උගුරේ බරැති හිර වීමක් දැනුණෙන් ඕ කතා නො කොට කිසල් දෙස බලා සිනහවක් නගා ගත්තා ය. ඒ සිනහව වඩාත් ලං වූයේ ඉකි බිඳුමකටයි. නමුත් පරණ වී ගිය ඒ දුක වෙනුවෙන් හඬන්නටවත් අයිතියක් නෑ නොවේදැයි ඈ සිතුවා ය.

“ඒකයි මං කියන්නෙ…මාව හදා ගත්තෙ පුංචානෙ. එයාට ගින්දරක් දුන්නොත් මට සහ ගහයි. බොරුවට වුණත් ඔයා ගැන වැරදි වැටහීමක ඉඳල…ඇත්ත එළි කරන්න වුණ දාක පුංචාට දරා ගන්න බැරි වෙයි. මං වගේ නෙවෙයි…එයා හරි සෙන්සිටිව්”

කිසල් හිස වැනුවේ ය. ඇගේ ඉල්ලීමට විරෝධයකින් තොර ව ඔහු එකඟ වුණත්, පළිඟු ට දැනුණේ ඇගේ දුක තවත් වැඩි වූවා සේ ය. ඈ තව තවත් අසරණ වූවා සේ ය.

“කිසල්…අනේ අයිම් සෝ සොරි කිසල්…ට්‍රයි ටු අන්ඩස්ටෑන්ඩ් ඇන්ඩ් ෆොගිව් මී කිසල්”

එක් වන ම කිසල් ගේ අතක එල්ලී එහෙම කියන්නට අක්ෂි කොහෙන් ආවාද කියා වත් ඔවුන් දෙදෙනාට ම සිතා ගත හැකි නො විණි. 

“මට ඔයත් එක්ක කතා කරන්න ඕන කිසල්”

අක්ෂි පළිඟු දෙස බැලුවේ සැතිරක දෙස බලනාකාරයේ බැල්මකිනි.

“තනියම”

කිසල් ප්‍රතිචාරයක් දක්වන්නටත් පෙර පළිඟු ඇවිද යන්නට පටන් ගත්තා ය.

“පළිඟු”

කිසල් අමතනු ඇසුණත් ඇය නැවතුණේ නැත. පළිඟු ගේ ඇස් වලින් ගිලිහුණ කඳුළු දෙපෙළක් කම්මුල් දිගේ ගලා යමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles