පළිඟු මන්දිර – 19

මොනවා බෙදා හදා ගත්තත් පෙමින් බැඳුණු පිරිමියාව බෙදා ගන්නට රිසි ගැහැනියක් මෙලොව සිටිය හැකි ද? අක්ෂි ට සමාන්තර ව පාරේ ඇවිද යන ගමන් පළිඟු සිතුවේ ඒ ගැන ය. දැනටමත් ඈ කිසල් ට පෙම් කරමින් සිටී. නමුත් ඉතා සියුම් ලෙස අක්ෂි මේ අරාඳින්නේ සිය හදවතත් එක්ක දරුනු සෙල්ලමක් කරන්නට බව පළිඟු ගේ ගැහැනු ඉව අනතුරු අඟවන්නට විය.

“කිසල් එක්ක මගෙ අෆෙයා එකට දැන් අවුරුදු තුනකට වැඩියි”

කල් යල් බලා අක්ෂි නිවැරදි ම තැනින් මාතෘකාවට ගොඩ වූවා ය. පළිඟු හදවත වාරු කරගෙන හිඳිනට ඇයට ම පිළින දුන්නා ය.

“අපි බ්‍රේකප් වුණා තමයි. ඒකටත් එක එක හේතු තිබුණා. කිසල් මට කොච්චර ආදරෙං හිටියද කියල තේරෙන්න ගත්තෙ අශේන්ට ලං වුණාම තමයි. ඒත් කිසල් ඉක්මන් වුණා වැඩියි”

පළිඟු තිගැස්සී ගියා ය. හදවත් පටක දෙදරා යන රිදුම ඇයට දැනිණ.

“එයා ඔයා එක්ක අෆෙයා එකක් ඇති කර ගන්නැතුව හිටියනං…මෙතන කිසි ප්‍රශ්නයක් නෑ. ඒත්…”

ඇය මොන තරම් ආත්මාර්ථකාමී ද? ආදරය අතිශය පරාර්ථකාමී විය යුතු ය. ඉවසිලිමත් විය යුතු ය. සමාව දෙන සුළු විය යුතු ය. වැරදි ගණං නො කළ යුතු ය. පළිඟු ඇගේ ම හිතත් එක්ක තනි ව කතා කරමින් සිටියා ය.

“මං දන්නව දැන් ඔයා වුණත් අවුල් යයි කිසල් ආයෙ මාත් එක්ක සෙට්ල් වුණොත්”

පළිඟු අක්ෂි දෙස බලා සිනහවෙන්නට අරෑඳුවා ය ඒත් ඒ මොහොතේ සිනහ වීමත් මොන තරම් දුෂ්කර ව්‍යායාමයක් වී ද? එය සිනහවක් නොව විරිත්තීමක් සේ ඇය ට ම දැනිණි.

මොනවා හෝ පැවසිය යුතුව තිබේ දැයි අක්ෂි හිතුවා ය. නමුත් වචනයක් හෝ මුදා ගත නොහැකි තරමට උගුර ගොළු ය. හදවත දොඩමළු ව තිබුණා ට අක්ෂි වගේ යුවතියකට එවන් හඬක් ඇසිය නො හැක.

“ඒත්…කිසල් තාම සම්පූර්ණයෙන් ම මගෙන් අයින් වෙලා නෑ කියල මං දන්නව. ඔයත් ගෑනු ළමයෙක්නෙ. ඒකයි මං ඔයාට කලිංම මේ ගැන කියල තිබ්බෙ. අනික…කිසල් ඔයාට ලං වුණේ මං නැතුව ඇති වෙච්ච පාළුව නිසා වෙන්න පුළුවන්”

අක්ෂි හිතනවාටත් වඩා පළිඟු ගේ පැත්ත අසරණ ය. එය නිකං ම නිකං එකඟතා ගිවිසුමක් පමණකි. අක්ෂි ට ඇවිත් දැන් එතැන ඕනෑ ම නැටුමක් නැටිය හැකි ය. 

“පළිඟු…”

පිටුපසින් කිසල් ගේ හඬ ඇසිණ. යුවතිය අක්ෂි ගේ මූණ බලමින් ම නතර වූවා ය. අක්ෂි ගේ වත මතට අමුතු සිනහවක් ආවත්, වෙනදා සේ කිසල් ට සිනහවක් තිලිණ කළ නො හැකි සෙයින් පළිඟු ගේ මූණේ පේෂි තද වී තිබිණි. 

“මොකද්ද වෙන්නෙ මෙතන…”

කිසල් ඇසුවේ යුවතියන් දෙදෙනා ම දෙස මාරුවෙන් මාරුවට බලමිනි. කිසිත් නැති බව කියන්නට පළිඟු යන්තම් හිස සැලුවා ය.

“අපි දෙන්න ටිකක් කතා කළා. රණ්ඩු කළා නෙවෙයි. එහෙනං මං යන්නං පළිඟු”

අත වනා ගෙන අක්ෂි ඔවුන් වෙතින් නික්මුණා ය. නමුත් ඇඟිල්ලකුදු සොලවා ගැනීමේ ශකිතියක් පළිඟු ට වූයේ නැත. ඇහැල ගහ යට බංකුව පළිඟු  වෙනුවෙන් බලා සිටියේ ය. කොහොමටත් ඇවිද ආවාට ඇගේ දෙපා වල පණ නැති ගතියක් විය. කිසල් ද බංකුව කෙළවර අසුන් ගත්තේ ය. අයිති නැති තැනක රැඳෙන්නට වීමේ පාපය තමන් විසින් ගෙවමින් සිටින බව පළිඟු  අවබෝධ කර ගනිමින් සිටියා ය. එය වූ කලී පහසු දෙයක් නොවේ. හිමි නැති කෙනෙක් වෙනුවෙන් උපදිනා ප්‍රේමයක් දරා ගන්නට ඉතා විශාල වූ හදවතක් තිබිය යුතු ය. ඒ ප්‍රේමයත් එක්ක අත්වැල් බැඳගත් වේදනාත්මක හැඟීම් වල බර උහුලා ගන්නට අතිශය ශක්තිමත් හදවතක් තිබිය යුතු ය. පෙම් කරන්නට ඕනෑ ම කෙනෙකුට හැකි වී ද අසම්මත පෙමක පැටලෙන්නට තරම් ශක්තියක් හැම කෙනෙකුට ම නැත. එවන් ප්‍රේමයක් උහුලන්නා අති විශේෂ ය.

“මොකද…”

කිසල් ගේ හඬ ආත්මයේ ඇතුළත කොහේ හෝ තැනක නතර වෙනවා පළිඟු ට දැනිණ. ඔහු ගේ වචන වල ළතෙත් බවක් තිබෙනු ඇය ට දැනුණු මුල් ම අවස්ථාව එයයි. පළිඟු කිසල් ගේ මූණ බැලුවා ය. දැන් සිය හදවත ඊර්ෂ්‍යාවෙන් පිරී ඇති බව ඇය වටහා ගත්තා ය. සාමාන්‍යයෙන් පළිඟු කියන්නේ එවන් චරිතයක් නොවේ. සිය හදවත ඇතුළේ ඒ වගේ දුර්ගුණත් පවතින බව ඇය හඳුනා ගනිමින් සිටියා ය. ඒ දුර්ගුණ වහා ම යටපත් කළ යුතු බව ද ඇය ට වහා සිහි විය. කයින් වචනයෙන් හා සිතින් සිදු විය හැකි දස අකුසල් ගැන උගත් පාඩමක් මේ මොහොතේ ඇයට මෙනෙහි වෙමින් තිබිණ. නමුත් ඒ ඊර්ෂ්‍යා හැඟීම පාලනය කිරීම හිතන තරම් පහසු නැත. සසර තව බොහෝ දිගු වනු ඇති බව ඇය සිතුවා ය.

“මට තේරෙනව. අක්ෂි මොනා හරි කියල ඇතිනෙ”

කිසල් ඒ වාක්‍යය ඇරඹුවේත් අවසන් කළේත් සුසුමකිනි. පළිඟු යටි තොල සපා ගෙන සිතට දිරි ගත්තා ය.

“මං ඊයෙත් කියන්න ගියේ…ඔයා මෙහෙම ඇග්‍රිමන්ට් එකකින් මාව ලං කර ගත්තෙ අක්ෂි වෙනුවෙන්නෙ. ඉතිං….”

ඉතුරු ටික කියා ගැනීම මොන තරම් අසීරු ද? ඒ අහඹු හමු වීම සිය ජීවිතය මේ විදිහට කණ පිට පෙරළාවියි නිකමට හෝ පළිඟු විසින් සිතනු ලැබ තිබිණි ද? එදා නළලේ වූ තුවාලයට බෙහෙත් දමන්නට යෙදුණු තරුණයා නිසා සිය හදවතත් ආත්මයත් මේ තරම් දරුණු තුවාලයක ගොදුරක් වෙතැයි ඇය නිකමට හෝ සිතා තිබුණේ නැත.

“ඉතිං…”

කිසල් ගේ හඬ ඈත ග්‍රහ ලෝකයක සිට ඇසුණා සේ විය. පළිඟු කතාව ඌණ පූර්ණය කරන්නට වූවා ය.

“ඉතිං… දැං ඒ ඇග්‍රිමන්ට් එක ඉවර වෙන්න කාලෙ හරි වගේ නේද…මං කියන්නෙ…අක්ෂි දැං පනිෂ් වුණානෙ. මට හිතෙන හැටියට එයා පසුතැවෙනව ඔයාව අත්ඇරපු එක ගැන”

“මේ…ඔයා ඔයාට අදාල වැඩක් බලා ගන්නවද…”

කිසල් එහෙම කිපේවියි පළිඟු සිහිනෙනුදු නො සිතුවා ය.

“ඇග්‍රිමන්ට් එක කෑන්සල් වෙනවද කියල ඩිසයිඩ් කරන්නෙ ඔයා නෙවෙයි මම”

“ඉතිං…”

“අක්ෂිට තව රිදෙන්න ඕනෙ. තව පනිෂ් වෙන්න ඕනෙ. ඒ වගේම ඇග්‍රිමන්ට් එක ගැන ඔයා වද නොවී හිටියොත් හොඳයි”

“ඒක මාර වැඩක්නෙ. ඒක ඔයාගෙ විතරක් ඇග්‍රිමන්ට් එකක් නෙවෙයිනෙ. ඒ ඇග්‍රිමන්ට් එකට මාත් හවුල්. ඉතිං මටත් ඒ ගැන කතා කරන්න අයිතියක් තියෙනවනෙ”

“මොන ඇග්‍රිමන්ට් එකක් ගැනද බං උඹල මේ කෑ ගහ ගන්නෙ. අපිටත් හොරෙං උඹල දෙන්න හවුල් ව්‍යාපාරයක්වත් පටං ගත්තද…”

උතුම් ගේ ඒ හඬින් පළිඟු සීතල වී ගියා ය. ඔහු එතැනට පැමිණෙමින් සිටි බවක් දෙදෙනා ම කලින් දුටුවේ නැත.

“මෙයත් එක්ක කොහෙද එහෙම දෙයක් කරන්නෙ…”

කියමින් කිසල් නැගිට ගත්තේ, ‘උතුම් මුකුත් දැන ගත්තොත් මං තමුන්ව ඉතුරු කරන්නෑ’ වැනි බැල්මකිනි. ඔහු මිතුරාත් පළිඟු ත් දෙදෙනා ම එහි සිටියදී නික්ම ගියේ ය.

“ඒ ගමන උඹල දෙන්නගෙත් වැඩේ කුළල් කා ගන්න එකද…”

පළිඟු බිම බැලුවා ය. කවුරුන්වත් ඇත්ත දන්නේ නැත. ඇත්ත නො දැන ඔවුන් සිටින්නේ මුලාවක ය. එක අතකට ඇත්ත දන්නා ඈ සිටින්නේත් මුලාවක නොවේදැයි ඊළඟට පළිඟු සිතුවා ය.

“හරි හරි මේ…ඕව අතෑරල දාපං. අපේ එකාට කොහොමත් පොඩි නට් කේස් එකක් තියෙනවනෙ. උඹත් ඉතිං කුකුල් කේන්ති කාරයෙක් වෙලා බෑ. අන්න ඒකනං මතක තියා ගන්න වෙයි”

මේවාට එක වචනයකින් හෝ පිළිවදන් දෙන්නේ කොහොම ද? එයින් වන්නේ බොරුවකට අනුබල දීමයි. ඇත්ත හෙළි වූ දවසක, ළඟින් ම සිටි අය වශයෙන් ඔවුන් මොනවා නො සිතනු ඇත්ද? සැබවින් දැනටමත් ඇය ඒ බොරුවේ කොටසක් වී ඉවර ය.

“මට තේරුං ගන්න පුළුවන් ඔයාව”

ටික වෙලාවකට පස්සේ උතුම් සිය ස්වර තානය වෙනස් කොට කතා කළේ ය. පළිඟු වහා හිස නගා බැලුවා ය.

“අක්ෂි ආයෙ කිසල්ගෙ ඇඟේ එල්ලෙයි කියල ඔයා බය ඇති..”

පළිඟු සුසුමකින් පිරෙමින් සිනහ වෙන උත්සාහයක් ගත්තා ය.

“එහෙම…නෑ…”

“ගෑනුංගෙ හැටි අපි දන්නැද්ද බං…එක අතකට ගෑනු පිරිමි කියල නෑ. මේ වගේ සිටුවේශන් එකකදි අපි කාට වුණත් දැනෙන්නෙ දැං ඔය උඹට දැනෙන විදිහට”

මේ වෙලාවේ මේ ලෝකයේ සිටින අසරණ ම ජීවියා තමන් විය හැකැයි පළිඟු සිතුවා ය. ඒ කොහොම තත්වයක් දැයි ඇයට පවා නිශ්චිත ව සිතිය නො හැකි ය. මේ වරද ඇයට කර ගත්තේ ඇය ම නේදැයි ඕ සිතුවා ය. එදා මේ කොන්දේසියට එකඟ නොවී සිටියා නම් කිසිත් නැත. එක අතකට එහෙම වෙන්න ඇත්තේ ඉරණමේ බලපෑමෙන් නොවිය හැකි ද? ඒ ගිවිසුමට එකඟ නො වූවා නම් කිසල් ට මෙහෙම සමීප වෙන ඉඩක් ඇයට කවුරුන් සලසා දෙනු ඇත්ද? 

අක්ෂි ට දැනුණේ ජයග්‍රාහී බවකි. භෝජනාගාරයේදී ඇය පළිඟු ට ‘හායි’ කියා සිනාසෙනු දුටු කිසල් පමණකුදු නොව උතුම් පවා විශ්මයට පත් ව මූණෙන් මූණ බලා ගත්හ.

තරහකරුවෙකු ලෙස නො කළ හැකි බොහෝ දෑ මිතුරෙකු ලෙස ළඟින් හිඳ කළ හැකිය යන කියමන අක්ෂි පෙර දා කියවූයේ සමාජ වෙබ් අඩවියක සංසරණය වෙමින් තිබියදී ය. එය ඇත්තක් දැයි ප්‍රායෝගික ව අත්හදා බලන්නට ඇය තීරණය කොට තිබුණා ය.

“මැරිල ඉපදුණත් ගෑනුංව තේරුං ගන්නනං බැරි වෙයි මචං”

උතුම් මිමිණුවේ ය. කිසල් දෙතොල් දසන් අතරට ගෙන සපා ගත්තේ ය. පළිඟු ඉක්මන් ව්‍යාජ සිනහවක් පා බිම බැලුවා ය. 

උදේ ඔහු පළිඟු කෙරේ හැසිරුණා රළු වැඩි යයි කිසල් ට සිතිණි. අක්ෂි ඔහු සිතුවාටත් වඩා සියුම් ව හැසිරෙන්නට පටන් ගෙන ඇති බවක් පෙනේ. ඇය විසින් පළිඟු ගේ ඔළුවට මොනවා දමා ඇත්දැයි සිතිය නො හැකි තරම ය. පළිඟු කියන්නේ අක්ෂි වාගේ කෙල්ලක නොවේ. මරණවා කීවත් අක්ෂි කී යමක් ඇගේ මුවින් පිට කර ගත නො හැකි වනු ඇත. පළිඟු ට ‘සොරි’ කියන්නට කිසල් ට ඕන වුණේ ය. නමුත් ඔහු ගේ අහංකාරකම, එවැන්නකට හිත අවනත කර ගන්නට ඉඩ නොදුනි. ඒ වෙනුවෙන් ඔහු කළේ පළිඟු ටත් එක්ක අයිස්ක්‍රීම් මිල දී ගැනීමයි.

“වාව්…මං ආසම අයිස්ක්‍රීම් එක. තෑන්ක් යූ අනේ”

සියලු ප්‍රශ්න ඇසිල්ලකින් අමතක කළ ඕ කුඩා දැරියක සේ ප්‍රීතිමත් වූවා ය. 

“පළිඟු”

“ම්..”

“අක්ෂි මොනා කිව්වත් ඒව වැඩිය හිතට ගන්නෙපා”

“නෑ…”

“අපි තව කොච්චර කාලයක් මෙහෙම හිටියත් ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෑනෙ”

“හ්ම්”

‘හ්ම්’ කීවේ පිස්සු හැදීගෙන එන නිසා දැයි ඇයට ම සිතිණි. නමුත් මේ කිසිදු බාහිර කාරණාවක් නිසා අයිස් ක්‍රීම් එකේ දිව්‍යමය රසයෙන් මොහොතකට හෝ දුරස් වෙන්නට ඇයට ඕන වුණේ නැත.

“මං දන්නෑ ඔයාගෙ හිතේ මොන වගේ අදහසක් තියෙනවද කියල. සමහර විට ඔයාට ඉක්මනිං මේකෙං නිදහස් වෙන්න ඕන ඇත්තෙ උතුම් නිසා වෙන්නත් ඇති…”

“හ්ම්…”

කිසල් කීවේ කුමක් දැයි පළිඟු ට නිසැක ව අවබෝධ වූයේ ‘හ්ම්’ කීවාට පස්සේ ය. අයිස් ක්‍රීම් කෝන් එක මුව ළඟින් අල්ලා ගෙන ම ඇය කල්පනා කළා ය.

“ආහ්..නෑ නෑ…එහෙම නෑ…”

“විසික් කරල දානව මේක”

එහෙම කියනකොටත් කිසල් පළිඟු අත වූ අයිස්ක්‍රීම් එක ඇද විසි කොට හමාර ය. 

“කියන දෙයක් සිහියකිං අහං ඉන්නෙත් නෑනෙ. මොන මගුලක්ද…”

“අනේ මගෙ අයිස් ක්‍රීම් එක. ඔයා නං පුදුම දුෂ්ට මනුස්සයෙක්. හොඳ වැඩේ අක්ෂි දාල ගිය එක. කිසිම කෙල්ලෙක් යාළු වෙන්නෑ ඔය නපුරුකං දැනගත්තට පස්සෙ. අපරා…දෙ අයිස්ක්‍රීම් එක…”

කෝපත් වෙමින් වුව ඕ අයිස් ක්‍රීම් එක ගැන අවංකව ම ශෝක වෙමින් සිටියා ය. ඇතැම් විට ඒ හඬ මඳ වශයෙන් හැඬුම්බර වූ තරම ය. මේ කෙල්ලට නම් ඇත්තට ම පිස්සු යයි කිසල් සිතුවේ ය.

“හරි හරි…මේ අයිස් ක්‍රීම් එක කන එකයි”

ඔහු සිය හිම කිරමය යුවතිය වෙත පෑවේ ය. ඇය දෙනෙත් විදා බලා සිටියා ය.

“ඕක කන්නද මට කියන්නෙ…”

“ඔව්. මට බෑ ආයෙ කැන්ටින් එකට යන්න”

“ඔයා කාපු එක…”

“ඇයි මට සාස් තියනව කියල හිතුවද….”

කිසල් බලෙන් ම ඇගේ අත ගෙන අයිස් ක්‍රීම් එක ඇගේ අතේ තැබුවේ ය. ඉන් බිඳක් තොල ගෑ ඕ තරුණයා දෙස බලා කුඩා දැරිවියක සේ සිනාසුණා ය. ඈත සිට එ් දර්ශනය දෙස මුළුමනින් බලා උන් අක්ෂි තුළ ඊර්ෂ්‍යාව දෝරෙ ගලා යන්නට විය. තමන් ව පාලනය කර ගත යුත්තේ කොහොමද කියා හෝ ඇයට අදහසක් වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles