පළිඟු මන්දිර – 16

වැහි අඳුර අතරින් රන්වන් හිරු කිරණ අහුරක් නැගෙනහිර අහසින් කාන්දු වෙමින් තිබිණ. ඇහැල මල් තවමත් මඳ පවනැල්ලේ නැලැවුණේ ය. නමුත් ඒ අතර දැවටෙමින් තැවරෙමින් රොන් සෙවූ සමනල යුවල පළා ගොස් තිබිණ. ටික දුරක් හෙමිහිට ඇවිද ගිය පළිඟු, කිසල් ගේ ඇස් මානයෙන් දුරස් වන සීමාවේදී හඬාගෙන ම දිව ගියා ය. ඒ ගොඩනැගිල්ලට මුවහ වූ ඕ, ටිෂූ එකක් දෑස් හි හොවා කඳුළු වල තෙත මාත්තු කර ගත්තා ය.

“ඇයි මං අඬන්නෙ…අඬන්නෙපා…මං කිව්වනෙ අනුංගෙ දේවල් වලට ආදරේ කරල අඬන්නෙපා කියල”

තමන්ට ම මුමුණා ගත් යුවතිය හිතා මතා ම මඳහසක් නගා ගත්තා ය. ඒ ගොඩනැගිල්ලට මුවහ වී කිසල් අක්ෂි සමග කතා කරනයුරු බලා ඉන්නට උපන් ගැහැනු හිතිවිල්ල මට්ටු කළ ඕ, දේශන ශාලාව දක්වා ම දිව ගියා ය.

කිසල් සිටියේ ඉවත බලා ගෙනයි. අක්ෂි බංකුවේ අනිත් කොන වාඩි වූයේ කිසල් ට ඇගේ උණුහුම දැනෙන තරම් සමීප ව ය. කිසල් මඳක් ඈත් වූයේ ය.

“මට ඔහොම කරන්නෙපා කිසල්. වැරැද්දක් වුණා තමයි. බට්…අප්පිරියාවෙං වගේ ඔහොම බලන්නෙපා”

“දැං මොකද්ද කියන්න තියෙනව කිව්වෙ…ඉක්මනට කියල යන්න”

මීට පෙර කිසි දාක ඔහු අක්ෂිට එහෙම සැර වී නැත. හැම දේ ම කළේ ඈ රිසි පරිදි ය. ඔහු නො සතුටු දේ පවා ඉවසා ගත්තේ ඇගේ සතුට ගැන හිතා ය. නමුත් කිසිදු වගක් නැතිව ඈ පිටුපෑවේ එහෙව් ඔහුටයි.

“අශේන් වෙන ගර්ල් කෙනෙක් එක්ක අෆෙයා එකක් තියෙනව කිසල්. කැම්පස් එකෙං එළියෙ ගර්ල් කෙනෙක්. එයා මට හොඳටම චීට් කළා”

කිසල් කට කොනකට සිනහවක් නගා ගත්තේ ය. අශේන් කියන්නේ ඔහු දන්නා දවසේ සිට ඇඳුම් මාරු කරනා සෙයින් ගැහැනු ළමයින් මාරු කරමින් ගිය සෙල්ලක්කාරයෙකි. 

“බබෙක් වගේ කතා කරන්න එපා අක්ෂි. අශේන් කවුද කියල ඔයා නොදැන හිටිය නෙවෙයිනෙ”

“ඒත් මං හිතුවෙ නෑ එයා මට මෙහෙම කරයි කියල”

“ඇයි…ඔයා වීනස්ද”

කිසල් සමච්චලයක් මවා පෑවේ හිතා මතා ම ය. 

“මං ඔයාට කළ දේ තමයි මට පළ දුන්නෙ. ප්ලීස් කිසල්. අපි ඒ ඉන්සිඩන්ට් එක අමතක කරමු”

“මොකද්ද කියන්නෙ…”

“මට වෙනස්කං කරන්න එපා ඉතිං. ඇයි අපිට බැරි ආයෙ ඉස්සර වගේ ඉන්න…”

“ඔළුව හැප්පුණාද කොහෙ හරි…”

කියා අසමින් නැගිට ගත් කිසල්, ඉක්මන් දිගු අඩි තබා දේශන ශාලාව දෙසට ඇවිද ගියේ ය. අක්ෂි ගේ දෙතොලතර වූයේ ජයග්‍රාහී මඳහසකි.

“ඔහොම ගියාට මං දන්නව ඔයා එනව කියල. ඔයාට මං නැතුව ඉන්න බෑ කිසල්”

අක්ෂි සිතින් සිතුවා ය.

“අර බේකරි කෙල්ලට දිනන්න මං ඉඩ තියන්නෑ”

එදා දේශකයා කී කිසිත් පළිඟු ගේ සිතේ රැඳුණා නොවේ. ඇයට සන්සුන් වෙන්නට උවමනා විය. ඒ සඳහා ඈ උත්සාහ ද කළා ය. නමුත් හැම විට ම උත්සාහයන් සාර්ථක වන්නේ නැත!

වැඩි වෙලා නො ගොස් දරුණු හිස රදයක් ද ඈ පෙළන්නට ගත්තේ ය. මේ සියල්ල දමා ගසා ගෙදර යන්නට, ගිහින් ඇඳ බදා ගෙන හඬන්නට ඇය ට ලොකු ඕනෑ කමක් විය. නමුත් පළිඟු ඉවසා ගත්තා ය. අද කොහෙත් ම එසේ යා නො හැක. එහෙම කළොත් කිසල් මොනවා සිතනු ඇත්ද? ඈ ඔහු ට පෙම් කරන්නට පටන් ගෙන ඇති බව ඇත්ත ය. නමුත් ඒ බවක් කොහෙත් ම ඔහු දැන ගත යුතු නැත. අක්ෂි ඔහු සමග තනි ව කතා කරන්නට කළ යෝජනාව ගැන ඈ සිතේ මේ ඇති ව තිබෙන්නා වූ ඊර්ෂ්‍යාවේ ගිනි පුළිඟුව කොහෙත් ම කිසල් දැකිය යුතු නැත. ඒ නිසා ගෙදර යන්නේ නැතිව හැකි තාක් සාමාන්‍ය ලෙස ඔහු ට මූණ දෙන්නට පළිඟු තමන්ට ම අභියෝග කර ගත්තා ය.

භෝජනාගාරයේ දී වෙන දා නො දැනුණ අසරණ කමක් ඇය ට දැනුණේ ය. මේ විදිහට කිසල් එක්ක එක පතින් බත් කන්නට ඇයට තව වැඩි දිනක් ඉඩ නො ලැබෙනු ඇත්ද? අශේන් හා අක්ෂි අතර වූ සම්බන්ධය බිඳ වැටී ඇති බවට ආරංචිය ලැව් ගින්නක් සේ සරසවිය පුරා පැතිර යමින් පවතී. කිසල් කිසිත් නො කීවත්, උදේ අක්ෂි ඔහු සමග තනිව කතා කළේත් ඒ ගැන විය යුතු යයි පළිඟු අනුමාන කළා ය.

“මොකද බං මැළවිලා වගේ…”

උතුම් පළිඟු ගේ වෙනස හැඳිනුවේ ය. කිසල් ඇදෙස උවමනාවෙන් බැලුවේ මිතුරා ගේ ප්‍රශ්නයත් එක්ක ය. පළිඟු මළානික මඳහසක් පෑවා ය.

“ඔළුවෙ කැක්කුමක් ඇල්ලුව අයියෙ…කන්න ගත්තට කන්නත් බෑ වගේ”

ඒ අවසරයෙන් ඕ කෑමත් නවතා දැමුවා ය. සිය පෙම්වතිය වෙනුවෙන් මිතුරා ඉදිරියේ දී කියන්නට යමක් කිසල් ගේ මුවට ආවේ නැත.

“අමාරුයි වගේනං පළිඟු යන්න. නේද බං…”

“ඔළුවෙ කැක්කුමකට ගෙදර දුවන්න ඕන නෑනෙ. මොකද හෙඩේක් එකකට මැරෙනවද…”

කිසල් කතා කළේ රළු බවකිනි. උතුම් ඔහු ට රැව්වේ ය.

“උඹ මාර කතාවක්නෙ කියන්නෙ. මැරෙන ලෙඩක් හැදුණොත් විතරද ගෙදර යන්න ඕන…ඔයා යන්න නංගි”

“නෑ. තව ටිකක් බලමුකො”

පළිඟු අමාරුවෙන් කොඳුරා ගත්තා ය. මැරෙන ලෙඩක් හැදුණත්, ඔහු මෙහි දමා යන්නට ඇයට සිතෙනු නැත. 

“කෝ බලන්න”

පළිඟු බලාපොරොත්තු නොවූ ලෙස කිසල් ඔහු ගේ වමතෙහි පිටි අත්ල ඇගේ නළල් තලය මත තබා උණ දැයි බැලුවේ ය. ඈත සිට ඒ දර්ශනය වෙත දැල්වුණ දෑසක් වන බව ඔහු හොඳට ම දැන උන්නේ ය. මේ උණුහුම ඒ ඊර්ෂ්‍යාව දල්වනු වස් ඇති කළ එකක් බව දැන සිටියත්, පළිඟු මොහොතකට නෙතු පියාන ඒ අතේ උණුහුම විඳ ගත්තා ය.

“උණක්නං නෑ”

ඇගේ දෑස් විවර වෙනකොට ම කිසල් ගේ ඇස් වෙනතක හැරිණි.

“අරුං බ්‍රේකප් වෙලාලුනෙ බං”

උතුම් හෙමිහිට අක්ෂි ගැන කතාවට පිළිපන්නේ ය. කිසල් පිළිවදන් දෙන්නට ගියේ නැත. ඉන් පළිඟු ගේ සිත වඩාත් රිදිණි. දැන් ඉතින් ඔහු ගේ අරමුණ කරා යන්නට වඩාත් පහසු ය. පළිඟු කොහෙත්ම බලාපොරොත්තු නොවූ තරම් ඉක්මනින් කිසල් ගේ අභිලාෂය ඉටු වී තියේ.

“මං යන්නද…”

තරුණයන් දෙදෙනා උනුන් ගේ මුහුණු බලා ගත්හ. කිසල් ප්‍රතිචාරයක් දක්වන්නටත් පෙර පළිඟු නැගිට නික්මුණා ය. ඇගේ වත මත වැතිර තිබූ ශෝකයේ සේයාවන් මනාව හැඳින ගන්නට අක්ෂි නම් සමත් වූවා ය. ඇගේ දෙතොල් මත නැගුණේ හසරැල්ලකි. උදේ ඈ කිසල් හා කතා කළ වෙලේ පටන් මේ ශෝකය පළිඟු ව අරක් ගන්නට ඇති බව අක්ෂි ට හොඳට ම විශ්වාස ය. 

පළිඟු එහෙම ම ගෙදර ගොස් ඇති බව කිසල් දැන ගත්තේ දේශන නිමවීමෙන් පසු අවන්හලට ගිය විට ය.

“හොඳටම ඔළුව කැක්කුමේ හිටියෙ. ඇස් දෙකෙංම මං දැනගත්ත කෙල්ල ඉන්නෙ අමාරුවෙං කියල. ඒ ගමන මං ට්‍රයිෂෝ එකක් කතා කරල දුන්න යන්න”

වත්සලා කීවා ය. ඇය ට ව්‍යාජ සිනහවක් තිලිණ දුන් කිසල්, පිටතට පැමිණියේ ජංගම දුරකතනය අංකනය කරමිනි.

ඒ ඇමතුම එන විටත් පළිඟු සිටියේ යහනෙහි වැතිර ගෙන ය. ආදරයේ ගින්දර තමන් දවන්නට පටන් ගෙන ඇති බව ඈ දැන සිටියා ය. නමුත් ඒ දැවුම මේ සා රිදුම් සහගත වේ  යයි ඇය කිසි සේත් දැන සිටියේ නැත.

“හෙලෝ”

ඈ කතා කළේ කිසල් ට අංශු මාත්‍රික සන්තාපයක් නො පෙන්වන්නෙමැයි තදින් සිතා ගෙන ය.

“මට කියන්නැතුව ගෙදර ගිහිං නේ…”

ඔහු දැඩි ව ප්‍රශ්න කළේ ය.

“හ්ම්”

හැඬේවිද කියා යුවතිය බිය වූවා ය.

“බකමූණෙක් වගේ හ්ම් හ්ම් ගෑවට හරියන්නෑනෙ”

“මට එන්න වුණා කිසල්. මගෙ ඔළුව පැලෙන්න වගේ ආව”

එදා රෝහලේ දී ඈ සිය හිසෙහි ඕඩිකොලෝන් ගල්වා පිරිමැදියුරු කිසල් ගේ හිතේ ඇඳී මැකී ගියේ ය. නිහඬ ව ගෙවුණු තත්පරය පවා දිගු ව පළිඟු ට දැනිණි.

“දැං කොහොමද…අඩු ද…”

අනතුරු ව ඒ පිරිමිකාර හඬ මතු වූයේ සුසුමකුත් එක්ක ය.

“ටිකක්”

ඇගේ හඬ බිඳෙන්නට ඔන්න මෙන්න ව තිබිණි.

“බෙහෙත් ගන්නවද…”

“ඕන්නෑ”

“ඕන්නෑ කියල බෑනෙ. එතකොට හෙටත් ලෙක්චර්ස් මිස් කර ගන්නද…”

ළඟ නො සිටියත් ඔහු යකෙක් සේ ඇඟට කඩන් පැන්නේ ය. පළිඟු සිය දුක්බර නෙතු පියන් වසා කඳුළකට ගලන් යන්නට ඉඩ දුන්නා ය.

“ලෑස්ති වෙලා ඉන්න මං එන්නං”

ඇගේ නිහඬතාවය නිසා ම ඔහු හඬේ සැර මඳක් බාල කළේ ය.

“එපා…”

ඔහු යළිත් කෝපත් වේවියි ක්ෂණික ගැස්මක් හිතේ ඇති වූයෙන් ඕ නිදහසට කාරණා කියන්නට ඉක්මන් වූවා ය.

“පුංචා ආවහම යනව”

ඒ හඬ කෙඳිරියක් සරි වූයේ ය. ඔහු ට ඈ ගැන දුක නො හිතුණායි කීවොත් මුසාවකි. ඇත්තට ම ඈ දැඩි හිස රදයකින් පෙළෙනවා විය යුතු ය. නැත්නම් පළිඟු කියන්නේ බොරුවට ලෙඩ මවා ගන්නා සෝමාරි කෙල්ලක නොවන බව කිසල් මේ වෙත්දී දැන සිටියේ ය.

ඔහු යළි අවන්හල වෙත ගියේ ක්ෂණික තීරණයක් ගෙන ය. වත්සලා කිසල් දෙස නෙතු ඔසවා බැලුවේ පුදුමයෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles