පළිඟු මන්දිර – 20

3
1123

අක්ෂි ට සිතුණේ කිසල් හා පළිඟු වෙත දිව ගොස් යකා නටන්නට ය. පළිඟු අතේ තිබෙන, කිසල් අඩක් කෑ අයිස් ක්‍රීම් එක උදුරා එය පළිඟු ගේ මූණේ අතුල්ලන්නට ය. නමුත් ඒ විදිහට සිතිවිලි වලට ඉඩ දීමෙන් වන යහපතක් නැති බව දැන් ඇය තේරුම් ගෙන සිටියා ය. එයින් වන්නේ කිසල් තව තවත් ඇගෙන් දුරට යන එකයි. අක්ෂි පිස්සියක සේ උතුම් සොයා ගියා ය.

“උතුම්”

තමන් ඉදිරියේ සිටින යුවතිය හති දමනු දුටු යෞවනයා අසුනෙන් නැගී සිටියේ ය.

“මොකද මේ…”

“උතුම් ඔයාවත් තේරුං ගන්න. ඔයාවත් කිසල්ට තේරුං කරල දෙන්න. අර දුප්පත් ළමයව මේකෙං අයිං කරල අපි ඉස්සර වගේ ඉමු කියන්න”

“මොකද්ද…”

“ජස්ට් ඉමැජින් විල් යූ…කිසල් ට මැච් වෙන කෙනෙක්ද ඒ…බලන්නකො එළියට බැහැල හැසිරෙන කැත”

“අනේ මේ අක්ෂි. කරුණාකරල යනවද මෙතනිං”

“මට අයිතියක් තියෙනව ඔයාට කතා කරන්න. ඔයා මේකට මැදිහත් වෙන්න ප්ලීස්”

“ඔයා එක්ක කතා කරන්නවත් මට ඕන නෑ. ඔයා මොන ජාතියක කෙල්ලෙක්ද කියල ඔප්පු කරල ඉවරනෙ. ඉස්සර මං ඔයාට සැලකුවෙ කිසලයගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නිසා. හැබැයි දැං ඒ කිසි දෙයක් නෑ”

“කිසල් මට කැමතියි. ඉන්නවකො කාට කාටත් මං පාඩමක් උගන්නන්න”

අක්ෂි නික්ම ගියේ බෝම්බයක් පුපුරා හැරීමෙන් අනතුරුව ය. උතුම් ඒ දේශනය අවසාන වන තෙක් හිටියේ පුදුම නො ඉවසිල්ලකිනි. දේශකවරයා නික්ම යන්නටත් පෙර ඔහු කිසල් ට ඉඟි කරමින් පන්ති කාමරයෙන් නික්මුණේ ය.

“මොකද බං…”

කිසල් දැන සිටියේ මිතුරා සාමාන්‍ය තත්වයෙන් නො සිටින බව පමණකි.

“මොකද්ද උඹ කරන්න හිතං ඉන්නෙ කියපං”

“මොනාටද…”

“අක්ෂිද පළිඟු ද කියල තාම උඹ සිලෙක්ට් කරගෙන නැද්ද…”

පපුව මැද ම කම්පනයක් ඇති වනු කිසල් ට දැනුණේ ය. ඒ කුමක් නිසා දැයි ඔහු ට නිනව් නැත. උත්තරයක් හොයා ගන්නට තත්පර ගණනක් ගත කළ ඔහු අන්තිමට මුණිවත බින්දේත් පිළිතුරක් ඇති ව නොවේ. 

“මොකද්ද කියන්නෙ…”

“මොකද්ද කියන්නෙ නෙවෙයි. මොකද්ද කරන්නෙ කියල හිතපං. අක්ෂි හිතං ඉන්නෙ උඹ තාම ඒකිට ලව් කියල. මං දන්නෑ ඒක එහෙමද කියල. ඇත්තටම බ්‍රේකප් වෙලා දවස් දෙකක් යන්නත් කලිං අර අහිංසක කෙල්ලව යාළු කර ගන්නකොට මං ඒත් පුදුම වුණා. උඹ හිතං ඉන්නෙ පළිඟු ව පෙන්නල අක්ෂිව අවුස්සල ආයිත් උඹ ළඟට ගන්නනං…”

කිසල් කට කොනකින් සිනාසුණේ ය. උතුම් ඒ සිනහවේ තේරුම හරියට ම දැන සිටියේ නැත. කෙසේ වෙතත් ඒ සිනහව ඔහු ව කුපිත කළ බව නම් සහතික ය.

“මං උඹට කලිනුත් කිව්ව. අර කෙල්ල සෙල්ලං බඩුවක් කියලනං හිතන්නෙපා. මං මුලිංමත් කිව්වනෙ ඒකිට පාඩුවෙ ඉන්න දීපං කියල. කොහොමත් උඹේ චොයිස් එක අක්ෂිනං…පළිඟු කියන්නෙ ඒ ටයිප් එකේ කෙල්ලෙක් නෙවෙයිනෙ. ඒක නිසා උඹ බලං ඉන්නෙ අක්ෂිව ළඟට අරං පළිඟු ව අත්අරින්නනං දැංමම ඒක කරපං. තව ලේට් නොවී දැංමම”

“මං එහෙම නොකළොත්…ඒ කියන්නෙ උඹ දැංම කරන්න කියන දේ…”

“උඹ පළිඟු ට එහෙම කළොත් මං උඹව ඉතුරු කරන්නෑ කිසල්”

මීට පෙර කිසි දාක උතුම් මිතුරා ට එවැනි තර්ජනයක් කර නැත. කිසල් ට අදහා ගත නො හැකි වූයේ ඒක ය. මිතුරා ඉක්මන් අඩි තබා නික්ම යනයුරු බලා උන් කිසල් සුසුමකින් හදවත බර නිවා ගන්නට තැත් කළේ ය. නමුත් කණාමැදිරි එළියක තරම් නිවීමක් ඔහු ට දැනුණා නොවේ.

ඒ හවස් වරුවේ දේශන නිමා වූයේ ඉතා අලස ලෙස ය. කිසල් එක්ක වචන වලින් ගසා ගැනීම ගැන තෝන්තුවාවක් උතුම් වෙත විය. කිසල් දේශන ශාලාවෙන් නික්මෙන්නට පෙර උතුම් ඔහු ට ලං ව කරට අතක් දමා ගත්තේ ය.

කියවන්න :  පළිඟු මන්දිර -7

“සොරි බං. දවල් උඹට මං කතා කළා වැරදියි. මොනා වුණත් මේක උඹේ පර්සනල් මැටර් එකක්නෙ…”

කිසල් ගේ සිනහව පිපුණේ ය. පළිඟු ළඟ පාතක වූවා නම් ඒ සිනහවට වශී වනු ඇත.

“හැබැයි අක්ෂි මේ පාර ගහන්න හදන්නෙ මොන වගේ ගේම් එකක්ද කියල උඹ ඇලර්ට් එකේ ඉන්න එක හොඳයි”

කිසල් යන්තම් හිස සැලුවේ ය. ඔහු ට උවමනා වූයේ අක්ෂිව යළි ගෙන්වා ගන්නට නොවේ. පළිඟු සිතා ගෙන ඉන්නේත් ඇය ව පාවිච්චි කිරීමෙන් කිසල් අක්ෂි ව යළි ඔහු වෙතට ගෙන්වා ගන්නට හදන බවකි. නමුත් කිසල් ට මුල සිට ම උවමනා වූයේ අක්ෂි ව ඊර්ෂ්‍යාවට බඳුන් කරන්නටයි. ඇය කළ වැරැද්දේ නාමයෙන් ඇයට රිදෙන්න හරින්නටයි. ඇය ට දඬුවම් දෙන්නටයි. ඇගෙන් පළි ගන්නටයි. පළිඟු ට සේ ම උතුම් ට ද ඒ බවක් පැවසිය නො හැකි ය. කිසල් අසරණ වී සිටි තැන එතැනයි.

අද අමුතු දවසකැයි පළිඟු සිතමින් සිටියා ය. සඳ වතුරින් කුඩා තණ පලසැති ගෙමිදුල නැහැවී ගොස් තිබිණි. අක්ෂි ගේ අමුතු ළෙංගතුකම ව්‍යාජයක් බව වටහා ගන්නට බැරි කමක් ඇයට නැත. නමුත් කිසල් ඔහු කමින් සිටි අයිස් ක්‍රීම් එක ඇයට දුන් සිදුවීම අමතක කරන්නට කිසි සේත් ඇය ට නුපුළුවන. 

ජීවිතය බෙදා හදා ගැනීම කියන සංකල්පය පළිඟු ට තරමක් දුර එකකි. සියල්ල බෙදා හදා ගන්නට ඇයට සිටියේ වත්සලා පමණක් වන බැවිනි. ඇගේ මවු පියන් හා සහෝදරියන් දෙදෙනා ද සහෝදරයා ද ගැන ඇයට දැනෙන්නේ දුරස්ථ හැඟීමකි. ඔවුන්ව දැක ගත හැකි වන්නේ ද වසරකට වරක් දෙවරක් තරමි. ඒ ද පවුලේ විශේෂ අවස්ථාවක් පැවතියොත් පමණකි. සිංහල අවුරුද්දට හෝ ඔවුන් බැහැ දකින්නට වත්සලා හා පළිඟු ගියා මිස වසන්තා පැමිණියේ ඉතාමත් කලාතුරකිනි. අම්මා කෙනෙකුට සිය කුසින් බිහි කළ දරුවෙකු අමතක කිරීම හෝ අත්හැර දැමීම ඒ තරම් පහසුවෙන් කළ හැකි ද කියා පළිඟු සිතුවේ වුව කලාතුරකින් දවසක ය. මේ විදිහට අයිස් ක්‍රීම් එකක් වුව බෙදා ගත හැකි පිරිමියෙකු සිය ජීවිතය පසෙකින් වීම ගැන යුවතිය ගේ හදවත තිගැස්මක් අත් වින්දේ පෙර කී හුදෙකලාව හින්දා ම විය හැක.

වත්සලා කියන්නේ පළිඟු ට විවෘත ව ඕනෑ ම දෙයක් කතා කළ හැකි විදිහේ තැනැත්තියකි. නමුත් කිසල් ගැන ඇත්ත කතාව ඇයට කියන්නට තවමත් හිත හදා ගත නො හැකි වූයේ මන්දැයි පළිඟු ට තේරුම් ගත නො හැකි ය. මේ බරින් හිත නිදහස් කර ගත හැකි විදිහේ යෙහෙළියක හෝ ඇයට නැත්තේ ය. ළඟ සිටින ඕනෑ ම කෙනෙකු හා සුහද වන හැකියාවක් තිබුණත්, ළඟ ම යෙහෙළියක ලෙස කිසිවෙකු ට නො බැඳෙන පුරුද්දක් ද ඇය ට තිබූ බැවිනි. යමක් කතා කළ හැකි කෙනෙකු ලෙස සිහිපත් කළ හැක්කේත් උතුම් ගැන පමණකි. නමුත් කිසල් ගේ මිතුරා වන බැවින් හා උතුම් ඇත්ත දැන ගන්නවාට කිසල් ගේ කැමැත්තක් නැති නිසාවෙන් එයත් කළ නො හැකි ය. කෙසේ වෙතත් මෙබඳු ඒක පාර්ශ්වික ප්‍රේමයක් ගැන කතාවක් තව කෙනෙකුට කියා විහිළුවක් වෙනවාට වඩා, හදවතේ ම එය රහසක් කොට පවත්වා ගන්නා එක යෙහෙකැයි අන්තිමට පළිඟු තීරණය කළා ය.

ඊළඟ උදයේත් අක්ෂි හොඳ මූණ පෙන්වා ගෙන පළිඟු වෙත ආවා ය. 

“මාත් එක්ක කතා කරපු එක ගැන ඊයෙ කිසල් මොකද කිව්වෙ…”

“මුකුත් විශේෂ දෙයක් නෑ”

ඔහු අඩක් කෑ අයිස් ක්‍රීම් එක බලෙන් ම පළිඟු ගේ අතේ තැබූ දර්ශනය අක්ෂි ගේ දෙනෙත් මානයේ යළි යළිත් මැවී පෙනුණේ ය.

කියවන්න :  පළිඟු මන්දිර - 2

“මේක එයා මගෙ බර්ත් ඩේ එකට දීපු වොච් එක”

හදිසියේ ම අක්ෂි සිය අත් ඔරලෝසුව දක්වමින් කීවා ය. පළිඟු සිනහ වෙන උත්සාහයක් ගත්තා ය.

“ඔයා…තාම එයාට කැමතිද…”

ඒ නො ඇසිය යුතු ප්‍රශ්නයක් බව නො දැන සිටියා නොවේ. නමුත් පළිඟු ට එය අසන්නට ම ඕනෑ විය. ඇතැම් විට සිතා මතා ම සිත රිදවා ගැනීමේ විකෘති ආශාවන් අප තුළ උපදී. 

අක්ෂි සිනහ වුණා මිස වාචික පිළිතුරක් නො දුන්නා ය.

“මන්නෙ වැරැද්ද කළේ. කිසල් මාත් එක්ක තරහෙං ඉන්නෙ”

“මං අහන්නෙ…ඔයාට එයාව තාමත් ඕනෙද…”

ඒ ප්‍රශ්නය අහන්නට පෙර ඈ මිය යාවියි පළිඟු ට සිතිණි.

“ඕනෙ වුණත් දැං අපි අතරට ඔයා ඇවිත්තෙ”

“මං ගැන හිතන්න එපා”

“ආ…”

“ඔයා එයා එක්ක කතා කරන්න”

“පළිඟු…”

අක්ෂි බලා උන්නේ ප්‍රශ්නාර්ථයෙනි. පළිඟු ට තව දුරටත් ඒ සමාගමයේ රැඳිය නොහැකි විණි. ඈ උමතුවෙන් වාගේ දිව ගියා ය. ඒ වෙලාවේ සරසවියට එමින් සිටි කිසල් ඔවුන් ව දුටුවේ ය. හෙතෙම ඉක්මන් අඩි තබා අක්ෂි ට සමීප විය. අක්ෂි තවමත් සිටියේ විසල් කර ගත් දෑසිනි.

“එක දෙයක් කියන්නද…”

කිසල් ඍජු ව ප්‍රශ්න කළේ ය.ඔහු ඒ ප්‍රශ්නය වෙනුවෙන් අක්ෂිගෙන් පිළිතුරක් බලාපොරොත්තු වූයේ ද නැත.

“පළිඟුව ස්පොයිල් කරන්න එපා”

එය දැඩි ප්‍රකාශයකි. ඊර්ෂ්‍යාවත් කේන්තියත් දෙක ම එකවර අක්ෂි ට පහර දෙන්නට විය.

“අනේ එයා කිරිසප්පයනෙ…ස්පොයිල් කරන්න”

ඒ බැල්මේ ගින්දර විය. කිසල් තවත් කිසිත් නොකියා ම නික්ම ගියේ ය. ඔහු ගියේ පළිඟු සොයා ගෙන ය.

“අක්ෂි එක්ක කතාවට යන්නෙපා”

ඇය නෝක්කාඩුවෙන් බිම බැලුවා ය.

“එයානෙ කතාවට එන්නෙ. එයාටනෙ ඕක කියන්න තිබුණෙ”

“මං කියන්නෙ තමුන්ට. තමුන් පාඩුවෙ ඉන්නව”

ඒ තරම් තදින් ඔහු කෑ ගැසුවේ ඈ කුමක් කළාට ද? යුවතිය දත් දෙපෙළ තදින් එකිනෙක දත කර ගත්තා ය. කඳුළක් ගිලිහී ගියේ ඇගේ අවසරයකින් නොවේ. ඇය ඉක්මනට ඒ කඳුළ පිටි අත්ලෙන් පිස දා ගත්තා ය. 

“අඬන්නෙපා”

කියා ඔහු කියනවා අසන්නට ඇගේ සවන් වලට ඕනෑ විය. බොරුවට අක්ෂි ට පේන්නට නොව ඇත්තට ම ඔහු එහෙම කියන දවසක් කවදාකවත් උදා නො වනු ඇත. 

විදුලියක් සේ පුපුරා කිසල් නික්ම ගිය ගමන් අක්ෂි දිව ගෙන අවා ය.

“කිසල් බැන්නද…”

පළිඟු ගේ ඇස් වල තවමත් කඳුළු වල තෙත විය. නමුත් ඕ ඒ කඳුළු අතරින් සිනහ මලක් පිපෙන්නට ඉඩ දුන්නා ය. 

“මාත් එක්ක කතා කරන්න එපා කිව්වද…මගෙ ඇඟටත් කඩං පැනලයි ආවෙ”

ඇය තවමත් ඔහු ගේ හිත කියවනවායි පළිඟු ට සිතිණි. ඒ සිතිවිල්ල ඊර්ෂ්‍යාවක් ඇති කරන්නට පෙර ‘නෑ’ යි හඟවන්නට හිස දෙපසට සැළුවා ය. සිය හදවත දැන් දැන් ඊර්ෂ්‍යාවේ හා නපුරේ කළු කුහරය වෙත වැඩියෙන් කිඳා බසිමින් තිබෙන බව ඇයට දැනේ. මේ දුර්ගුණ දැක දැක ඉවත බලා ගත නො හැකි ය. කිසල් හමු වෙන්නට පෙර සිටි යහපත්, පරාර්ථකාමී යුවතිය නැවත සිය ආත්මය තුළ පුනර්භවය ලැබිය යුතු ය. පළිඟු ඒ සඳහා ආත්මය ශක්තිමත් කර ගත්තා ය.

“ඔවු. එයා තාමත් ඔයාට ආදරෙයි”

ඒ හඬ පිට වූයේ පළිඟු ගේ හදවත පත්ලෙනි. අක්ෂි ගේ දෑස් විශ්මිත විය.  ඉකි ගගහා ඇඬීමේ අවශ්‍යතාව පාලනය කර ගන්නට යුවතිය කොහෙත් ම සමත් වූයේ නැත. මේ කඳුළු වෙන කිසිවෙකු ඉදිරියේ හෙළන්නට තරම් දිරියක් ඇයට නැති බව ඉඳුරා දැන උන් ඕ හිතේ හැටියට ඇඬුවා ය.

5 5 votes
Article Rating
Subscribe
Notify of
guest
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Hi ru Mandakini🌤️
Hi ru Mandakini🌤️
2 months ago

Oh….. what happened 😮😔❤️🖤

Nethusha nirasha
Nethusha nirasha
2 months ago

❤️❤️❤️

Madhushika Vitharana
Madhushika Vitharana
2 months ago

😍